“දන්නවද මෙහෙ පාසැල් හෝ විශ්ව විද්‍යාලවල උගත් හැමෝම වගේ ප්‍රථමාධාර පුහුණුව ලබලා තියෙන්නේ. ඉතින් ඕනෙ කෙනෙක්ට තව කෙනෙක්ගේ ජීවිතය බේරා ගන්න අත්‍යාවශ්‍ය මූලික දේවල් කරන්න පුළුවන්.”
අපට ප්‍රථමාධාර ගැන දේශනයකදී ආචාර්ය තුමිය කීවා.
විශේෂයෙන් ලංකාවේ ප්‍රථමාධාර ගැන එහෙම දැනුමක් හැමෝටම නෑනේ. ඒක නිසා අපි දකිනවා කොඳු නාරටිය සොලවන්නේ (stabilize or immobilize) නැතිව නිසි පරිදි නිශ්චල කර ප්‍රවාහනය කළ යුතු අවස්ථාවල පවා ඒ රෝගීන්ව ඔහේ ඇදලා ඔසවලා එක එක විදිහට සීට් උඩ පටවලා ප්‍රවාහනය කරන විදිහ. හදිසි අවස්ථාවකදී අවට පිරිසගේ මෙන්ම අනතුරට ලක්වූවන්ගේත් ජීවිත බේරාගැනීමේදී සැලකිය යුතු දේ වගේම බිම ඇද වැටුණු කෙනෙකුට උදව්වක් නොකර බලා ඉන්නා අවස්ථා ද කලබල වී වතුර පොවන අවස්ථාද මම දැක තිබෙනවා.
වතාවක් රුවන්මැලි සෑ මළුවේ ෆිට් එක හෙවත් මී මැස්මොරය යනුවෙන් හඳුන්වන එපිලෙප්සි රෝගය තිබුණු පුද්ගලයෙක් සිල් අරගන්න පැමිණි අතර තුර එසේ ෆිට් එක හැදී ගැහෙද්දී බොහෝ අය තැත්කළේ ඒ පුද්ගලයාට වතුර පොවන්න හෝ සීනිකවන්න. මමත් ඒ මොහොතේ එතන හිටිය නිසා මට බලන්න හැකි බව පවසා ඔහුව බිම දිගා වූ ඉරියව්වෙන්ම ඔහුගේ වම් පසට හරවා මුවෙන් වැගිරෙන ශ්‍රාවයන් එලියට වැගිරෙන්න සැලැස්සුවා. මම ඔහුව එසේ අල්ලන් ඉන්නකොටත් බොහෝ දෙනෙක් මට එක එක උපදෙස් දෙනවා, සීනි මුල්, බෙහෙත් පෙති, වතුර බෝතල්, ප්ලේන්ටි වැනි දේ ගෙනැවිත් දෙනවා. ඒ සියල්ල මම එපා කියමින් ගැහෙමින් සිටි ඔහුව වම් ඇලයට හරවා අල්ලගෙන සිටියා . එවෙලේ මා ළඟ හිටිය මගේ හිතවත් ඇන්ටී කීවා මේ දොස්තර කෙනෙක් එයාට ප්‍රතිකාර කරන්න ඉඩ දෙන්න කියලා. ඇම්බියුලන්ස් එකක් එන්න සෑහෙන වෙලාවක් ගියා ඒ පොසොන් පෝය දා නිසා. ඉතින් ලංකාවේ මිනිසුන්ගේ වැටහීමේ තරම මම තේරුම් ගත්තා. ඇත්තටම බොහෝ විට ජීවිතහානි සහ බොහෝ කල් පවතින ශරීර හානි වුනත් ඇති වෙන්න පුළුවන් අවශ්‍යම මොහොතේ මූලික ප්‍රථමාධාරවත් නොලැබුනොත්. දිල්ලි එයාපෝට් එකෙත් ඔහොමම සිද්ධියක් මං මීට කලින් ලීවා.
“ඔයාලා හැමෝම වෛද්‍ය හෙද අංශවල නිසා ඒ වෙනුවෙන් ස්වේජ්ඡාවෙන් ඉදිරිපත් වෙන්න පුළුවන් මෙන්න මේ වෙබ් සයිට් එකේ ලියාපදිංචි වෙන්න. එතකොට තමන් ඉන්න තැන අවට යම් පුද්ගලයෙක්ට අමාරුවෙලා කිසිවෙක් විසින් හෝ මෙහෙ හදිසි ප්‍රතිකාර නොම්මරය ඇමතුවොත් ඔයාලටත් එම තැන ගැන සඳහන් කරලා එස් එම් එස් පණිවිඩයක් එනවා. ඔයාලට මේකෙ ලියාපදිංචි වෙන්න පුළුවන්නම් කොයි තරම් හොඳද මොකද හෘද තෙරපුම් හෙවත් CPR දෙන්න පුහුණුව ලත් කෙනෙක් නිසා ඒ වගේ අවස්ථාවක එවන් තැනකට යන එක ජීවිතයක් බේරනවා ඇති” අපේ දේශකතුමිය කීවා.
මාව පුදුමයට පත් කරමින් අපේ ආචාර්යතුමිය තවත් අපූරු පණිවිඩයක් ඊළඟට කීවා.
“එතකොට මේ ඊලඟට පෙන්වන්නේ… ඔයාලා අවට තියෙන Defibrillators හෙවත් ස්වයංක්‍රීයව හෘදය පණ ගන්වන්න පුළුවන් උපකරණ. මෙවා මැනුවල් ඒවාට වඩා වෙනස්. යන්ත්‍රය සවි කළ විට එම යන්ත්‍රයම උපදෙස් දෙමින් ක්‍රියාත්මක වෙනවා. ඔයාලා මේ ගැන දන්න නිසා තමන්ගේ නිවසට ළඟම ඇති යන්ත්‍රය ස්ථාපිත කරලා තියෙන්නෙ කොහෙද කියල මෙන්න මේ වෙබ් සයිට් එකේ තමන්ගේ ගෙදර ඇඩ්‍රස් එක යොදලා බලලා තියාගන්න.” ( https://www.hjartstartarregistret.se )
“එතකොට ඕනෙ කෙනෙක්ට හදිසි අවස්ථාවක මේ යන්ත්‍රය ලබා ගන්න පුළුවන් ද”
“ඔව් මේ යන්ත්‍ර තියෙන්නේ ඒ ගැන දැනුවත් ඕනෙම කෙනෙක්ට මේක අරගෙන ජීවිතයක් බේරා ගැනීම වෙනුවෙන්. අනික හදිසි ඇමතුම් අංකය ඇමතුවත් එයාල මේක ක්‍රියාත්මක කරන හැටි එවෙලේම කියලා මග පෙන්වනවා”

මම ගෙදර ආපු ගමන් මගේ නිවෙස අසල මේ යන්ත්‍ර ඇති දැයි බැලුවා. ළඟම යන්ත්‍ර තුනක් පෙන්වනවා. එකක් අල්ලපු බිල්ඩිමේ. අනික මීටර් 300 පමණ එහායින් ඇති පුස්තකාලේ සහ නගර සභා බිල්ඩිමේ. ලංකාවේ මෙහෙම ස්වයංක්‍රීය නෙමේ අර්ධ ස්වයංක්‍රීය යන්ත්‍ර පවා ඇති රෝහල් කොයි තරම් ද ? එහෙම එකේ නිවෙස් ළඟ අහල පහල ?
මේවා පුදුම රටවල් ! පුරවැසි ජීවිතවලට වටිනාකමක් දැනෙන සමාජ ! පුරවැසි ජීවිතයක් කොයි තරම් වටිනවාද කියලා ඒත්තු ගැන්වෙන සමාජ !
මම කලින් සටහනක ලිව්ව ටික ආයෙ මන්තරයක් වගේ ලියනවා. මේ පුරවැසියා විසින් හදා ගත් රටවල් මිසක රජුන් තැනූ රටවල් නොවේ. මේවාත් සමාජවාදී ප්‍රජාතන්තවාදී පාලන ක්‍රම ඇති මහජන මුදල් පුරවැසියා වෙනුවෙන් සේවා සපයන්න සැදුනු රටවල්. එනිසා මේ රටවල්වල මිනිසුන්ට අපිට වගේ කර්මය හෝ, පටි තද කරගන්න, හුරු වෙන්න හෝ ඉවසන්න අවශ්‍ය නෑ.
රෝගීන්ට බෙහෙත් කියා වෙන මොනවදෝ එන්නත් කළ රටක, මිනිස්සු මැරෙනවා, රෝහල් අසල මල් ශාලා තියෙන්නේ ඒකටයි කිව්ව රටක, ජීවිත බේරා ගන්න යුද්ධයක යෙදුනු වෛද්‍යවරුන් වන අපට මේ වගේ රටවල ආණ්ඩු විසින් පුරවැසියා වෙනුවෙන් ගොඩනගා ක්‍රියාත්මක වන සේවා ගැන ඉගෙන ගන්නකොට ඇත්තටම විශ්මයක් දැනෙනවා.
ඔබ ප්‍රථමාධාර දීමෙහි අයනු ආයනු වත් දන්නවා ද? නොදන්නේ නම් අනිවාර්‍යයෙන් ඒ ගැන සොයා දැනුවත් වෙන්න. ඔබේම නිවසේ අදරැතියෙකුගේ ජීවිතය හදිසි අවස්ථාවකදී ඔබට ම සුරැකිය හැක.
අපි කොහොමද ප්‍රථමාධාර දෙන්නේ හරි ඒ ගැන ඉගෙන ගන්නේ ?
හරි නම් ලංකාවේ සෑම පුරවැසියෙක් ට ම කුඩා කාලයේ ඒ වයසට ගැළපෙන ලෙස, සා පෙළ හෝ උසස්පෙළ පන්තියේදී, විශ්ව විද්‍යාලයේ දී, රැකියාවෙහි දී අනිවාර්යය පුහුණුවක් ලෙස ප්‍රථමාධාර දීම පිළිබඳ පුහුණුව හා දැනුම ලබා දිය යුතුයි.
හදිසි ඇමතුම් අංකයක් තිබිය යුතුයි. එයට ඇමතූ විට ප්‍රථමාධාර දීම ගැන අවශ්‍ය මෙහෙයවීම එවෙලේම කළ හැකි පුහුණු සෞඛ්‍ය සේවකයන් සිටිය යුතුයි
හදිසි අනතුරකදී සුෂුම්නාවට හානි වෙන්න පුළුවන් නිසා කොන් ද නොසෙල්වෙන ලෙස කොහොමද ඒ අනතුරට ලක්වූ අය ව ප්‍රවාහනය කරන්නේ… මෙන්න මේ දේ කරන්න උපකරණ ඇඳන් ස්ට්‍රේචර් ඕනෙමද ?
Chest compressions හෙවත් පපු තෙරපුම් යනු මොනවා ද ?
රෝගීන්ට බෙහෙත් කියා වෙන මොනවදෝ එන්නත් කළ රටක, මිනිස්සු මැරෙනවා, රෝහල් අසල මල් ශාලා තියෙන්නේ ඒකටයි කිව්ව රටක, ජීවිත බේරා ගන්න නිරන්තර අරගලයක යෙදුනු වෛද්‍යවරුන් වන අපට මේ වගේ රටවල ආණ්ඩු විසින් පුරවැසියා වෙනුවෙන් ගොඩනගා ක්‍රියාත්මක වන සේවා ගැන ඉගෙන ගන්නකොට ඇත්තටම විශ්මයක් දැනෙනවා.
ඔබ ප්‍රථමාධාර දීමෙහි අයනු ආයනු වත් දන්නවා ද? නොදන්නේ නම් අනිවාර්‍යයෙන් ඒ ගැන සොයා දැනුවත් වෙන්න. එය දැන සිටියේ නම් ඔබේම නිවසේ අදරැතියෙකුගේ ජීවිතය හදිසි අවස්ථාවකදී ඔබට ම සුරැකිය හැකියි.
ප්‍රථමාධාර දීමේදී, එනම් හදිසි අවස්ථාවකදී සිහි මුර්ජා වූ හෝ ඕනෑම රෝග තත්ත්වයකට ලක්වූ අයෙකු රෝහලක නොසිටින්නේ නම් රෝහලට යන තෙක්, විශේෂිත වෛද්‍ය උපකාර ලැබෙන තෙක් ජීවිතය සුරැකීමට සහ පවත්වාගෙන යෑමට උපකාර වෙන ප්‍රථමාධාර ක්‍රියාවලිය DRS – ABCDE යනුවෙන් මතක තබා ගත හැකියි.
ප්‍රථමාධාර වල abcde යනු ශ්වසන මාර්ගය, හුස්ම ගැනීම, රුධිර සංසරණය, ආබාධිතභාවය සහ නිරාවරණය ක්‍රමානුකූලව පරීක්ෂා කිරීමෙන් අසනීප හෝ තුවාල වූ රෝගීන් තක්සේරු කර ප්‍රතිකාර කිරීම සඳහා සැකසුනු ක්‍රමයකි ඒ. ඉලක්කය වන්නේ ඊළඟ අදියරට යාමට පෙර සෑම අදියරකදීම ජීවිතයට තර්ජනයක් වන ගැටළු හඳුනාගෙන කළමනාකරණය කිරීම සහ ‘E’ සම්පූර්ණ කිරීමෙන් පසු ‘A’ සිට නැවත ආරම්භ කරමින් රෝගියාගේ තත්ත්වය අඛණ්ඩව නැවත තක්සේරු කිරීමයි.
DRS – danger ? Responsive ? Send for help !
D යනු danger එනම් කිසිවෙක් හෝ අනතුරක හෝ හදිසි රෝගී තත්වයක පසුවෙනවානම් ඒ තැනට ළඟාවෙන්න කලීන් අවට පරිසරය දෙස විමසිලිමත් වීම යි. සමහර විට බේරා ගන්න යන පුද්ගලයාට පවා කරදර වන ලෙස, අබලන් හෝ කඩා වැටෙන තරප්පු, බිල්ඩින් හෝ පාලම් පැවතිය හැකියි. විදුලිය ඇති රැහැන් හෝ කැඩී විදුලිය කාන්දුවන තැනක් විය හැකියි. ගිලා බසින නාය යන තැනක් විය හැකියි. මුලින් ඒ ගැන සැලකිලිමත් වෙන්න.
R – responsiveness – එම පුද්ගලයා අසලට ගිය විගස උස් හඬින් කතා කර, මදක් උරහිසෙන් අල්ලා ඔහු ප්‍රතිචාර දක්වනවා ද? සිහියෙන් සිටීද බලන්න.
S – send for help, එහෙම නැත්නම් කෑ ගසා අවට අයගේ අවධානය සහ උදව් ලබා ගැනීම අවශ්‍ය යි. හදිසි ඇමතුම් අංකයක් තිබේ නම් එය එය අමතන්න.
හදිසි ඇමතුම් අංකයට කතා කර විස්තර කියන අතරේම ඒ කියන්නේ අපේ රටේ නම් සුවසැරිය ඇම්බියුලන්ස් එකට කතා කරන අතරේ උපදෙස් ලබාදෙන්න සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් hotline එකක් තිබුණා නම් වටිනවා. එතකොට උදව් කරන අයට වුණත් ඒ ක පහසුවක්. මේ රටේ නම් අපි හදිසි ඇමතුම් අංක ය අමතලා speaker දාලා එයාලා එක්ක කතා කරමින් තමා ඉතිරිය සිදු කරන්නේ.
ඒ සමගම පහත ආකාරයට ප්‍රථමාධාර දීමේදී අනුගමනය කළ යුතු පිළිවෙලින් පුද්ගලයා වෙත ප්‍රථමාධාර ලබා දෙන්න. පහත දැක්වෙන්නේ ඉතාම කෙටියෙන් සරලව ඒ ගැන හැඳින්වීමක්.
A – ශ්වසන මාර්ගය Air way.![]()
![]()
රෝගියාගේ ශ්වසන මාර්ගය විවෘතව නිරවුල්ව තිබේදැයි පරීක්ෂා කරන්න. අවහිර වී ඇත්නම්, වාතය ඒ හරහා ගමන් කළ හැකි බව සහතික කිරීම සඳහා අවශ්‍ය දෑ සිදු කළ යුතුයි. මෙහිදී head tilt and jaw thrust කියා අප හඳුන්වන නළල පෙදෙසින් මදක් තෙරපන අතරේ අනෙක් අතින් නිකට යටින් යටි හනුව දෙපසින් අත තබා ඉහළට එසවීම මගින් යටි හනුව බෙල්ල නොසොල්වා ඉහළට චලනය කළ හැක. මෙමගින් දිව පහතට වැටී ශ්වසන මාර්ගය අවහිර වීම නවතී. ,සවිස්තරාත්මක වීඩියෝ එකක් කමෙන්ට් වල ඇත.
B – breathing හුස්ම ගැනීම ![]()
රෝගියාගේ හුස්ම ගැනීමේ වේගය, ගැඹුර සහ රිද්මය තක්සේරු කරගැනීම. හුස්ම ගැනීම නොමැති නම් හෝ ප්‍රමාණවත් නොවේ නම්, ඔක්සිජන් ඇත්නම් එය හෝ වාතාශ්‍රය ලබාදීම.
C – circulation සංසරණය ![]()
![]()
මෙහිදී රුධිර සංසරණය අදහස් කෙරේ.
රෝගියාගේ, නාඩි පරීක්ෂාව, හෘද ස්පන්දනය සහ රුධිර පීඩනය පරීක්ෂා කිරීමෙන් ඔහුගේ රුධිර සංසරණය තක්සේරු කරන්න. අවශ්‍ය නම් දුර්වල රුධිර සංසරණයක සලකුණු ඇත්නම් අවශ්‍ය ප්‍රථමාධාර දීම හෘද සම්පීඩන (CPR) සහ කෘතීම ආශ්වාස දීම ආරම්භ කිරීම.
D – disability ආබාධිතභාවය
රෝගියාගේ සිහිකල්පනා මට්ටම, වේදනාවට ප්‍රතිචාරය සහ ඔවුන්ගේ ඇස් පරීක්ෂා කිරීම මගින් මූලිකව මොළය ආශ්‍රිත ගැටළු හඳුනා ගැනීමට හැක. බොහෝ විට පුහුණුව ලත් හදිසි ප්‍රතිකාර දෙන පිරිස් මේවා දන්නවා. කොඳු ඇට පෙළ ආශ්‍රිත හානි තිබිය හැකි හෙයින් ප්‍රවාහනයේ දී කොන්ද කෙලින් සිටින ලෙස ලෑල්ලක් වැනි සවිමත් පෘෂ්ඨයක් මත නොසෙල්වෙන ලෙස තබා ප්‍රවාහනය කිරීම වැදගත්.
E – Exposure නිරාවරණය
රෝගියාට සම්පූර්ණ ශාරීරික පරීක්ෂණයකට ඉඩ සැලසීමට, තුවාල, ලේ ගැලීම හෝ ශාරීරිකව මග හැරී ඇති වෙනත් පැහැදිලි නොවන ගැටළු සොයා බැලීම.
මේවා පැහැදිලි කරන වීඩියෝ අන්තර්ජාලයේ හමුවෙනවා. ඔබ මේ ගැන දන්නේ නැත්නම් අදම ඒ ගැන දැනුවත් වෙන්න. එමෙන්ම සාමාන්‍ය පෙළ සහ උසස්පෙළ පන්තිවල වගේම රැකියා ස්ථාන, විශ්ව විද්‍යාල ආදියෙහිද ප්‍රථමාධාර පුහුණුවක් තම පිරිස් වෙත ලබා දීම වටිනවා. ජීවන කුසලතාවයක් ලෙස මේ දේවල් දැන උගෙන සිටීම තුළින් අහඹු මොහොතක ජීවිතයක් බේරා ගැනීමට ඔබට හැකිවෙනු ඇත.
වෛද්‍ය බෝධිනී සමරතුංග
(කොපි නොකරනු මැනවි. ඒ වෙනුවට ඔබට මේ සටහන share කළ හැක.)
මේ සතියේ මව්බිම පුවත්පතේ මෙහි සංෂිප්ත සටහනක් පළවිය.
