නොබොන අන්දර

මත්පැන් මත්ද්‍රව්‍ය ප්‍රවර්ධනය කරවන ලියැවීම් ලංකා සමාජ මාධ්‍ය ජාල තුළ අනන්තවත් ඇස ගැටෙන නමුදු වැඩිහිටී ඔවුන්ගේ අක්මාව , හෘදය ආර්ථිකය සහ සෞඛ්‍යය කෙරෙහි ඔවුන් වෙත වගකීමක් තිබෙන නිසා ඒවා සමග ගැටෙන්නට අවශ්‍ය නොවුනද අපේ දරුවන් වෙනුවෙන් මේ හානිකර දේවල් ගැන දැනුවත් කිරීම අවශ්‍යමයි කියා මට සිතේ.
මේ නිසා ඇතිවන සෞඛ්‍ය සහ සාමාජීය ප්‍රශ්න බොහෝ සෙයින් දකින්නේ රෝහල්වල සේවය කරනා අප ය. මත්පැන් බීම සාමාන්‍යකරණය වීම තුළින් ගැලවෙන්නට අපහසු ඇබ්බැහියක් දක්වා වර්ධනය විය හැක.


අද වන විට, ඩෙන්මාර්කය, ෆින්ලන්තය, අයිස්ලන්තය, නෝර්වේ සහ ස්වීඩනය ඇතුළු නෝර්ඩික් රටවල මත්පැන් භාවිතය යුරෝපයේ අනෙක් රටවල් හා සසඳන විට පහළ අගයක් ගන්නා බව ලෝක් සෞඛ්‍ය සංවිධානයේ 2023 වර්ෂයේ පුවත් වාර්ථාවක් අනුව කියැවේ. මෙම රටවල් බොහොමයක මත්පැන් සාමාන්‍ය වෙළඳ භාණ්ඩයක් ලෙස නොසලකා එය දැඩි ලෙස නියාමනය කරනු ලැබේ. ඔවුන් ඒ සඳහා මත්පැන් අලෙවිකරණය තහනම් කිරීම හෝ සීමා කිරීම, බදු සහ මිලකරණ ප්‍රතිපත්ති සකස් කිරීම, මත්පැන් ලබා ගැනීමේ හැකියාව සීමා කිරීම වැනි කාරණා සැලකිල්ලට ගෙන ඇත. තනි ඒකාධිකාරී පද්ධතියක් පැවතීම තුළින් වෙළඳ සැල් සීමා කිරීම, වේලාවන් සහ වයස් සීමා කිරීම සිදුවේ. එම රට වල මේ ආකාරයේ ප්‍රවේශයන් පිටුපස ඇති ප්‍රධාන අදහසක් වන්නේ මත්පැන් පරිභෝජනය හා සම්බන්ධ සෞඛ්‍යයට සිදුවන හානිය සලකා බැලීමේදී එය මධ්‍යසාර පාන අලෙවියෙන් ලැබිය හැකි ආර්ථික ලාභ සහ ආදායම් ඉක්මවා යන බවය. මත්පැන් සමාජයට ඇති කරන අහිතකර බලපෑම් සීමා කිරීම නෝර්ඩික් මධ්‍යසාර පාලන පියවරවල කේන්ද්‍රස්ථානය වන්නේ එබැවිනි.
එනමුත් ආර්ථික තත්ත්වය සෞඛ්‍ය සාමාජීය යන මේ නොයෙකුත් ආකාරයෙන් බැට කන අපේ රටේ තවමත් මධ්‍යසාර කෙරෙහි එතරම් දැඩි නීතී රීති හෝ සමාජ නියාමන පවතින බවක් නොපෙනේ. තරුණ පිරිස් සහ කාන්තාවන් මේ කෙරෙහි පොළොඹවන සුළු ලියැවීම් සමාජ මාධ්‍ය ජාල සහ ලේඛන ආශ්‍රිතව දක්නට ලැබේ. ස්වීඩනයේ ජොසෙෆින් ඩාල්බර්ග් නම් ලේඛිකාව විසින් ලියන ලද ලිපියක ඇය සඳහන් කරන්නේ මත්පැන් බීම ප්‍රචාරය කිරීම කෙරෙහි ලේඛකයන් ද වගකිවයුතු බවය. මත්පැන් බීම උත්කර්ෂයට නංවමින් තමන්ගේ ලේඛන තුළින් එය ප්‍රවර්ධනය කිරීම කියවන්නා මත්පැන් භාවිතයට පොළොඹවන සුළු බව ඇය ලියා තිබිනි.


ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) විසින් 2010 දී පළ කරන ලද global strategy to reduce harmful use of alcohol හෙවත් හානිකර ලෙස මත්පැන් භාවිතය අවම කිරීමේ ගෝලීය උපායමාර්ගය නම් වාර්ථාව මෙන්ම 2018 දී පල කළ global status report on alcohol and health කියන ලිපියත් ඔබට අන්තර්ජාලයෙන් කියවාගත හැක. මේ වාර්ථා අනුව මත් පැන් පමණක් ලොව පුරා මරණ මිලියන 2.5 කට හේතුවේ.
මත්පැන්වල හානිදායක පැත්ත ගැන ලියූ විට වෛද්‍යවරුන්ගෙන් බොහෝ අය ප්‍රශ්න කරන්නේ, බොන්නේ අපේ සල්ලි වලින්නම්, මැරෙන වෙලාවට කොහොමත් මැරෙනවා නම් ඔබට ඇති අමාරුව කුමක් ද කියා ය. එසේ කොහොමත් මැරෙන එකේ එහෙනම් WHO එකට මොන අමාරුවක්ද ? කියලත් ඔබට ප්‍රශ්න කරන්න පුළුවන්.


ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන ලෙස මේ ප්‍රශ්නයේ සංකූලතා , ඒ කියන්නේ පුද්ගල, සාමාජීය සෞඛ්‍ය මූල්‍යමය කියන හැම සංකූලතාවයම අපි ජීවත්වන සමාජයෙන් වගේම රෝහල් තුලදිත් දකින්නේ ඒවාට ප්‍රතිකාර කරමින් පැලැස්තර අලවන සෞඛ්‍ය සේවයන් වන අප ය.
මම පළමු වරටරෝගියෙකුගේ පහර දීමකට මුහුණෙ දෙන්නේ සීමාවාසික වෛද්‍ය කාලයේදී, මහා රෑ පාරේ වැටිලා ඉන්න බීමත් අය පොලීසියෙන් ගෙනැවිත් කායික වෛද්‍ය වාට්ටුවට ඇතුල් කිරීම සුලභ සිදුවීමක්. එසේ රැගෙන ආ කෙනෙක් පරීක්ෂා කරන්න ඔහු සිටි ඇඳ අසලට මා ගියේ එම පුද්ගලයා නැගිටගන්නවත් බැරි තත්ත්වයෙන් හැල හොල්මනක් නැතිව හිටිය නිසා. මේ මනුස්සයා, අසළට ළංවී නම කියා කෝකටත් ආමන්ත්‍රණය කළ විට මා විසිවී වැටෙන්න තරම් පහරක් එල්ල කළ අතර පසුවදා ඒ ගැන ඔහු ඉතා කණගාටු විය. එහෙත් ඔහුට අවඥා සහගත කතා අහන්න සිදුවුනා අවට හිටිය අයගෙන්. ඒ ඔහු සිවිල් සමාජයේ වගකිවයුතු ‍රැකියාවක් කරන කෙනෙක් නිසා. ඔහුගේ රැකියාවත් උලුප්පා දක්වමින් එක් අයෙක් කීවේ “මෙහෙම ඉතින් මෙයාලා හැසිරෙද්දි අපි කොහොමද එයාලට ගරු කරලා විශ්වාස කරන්නේ…” කියාය.


වෛද්‍යවරුන් හැටියට අපි මේ ගැන විරුද්ධ මත දරන්නේ , ඒ ගැන ලියන්නේ ඒවායේ අතුරු ආබාධ, සෞඛ්‍ය සමාජ සහ මූල්‍යමය ප්‍රශ්න යන මේවා නිසා මිනිස් ජීවිත විනාශ වන අයුරු දකින නිසා ය.
බාර් වසා තිබුණු කාලයකට පසු ඒවා විවෘත කළ පසු හදිසි අනතුරු, බීමතින් කරගත් ව්‍යසන දැකපු වෛද්‍යවරු හෙදියන් සටහන් අතර ලේ බැංකුවට වැඩ අධික වූ රැයක් බව ප්‍රධාන රෝහල් දෙකක වෛද්‍යවරු සඳහන් කර තිබිණි. නීතීඥතුමියක් සටහනක් පලකර තිබුණා, බාර් ඇරිය එදින රෑ බීමත් සැමියන් නිසා අඩම්තෙට්ටම් විඳි ගැහැණුන්, අඩුම තරමේ හත් අට දෙනෙකුගේ අඳෝනා අහන්න වුණු බව.


බීමට ඇබ්බැහි වූ පියවරුන් නිසා දරුවන් සහ ගැහැණුන් විඳින මානසික වධය, ජීවිත ව්‍යසන, බීමතින් සිහිවිකල් ව තමන්ගේම දරුවන් දුෂණය කළ කතා අප දුටුවේ රෝහල්වලදී ය. මත් පැන් පානය වින්දනයක් නම් අප දුටු මුණ ගැසුණු අප්‍රමාණයක් ජීවිත තුළ එය එසේ නොවුනේ ඇයි ?
ලෝකය පුරා සෞඛ්‍ය ප්‍රශ්න බොහෝමයකට හේතුවක් ලෙස ද සංවර්ධන වෙමින් පවතින රටවල මහජනයා වෙත ප්‍රබල ලෙස බලපාන හේතුවක් ලෙස ද මත්පැන් බීම ගැන ලෝක සෞඛ්‍ය සංවිධානය WHO කරුණු පෙන්වා දී තිබේ. ඒවගේම , මෙය වෙනස්කළ හැකි හෝ වලකාගත හැකි සෞඛ්‍ය තර්ජනයක් ලෙසද පෙන්වා දේ. එනම් ජානමය සැකැස්ම, ලිංග බේදය, වයසට යෑම අපට වෙනස්කළ නොහැකි සෞඛ්‍ය ප්‍රශ්න ඇති කරන සාදක වන නමුදු, මෙවැනි නරක පුරුදු අපට වෙනස් කළ හැකි සාදක බව ඔවුන් පෙන්වා දේ.


මෙයින් ඇතිවන සෞඛ්‍ය ගැටළු සඳහා සෞඛ්‍ය අංශවල මූල්‍ය ප්‍රතිපාදන වෙන් කිරීම සංවර්ධනය වෙමින් පවතින රටකට දැරිය නොහැකි අන්දමේ ආර්ථිකමය බරකි. මත්පැන්වල ඇබ්බැහිවීම කොතෙක්ද යත් ඉන්පසු තවත් ප්‍රබල මත් වීමේ දේ සොයාගෙන ගිය මිනිසුන්ගේ ගැහැණුන්ගේ කතාද අඩු නැතිව මේ සමාජයේ දකින්න ලැබේ. එනිසා මත්පැන්වලට ඇබ්බැහි වීම වලක්වා ගැනීමට එහි හානිකර බව පිළිබඳ දරුවන් කුඩා වයසේ සිටම පැහැදිලි කිරීම සහ ඒ ගැන දැනුවත් කිරීම අවශ්‍ය ය. එමෙන්ම ඔබේ මත්පැන් භාවිතය ගැටළුවක් ලෙස දකින්නට හැකිනම් වෛද්‍ය සහය සහ වෘත්තීය උපකාර ඒ වෙනුවෙන් ලබා ගැනීම වටී. විනිශ්චයකින් තොරව ඔබට මෙම ඇබ්බැහියෙන් මිදෙන්න දිරිමත් කරන, සහයෝගය දෙන අය හඳුනා ගැන්ම වටී. ලංකාවේ රජයේ රෝහල් බොහෝමයක මනෝ වෛද්‍ය සායන තුළින් මේ පිළිබඳ උපදේශන සේවා ලබා ගත හැක.
“අපේ තාත්තා බිව්වේ නැත්නම් අපේ ජීවිත මොන තරම් වෙනස් වෙලා ද” තමන්ගේ ව්‍යාපාර පවා බීමත නිසා අහිමි වූ සෞඛ්‍ය ප්‍රශ්න රාශියකට මුහුණ දුන් පුද්ගලයෙකුගේ දියණියක් මා වෙත එසේ පැවසුවා මතකය. එසේ නම් වෛද්‍යවරුන්ගේ කාර්යය භාරය මෙවැනි වෙනස් කළ හැකි අහිතකර පුරුදු පෙන්වා දෙමින් ප්‍රජා සෞඛ්‍ය කෙරෙහි අහිතකර දෑ භාවිතයෙන් තොර කිරීම සඳහා සමාජය, විශේෂයෙන් තරුණ ප්‍රජාව දැනුවත් කිරීම ය.


වෛද්‍ය බෝධිනී සමරතුංග

Leave a Reply

Your email address will not be published. Required fields are marked *