සුදු වෙන්න ක්‍රීම් !

මේ සිදුවීම මටම වෙච්චි අකරතැබ්බක් නිසාත් දැන් මෙයට බොහෝ කල් ගත වී ඇති නිසාත් ලිවීමෙන් අවුලක් නැතැයි සිතා ලියමි.

අපි ටවුමේ කඩ පෙළ වෙත යනවා නම් මෙන්න මේ නම ඇති මේ අහවල් අකුරු තුන ඇති ක්‍රීම් ඩප්පියක් රැගෙන එන ලෙස ක්වාටර්ස් එකේ අක්කා කෙනෙක් සල්ලි කොළයක් ගෙනැවිත් දුන්නෙ… ඇතැම් හවසක, ෆ්ලාස්ක් එක පිරෙන්න කිරි තේ හදාගෙන ටවුමේ වැව් කණ්ඩියට ගිහින් විඩාව නිවාගන්න, ඉර බැහැගෙන යන අහස බලන් ඉන්න, කතන්දර කියව කියවා, එතැන යන මග දිග තියෙන සමෝසා වඩේ කරත්තයකින් රෝල්ස් වඩේ අරන් කන්න තරම් මහා රස්තියාදුකාර එවුන්ට හිටියේ අපි කිහිප දෙනා නිසා. ඔන්න ඉතින් ඒ ඩප්පිය ගන්නවාට විවිධ හේතු ඉදිරිපත් කළ අක්කණ්ඩි මේක සුදු වෙන්න නෙමේ ය, හම පැහැපත් වෙන්න මේ තියෙන ලප කැලැල් මැකෙන්නය කියලත් කීවා. ළඟදී ඉඳන් පෙනෙන ලස්සන සහ ඔපය ඔය ක්‍රීම් එක නිසා එහෙනම් ඈ… කියා අපි විහිළුවෙන් කතිකා කරගත්තා.

“ඒ මාර වැඩේනෙ මම අහවලා දැක්කා මූණ දිහා බැලුවම අඳුරන්න බෑ එනිසා මම කකුල් දිහා බැලුවා ආ ඒවානම් පරණ පාටට තිබ්බා. මොනවද උලන්නෙ ඇහුවම කැරට් සහිත ෆේස් වොෂ් එකක් කියලා කීවානෙ” කියලා අයියෙක් ළඟදී විහිලුවට කියෙව්වා මතකයි. හැමෝගෙම කැරට් ෆේස් වොෂ් එක මේ අමුතු නම් ඇති ක්‍රීම් බව අපේ ටිකිරි මොළවලට වැටහෙන්න වැඩි කාලයක් ගියේ නෑ.

ඔන්න ඒකේ වරුනේ අහලා අපෙ ගෙවල්වල අයටත් ඕනේ වුනා. මොකද ඒක ඒ කාලේ කොළඹත් ප්‍රසිද්ධයි. මොකක්ද්දෝ හේතුවකට ඒ ඩප්පි උතුරේ ලාභයි. හේතුව ඉතින් ඉන්දියාවට ගොඩක් ළඟින් පිහිටීම වෙන්නත් පුළුවන්.

කොහොම හරි ඉතින් ඔක්කොම ගාන එකේ මොකෝ අපෙත් මේ මූණවල් අවුවට පිච්චිලා … ආතතිය වැඩි වෙලා මූණෙ කුරුලෑ ඇවිත් ඒවා කඩලා වලවල් හෑරිලා නිසා ගාමු අපිත් කියලා ඔන්න අපිත් ඩප්පියක් අරන් උලන්න ගත්තා.

දවසක් වෝඩ් රවුන්ඩ් කර කර ඉන්නකොට, ඒ කියන්නෙ අපි වාට්ටුව පුරා ඇඳෙන් ඇඳට ඇවිද යමින් ලෙඩ්ඩු බලනකොට “ඩොක්ටර් ඔය මාලේ පැත්තක්ම සුදු වෙලා මොකද” කියලා ඇහුවා මිඩ් වයිෆ් මිස්.

එයාලා තමා ඔහේ හදිසියේ වාට්ටුවට දුවන එන යන අපේ කොලර් හදලා, හැඩ වැඩ කියන්නෙ. “දෙවියනේ” එයා කියද්දී දැක්කේ…. මළා මේ ධර්ම චක්කර පෙන්ඩන්ට් එකෙත් පැත්තක් සුදු වෙලා… මට හෙන අවුල්.

දැන් මගේ මාලේ සුදු වීම ගැන මිස්ලා ෂර්ලොක් හෝම් පරීක්ෂණයක් තියන්න ලෑස්තිය

“ඔය ප්‍රෙෂර් මීටර වල රසදිය ලීක් ඇති.” ඒපාර එක්කෙනෙක් ප්‍රේෂර් මිටර් පරීක්ෂා කරන්න ගත්තා. ඔව් ඒ කාලේ අපි පාවිච්චි කළේ අර පරණ රසදිය බාර් එක උස් පහත් වෙන රුධිර පීඩනය මනින උපකරණ.

“ආ වෙන්න පුළුවන්… ඒත් මේ මාලේට දැන් මොකෝ කරන්නේ.”

“ආ ප්‍රශ්නයක් නැ ඩොක්ටර් ටික දවසකින් හරි යනවා…” එහෙම කිව්වෙ ලොකු මිස්.

හැබැයි ටිකක් කල්පනා කරද්දි තමා මතක් වුනේ ආ අර ක්‍රිම් ඩප්පිය කියලා. එතකොට ඉතින්, “ඔහෙට තව මොනවා සුදු වෙන්නද” කියලා අහගත්තාට මමත් හොර හොරෙන් යාලුවන් ගෙනෙන ඒවා අත් හදා බලනවා. ඒවායෙන් කොහොමත් පැහැපත් පාටක් තිබුනු මගේ මූණේ ලප කැලැල් එහෙම ගානට නැතිවෙලා සුසිනිඳු වෙලා හෙන එළියයි මූණ.

අපේ මිස්ලත් ඒවාගේ ආලේපන අරන් ගාන බව ඔය ඕපාදූප කතා බහේදී වැටහුනා. එයාලනම් චීන ජපන් මොනවා හරිත් නමක් කීවා. ඒකෙන් හැබැයි මුහුණු නිකම් හඳ පායපු ගාණට ඇවිත් තිබුනා.

රසදිය සබැඳියාව, ගැන මතක් වුණේ එතකොට.

සම පැහැපත් කිරීමට රසදිය ගුණදායකද? නෑ එය විෂ සහිතයි. (Toxic)

සම පැහැපත් කිරීමේ කාරකයක් ලෙස රසදිය භාවිතා කරනුයේ සමට වර්ණය ලබා දෙන මෙලනින් නිෂ්පාදනය අවහිර කරන නිසාත්, ලප කැළැල් සහ රැලි ඉවත් කිරීමටත් එය භාවිතා වෙනවා කියලා කියනවා

රසදිය තියෙනවා කියලා ටක්කෙටම කියන්නෙ කොහොමද ?

මෙන්න මේ වචන ටික තිබුනොත් ඒ බව කියන්න පුළුවන්

If the words “mercurous chloride,” “calomel,” “mercuric,” “mercurio,” or “mercury” are listed on the label, mercury’ is in it (FDA website)

රසදිය වලට නිරාවරණය වීමෙන් බරපතල සෞඛ්‍ය ප්‍රතිවිපාක ඇති වෙන්න පුළුවන් බවයි අපි අහලා ඉගෙන ගෙන තියෙන්නෙ. විශේෂයෙන්ම ස්නායු ආශ්‍රිත ආබාද ඇතිවෙනවා රසදිය ආශ්‍රිත කර්මාන්ත වල යෙදිලා ඉන්න අයට. ඒ වගේම මේ රසදිය රෙදි වල තැවරීමෙන්, වාෂ්ප ලෙස ආග්‍රහනය කිරීමෙන් තමන්ගෙ නිවැසියන්ට ද බලපෑමක් සිදුවෙන්න හැකියි කියලයි කියන්නෙ

ගර්භනී කාන්තාවන්, කිරි දෙන ළදරුවන් සහ කුඩා දරුවන් ඇතුළුව – රසදිය විෂ වීම මගින් විශේෂයෙන් අවදානමට ලක් වෙන්න පුළුවන්. විශේෂයෙන් බිළිඳුන්ගේ දරුවන්ගේ වර්ධනය වන මොළයට සහ ස්නායු පද්ධතියට රසදිය මගින් හානි සිදු වෙන බව පෙන්වා දෙනවා. කිරි දෙන අලුත උපන් බිළිඳුන්ට රසදිය මව්කිරි වලට ඇතුල් වීම නිසා අවදානමට ලක් වෙන බවත් ඇමෙරිකානු ආහාර සහ ඖෂධ නියාමන අධිකාරිය පෙන්වා දෙනවා

රසදිය විෂ වීමේ ලක්ෂණ සහ රෝග ලක්ෂණ අතර ස්නායු පද්ධතිය ආශ්‍රිත ආබාද ( වෙව්ලීම, පෙනීම හෝ ඇසීමේ වෙනස්කම්. මතකය ආශ්‍රිත ගැටලු, මානසික පීඩනය, අත් පා හෝ මුඛය වටේ හිරි වටීම) පෙනෙන්නට තිබෙනවා.

මේ ගැන මම එදා එක දිගට අන්තර්ජාලයෙන් හෙව්වා. මේ දශකයකටත් එහා කතන්දර, ඒ කාලේ මේ ගැන ඉතින් සුදුවෙන ක්‍රීම් වල රසදිය භාවිතය ගැන හැදෑරීමක් හොඳින් තිබුනෙත් නෑ. හොයන්න උනන්දුවකුත් තිබුනේ නෑ. යුද්ධෙන් පස්සේ උතුරු කොන නිසා සෑහෙන්න කාර් යය බහුල ජීවිත අපි ගත කළේ. ඔන්න මාලේ පාට ගිය නිසා ගූගල් දෙවියන්ගේ අනුහසින් කියෙව්වා ඒ ගැන. බුදු අම්මෝ….ඇස් දෙක උඩ ඉන්දැවුනා. දිව්වා එසැනින් වාට්ටුවට. කට්ටියටම කිව්වා මේක තමා සීන් එක කියල. දන්න අයවත් දැනුවත් කළා.

ඒකට මොකෝ ඩොක්ටර්… මම අත් දෙකෙත් ගාන්න ගත්තා මූණ ගානටම සුදු කරගන්න.

ඔන්න කෙනෙක් කියාපි.

ආ අර ඩප්පියේ රසදිය ඇති බවට එහෙම සඳහන් වුනා. එවෙලෙම සියල්ල බැහැර කළා නැවැත්තුවා. තව ඩිංගෙන් හොඳ වැඩක් තමා මේ ලියන මටත් වාට්ටුවේ ඈයොන්ටත් වෙන්නෙ. ඔන්න ඉතින් යමක් මුණේ ඇඟේ ගානවානම් පරිස්සමෙන් !

©වෛද්‍ය බෝධිනී සමරතුංග

#thecolourofbeautyisthecolouryouown#දැකුම්කලු#Dakumkalu#SLCDakumkalu#SLCD

වැඩි දුර කියවන්න

https://www.fda.gov/…/mercury-poisoning-linked-skin…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *