අපි, අපේ අම්මලාගේ අත්තම්මලාගේ ප්‍රශ්න දකිමින්, ඔවුන්ගේ දුක කඳුළ බෙදා ගනිමින් ඇති දැඩි වූ පරම්පරාවකි. මේ කාලය තුළ මම වෛද්‍යවරියක ලෙසද දියණියක ලෙසද මවක ලෙස ද අපේ කාන්තාවන් තමන්ගේ සෞඛ්‍යය කොයිත් තරම් සුළු කොට සලකනවාද කියා දැක තිබේ. ජාත්‍යන්තර කාන්තා දිනය යනු ලොව පුරා සිටින කාන්තාවන්ගේ ජීවිත ජයග්‍රහණ, ඔවුන් සතු ශක්තිය සැමරීමට මෙන්ම සෑම කාන්තාවකටම, සියලු තැන් හි බලපාන ගැටළු පිළිබඳව දැනුවත්භාවය ඇති කිරීමට අවස්ථාවක් ලෙස පෙනේ. කාන්තාවන් සාමාන්‍යයෙන් පුරුෂයින්ට වඩා දිගු කාලයක් ජීවත් වුවද, බහුතරයක් ස්ත්‍රින් ගත කරන්නෙ සෞඛ්‍ය සම්පන්න ජීවියක් නොවේ. ඔවුන් ජීවිතයේ අග භාගය වන විට හෘද රෝග, දිය වැඩියාව, අධික රුධිර පීඩනය වැනි නිදන්ගත රෝගාබාද වලින් පෙලෙන බව පෙනේ.
කාන්තා රෝග සහ සෞඛ්‍ය අභියෝග යනු, නොසලකා හරින ලද හෝ සුළුවෙන් පර්යේෂණ කර ඇති අංශයකි. ජීව විද්‍යාව, සමාජීය සාධක සහ රැකවරණය වැනි සංකීර්ණ කරුණු රාශියක් සමග කාන්තා සෞඛ්‍යය බද්ධ වී ඇත. මෑත කාලීන විශ්ලේෂණයන් සහ ඓතිහාසික සාධක පෙන්වා දෙන්නේ නූතන වෛද්‍ය විද්‍යාත්මක පර්යේෂණ, ඖෂධ සම්බන්ද පර්යේෂණ පවා පුරුෂ ශරීරය පදනම් කරගෙන සිදු කර ඇති බව ය.
ලෝකයේ ඇතැම් රටවල කාන්තාවන්ට ප්‍රමිතියෙන් උසස් සෞඛ්‍ය සේවාවක් සඳහා ප්‍රවේශය පවා අසීරු ය. ප්‍රජනන සෞඛ්‍ය සේවා, උපත් පාලන ක්‍රම සහ නාරිවේද පිළිකා පරීක්ෂාවන් වැනි අත්‍යවශ්‍ය සේවාවන් සඳහා බොහෝ කාන්තාවන්ට තවමත් ප්‍රවේශයක් හෝ දැනුවත්භාවයක් නොමැත. දරිද්‍රතාවය, පාසල් අධ්‍යාපනය සීමා සහිත වීම, සංස්කෘතික සහ ආගමික විශ්වාසයන් මත පදනම් වූ සීමා කිරීම් සහ ස්වාධීනත්වය අහිමි වීම මත සෞඛ්‍ය සේවා සඳහා ප්‍රවේශයන් සීමා වේ. සෞඛ්‍ය සේවා සඳහා ප්‍රවේශය වැඩිදියුණු කිරීම කාන්තාවන්ගේ යහපැවැත්ම සඳහා පමණක් නොව, පවුල්, ප්‍රජාවන් සහ අනාගත පරම්පරාවන්ගේ උන්නතිය සඳහා ද අත්‍යවශ්‍ය වේ.

කාන්තාවන්ගේ වේදනා නොසලකා හරින්නේ ද ?
“හන්දිපත් වේදනා, ඇඟපත වේදනා, කොන්දේ කැක්කුම්” මේ අකාරයෙන් කාන්තාවන් විශේෂයෙන්ම වයස්ගත වෙත්ම නිරන්තරයෙන් පවසන වේදනා රාශියක් අපට සායන වල ඇසේ. එහෙත් සෞඛ්‍ය සේවාවන් තුළදී කාන්තාවන්ගේ වේදනාව බොහෝ විට එතරම් බැරෑරුම් ලෙස සලකන්නේ නැති බව ද, ප්‍රතිකාර හා රෝග විනිශ්චය ප්‍රමාද වන බව ද ගෝලීය දත්ත පෙන්වා දේ. කාන්තා මානසික සෞඛ්‍යය පිළිබඳවද සමාජය තුළ පවතින්නේ ඉතා අඩු සැලකිල්ලකි. පුරුෂයින්ට වඩා කාන්තාවන් විශාදිය, මානසික අවපීඩනය සහ කාංසාව අත්විඳීමට දෙගුණයක් පමණ ඉඩ ඇත. වැඩිවිය පැමිණීම, ගර්භණී කාලය, පසු ප්‍රසව කාලය සහ ආර්තවහරණය වැනි ජීවිතයේ ප්‍රධාන අවධීන්හිදී සිදුවන හෝමෝන වෙනස්කම් නිසා මානසික රෝග කෙරෙහි අවදානම වැඩි කළ හැකි අතර එය සමස්ථ සමාජයේම යහපැවැත්මට බලපායි.
තවමත් හෘද රෝග අංක එක !
ලොව පුරා කාන්තාවන්ගේ මරණයට ප්‍රධානතම හේතුව හෘද රෝග වන අතර එනිසා ලොව පුරා කාන්තා මරණ තුනෙන් එකකට බලපාන බව සංඛ්‍යා ලේඛන පෙන්වා දේ. කෙසේ වෙතත්, බොහෝ කාන්තාවන් රෝග ලක්ෂණ හඳුනා නොගන්නේ ඒවා පිරිමින් තුළ දක්නට ලැබෙන සාමාන්‍ය රෝග ලක්ෂණ වලට වඩා වෙනස් විය හැකි බැවිනි. අප සුලභව අසා දැන සිටින පපුවේ වේදනාව වෙනුවට, කාන්තාවන්ට ඔක්කාරය, තෙහෙට්ටුව හෝ හකු හෝ පිටේ වේදනාව අත්විඳිය හැකිය. මෙම වෙනස්කම් වැරදි රෝග විනිශ්චයකට හෝ ප්‍රතිකාර ප්‍රමාද වීමිට හේතු විය හැකි අතර, හෘද රෝග කාන්තාවන්ට බලපාන ආකාරය පිළිබඳ දැනුවත්භාවය වැඩි දියුණු කිරීම සහ සමාජය තුල ඒ පිළිබඳ අවබෝධය වැඩි දියුණු කිරීම අත්‍යවශ්‍ය ය.
පිළිකා තත්ත්වයන් ගැන දැනුවත් භාවය අඩු ද ?
ලොව පුරා කාන්තාවන් අතර බහුලවම හඳුනාගත් පිළිකාව පියයුරු පිළිකාව ය. දැනුවත් කිරීම මෙන්ම කාලානුරූපව පරීක්ෂාවන්ට ලක් කිරීම මගින් පියයුරු පිළිකා කල්තියා හඳුනා ගත හැක. “පැප් ටෙස්ට්” නමින් හඳුන්වන ගැබ් ගෙල පිළිකා හඳුනා ගැනීමේ මූලික පරීක්ෂණය මෙන්ම පියයුරු පිළිකා හඳුනා ගැනීමේ මූලික පරීක්ෂණ ද අවදානම් වයස් කාණ්ඩ සහ හේතු සහිත කාන්තාවන් වෙත ලබා දීම සිදු විය යුතු ය. යුරෝපා රටක පශ්චාත් උපාධි අධ්‍යනය ලබන විට එරට වැසියෙක් නොවුන ද අවුරුදු 35 වැඩි කාන්තාවන් සියල්ලන් වෙනුවෙන් නොමිලේ සිදු කරන පියයුරු පිළිකා හඳුනා ගැනීම වෙනුවෙන් සිදු කරන මැමෝග්‍රම් සහ ගැබ්ගෙල පිළිකා හඳුනා ගැනීම පිණිස සිදු කරන පැප් පරීක්ෂණය මා වෙතද ලබා දුනි. සෞඛ්‍ය ප්‍රවේශයේ සමානාත්මතාවය මෙරට වාසී සියල්ලන් වෙත ලැබෙන්නේ එලෙසිනි. අප රටේ ද පිළිකා කල්තියා හඳුනා ගැනීමේ මධ්‍යස්ථානයක් ඇත. එමෙන්ම දිවයින පිරා රෝහල් තුළ ප්‍රසව හා නාරිවේද අංශ තුලදී ද මේ පහසුකම් සැලසේ.
ඔසප් සනීපාරක්ෂාව මූලික අයිතිවාසිකමකි !
වර්තමානයේ අප සමාජයේ නවයොවුන් දැරිවියගේ සිට ආර්ථවහරණය සිදුවන තෙක් කාන්තාවන් සියල්ලන් එක සේ මුහුණ දෙන ඔසප් සෞඛ්‍යය හා බැඳුනු බාධක ගණනාවක් අප හමුවේ ඇත. කාන්තාවන් තම රෝග ලක්ෂණ නොසලකා හැරීමට, ප්‍රමාද වූ රෝග විනිශ්චයන් ලබා ගැනීමට හෝ සුදුසු සත්කාර සඳහා ප්‍රවේශවීමට බාධා ඇති බව පෙනේ. ඒ සමඟම, කාන්තාවන් තමන්ගේ සෞඛ්‍යය කෙරෙහි සැලකිල්ලක් නැති අතර ඔවුන් වැඩි අවදානයක් දෙන්නේ තම පවුල රැකබලා ගැනීමේ වගකීම්වලට බවද පෙනේ. කාන්තාවන් බොහෝ විට අන් අයගේ සෞඛ්‍යයට ප්‍රමුඛත්වය දෙයි.

ඒ නිසා මේ මොහොතේ ඔසප් සනීපාරක්ෂාව ගැන අප වඩාත් අවදානය යොමු කළ යුතු යැයි සිතේ. ඔසප් වීම යනු කාන්තාවන් බලෙන් ඉල්ලා ඔවුන් මත පටවාගත් ක්‍රියාවලියක් නොවේ. ඒනිසා ඒ අතිශය ස්වභාවික සංසිද්ධිය නිසා ඇයට ආර්ථික හෝ සංස්කෘතික බාදාකිරීම් සිදුවිය යුතු නොවේ. එය ශිෂ්ටසම්පන්න මානුෂීය සමාජයක හුරුව විය යුතුය.
“ඕවා ඇඳලා විසිකරන්න ඔච්චර ගෙවන්නේ කොහොමද ?” සමාජයේ ආර්ථික අතින් ඉතා අපහසු ස්ථරයන්හි ජීවත්වන ස්ත්‍රීන් මාගෙන් විමසුවා මතක ය. බොහෝ දැරිවියන් ඒ දිනවල පාසල් නොපැමිනෙන බවද ඇසේ.
යුරෝපයේ බොහෝ රටවල පාසැල් තුළ සනීපාරක්ෂක තුවා නොමිලයේ ලබා ගැනීම පිණිස තිබේ. දැරියන් බොහෝමයකට එය මහත් අස්වැසිල්ලකි. එක් ගුරුවරියක පැවසුවේ ඔසප් වන්නේ නම් පැය හතරකට වරක් තමන් ඇඳ සිටින සනීපාරක්ෂක තුවාය මාරු කරගැනීමට තම ශිෂ්‍යාවන්ට උපදෙස් දෙන බව ය.
ඉන්දියාවේ ඔඩිෂා හි 2018 සිදුකර ඇති එවැනි පර් යේෂණයකදී පෙන්වා දී තිබුනේ මාස් ශුද්ධිය ඇතිවන කාලයේදී ඒ සඳහා භාවිතා කරන අපිරිසිඳු ආකාරයේ ක්‍රමොපායන් සහ කාන්තා ප්‍රජනන සෞඛ්‍යයට හානි ගෙන දෙන ආසාදන අතර සෘජු සම්බන්දයක් ඇති බවය. එහි අතුරු ප්‍රථිඵල ලෙස, ප්‍රජනන සෞඛ්‍යයට බලපාන තත්ත්ව මෙන්ම ජීවිත හානි ගෙන දෙන ආසාදන තත්ත්ව පවා ඇතිවිය හැක.
ඔසප් වීමේ කාලය සෞඛ්‍ය සම්පන්නව කළමනාකරණය කර ගැනීමට හැකිවීම කාන්තාවන්ගේ මූලික අයිතිවාසිකමකි. උතුම් මානවීය ගුණදර්ම අගයන, මානව අයිතිවාසිකම් සුරැකීම පිළිබඳව වදවෙන සමාජයක එවන් පහසුකම් වෙනුවෙන් ප්‍රතිපාදන සකස්විය යුතුයැයි මා උදක්ම විශ්වාසකරමි.
ආර්ථවරහණය සහ ඔස්ටියෝපොරෝසිස්
ආර්ථවහරණයෙන් පසු එළඹෙන කාලයේදී,ශරීරයේ හෝමෝන වෙනස්වීම් මත ඇතිවන ඔස්ටියෝපොරෝසිස් තත්ත්වය පිරිමින්ට වඩා කාන්තාවන්ට ඇති බලපෑම වැඩි ය. අස්ථි ඝනත්වය ආරක්ෂා කිරීම සඳහා ප්‍රධාන කාර් යය භාරයක් ඉටුකරන ඊස්ට්‍රජන් හෝමෝන මට්ට්ම ආර්තවහරණය අතරතුර සැලකිය යුතු ලෙස පහත වැටේ. කාලයත් සමඟ අස්ථි දුර්වලතා ඇතිවන අතර මේ නිසා අස්ථි බිඳීමේ අවදානම වැඩි කරයි. මේ තත්ත්වය ඇතිවෙන්නට කළින් වලක්වා ගැනීම පිණිස අප සමාජයේ කාන්තාවන් වෙත අවශ්‍ය දැනුම සහ සවිය ලැබෙන්නෙ බොහෝ අඩුවෙනි.
ජාත්‍යන්තර කාන්තා දිනයේදී, කාන්තා සෞඛ්‍යය කෙරෙහි සමාජ අවධානය සහ කැපවීම හඳුනා ගැනීම පමණක් නොව, අඩුලුහුුඬුකම් පිළිගැනීම මෙන්ම ඒවා වලක්වා ගැනීම ද වැදගත් වේ. දැනුවත්භාවය වැඩි කිරීමෙන්, පර්යේෂණ දිරිමත් කිරීමෙන් සහ කාන්තාවන්ගේ යහපැවැත්ම වෙනුවෙන් සමාජයේ දැනුවත් භාවය ඇති කිරීමෙන් කාන්තාවකගේ ජීවිතයේ සෑම අදියරකදීම ඇයගේ සෞඛ්‍යය ගැටළු අවබෝධ කර ගන්නා, ඒවා අවම කරගැනීම පිණිස සහාය දක්වන සහ ප්‍රමුඛතාවය දෙන අනාගතයකට අප මඟ එළි පෙහෙළි කළ යුතුය.
වෛද්‍ය බෝධිනී සමරතුංග
ශ්‍රී ලංකා කාන්තා කර්‍යාංශයේ 2026 කාන්තා දින සැමරුම් සඟරාව වන “කාන්තා සවිය” සඟරාවේ පළ විය.
(උපුටා පළ කිරීම නොකළ මැනවි)
