අම්මලාගේ හැඩ ගත් හිස් ඉඩ

මම දකින්නේම තුවාල වූ හිත් ඇත්තන්…මනසේ විවිධ හැඩයන් සහිත තුවල වූ හිත් ඇත්තන්.

“කියමනක් තියෙනවා දරුවන්ගේ ආත්මය තුල / හිත තුල එයාලගෙ අම්මලාගේ හැඩය ගත් හිස් ඉඩක් තිබෙනවා කියලා. අම්මා කෙනෙක්ට ඒ හිස් ඉඩ පුරවන්න බැරි වුනොත් ඒ දරුවන් ජීවිත කාලයම…ඔව් ජීවිත කාලයම ඒ හිස් ඉඩ නිසා පීඩා විඳිනවා.”

ඔවුන් වැඩිහිටියන් වුනු පසුත් මේ හිස් ඉඩ නිසා සමාජයට පරිපූර්ණ වූ මනස් ඇත්තන් ලෙස ඉදිරිපත් වෙන්නේ නෑ.

සැරෙන් සැරේ මට එහෙම දරුවන් සහ මිනිසුන් හමුවෙනවා. ඔවුන් ඒ දරුණු තුවාල එක්ක, ඔව් ඒ හිස් ඉඩ නිසා දරුණු ලෙස පෑරුණු ඕජස් ගලන තුවාල සහිත හිත් එක්ක සමාජයේ යනෙන තැන ආසාදනය කරමින්.

ඔව් එහෙම වෙනවා. අම්මා කෙනෙක්ට දරුවන්ගේ ඇස් දෙකට එබිලා ඒ දරුවන් විඳිනා දුක සන්තාපය තේරුම් ගන්න බැරිනම් ඒ දරුවන් ජීවිත කාලයක් පුරා විඳවමින් ඔවුන් වැඩිහිටියන් වූ පසුත් ජීවිතය බෙදා හදා ගන්නා අයගේ ජීවිතද අඳුරේ හෙලමින් බොහෝ අවුල් වියවුල් මැද කල් ගෙවනව.

මෙතනදි ඔබ කල්පනා කරන්න පුළුවන් ඇයි මම අම්මා ගැනම පමණක් මූලික කරගෙන මේ දේවල් පවසන්නේ කියලා. තාත්තා කෙනෙක්ට මේ දේවල වගකීමක් නැද්ද කියලා. ඔව් තාත්තා කෙනෙකුටත් දරුවන් ගැන වගේම වගකීමක් මව් කුස දරුවෙක් පිළිසිඳගත් දා පටන් තිබෙන නමුත් හරි ලේසියෙන් ඒවයෙන් මිදෙන්නට සමාජය තුල ගතානුගතික සාම්ප්‍රදායක් පවතිනවා. එනිසා අද මම අම්මලා ගැන විතරයි කතා කරන්නේ. නමුත් තාත්තා කෙනෙක්ටත් මේ දේ වල් පොදුයි.

මා දන්නා එවන් ගැහැණුන් පිරිමින් මේ හිස් ඉඩ පුරවා ගන්න නොයෙක් දේ කරනවා. තමන්ට නොගැලපෙන දේ වලින් කොහොම හරි මේ හිස් ඉඩ පුරා අතුරාගෙන ජීවිත කාලයක් දුක් විඳින අය මට මුණ ගැහෙනවා.

ඒ හිස් ඉඩ කළු කුහරයක් දක්වා වර්ධනය වෙලා වැඩිහිටියන් වෙද්දී කළු කුහරය විසින් අපව ගිලදමනවා මම අනන්තවත් දැක තිබෙනවා. අපහසු ළමා කාලයන්, දුක් වේදනා පීඩන සහිත ළමා කාලයන් ගත කළ දරුවන් වැඩිහිටියන් වූ පසු ද මේ දේවල් නිසා දුක් විඳිනවා, මානසික රෝග යටතේ හඳුන්වන බොහෝ සිත රෝගි කරන තත්ත්වයන් මේ නිසා ඇතිවෙනව.

“මම මගේ මව සමග නොසන්සිඳෙන වෛරයකින් සිටියේ. එයට හේතුව කුඩා කාලයේ සිට චිත්ත පීඩා ගෙන දුන් වාග් මාලාවක් සහ ඇණුම් බැණුම් සහිත කාලයක් ගෙවන්නට වූ නිසා, ළමා කාලයේම නොයෙකුත් ගෙදර දොර යුතුකම් වගකීම් කරට ගන්නට සිදුවූ නිසා. දන්නවද මම උයා පිහා තියෙනවා අවුරුදු අට දහය තරම් කුඩා කාලයේ ඉඳන්. බාල සහෝදර සහෝදරියන් බලා කියා ගැන්ම පවා කරන්න සිදුවූ ඒ කාලය කිසිම සුන්දර කමක් පෙනෙන්නෙ නෑ” මා මිතුරියක කීවාය.

“සමහර දවසට කන්න දෙයක් නැති කොට අපි පන්සලට යනවා. ඔහොම ගිහින් සහෝදරයා මහණ වුණා. නොයෙක් අතවර සිදුවුනා , ඒ කිසිඳු රැකවරණයක් නැතිව සිටි අපට අත්වූ ඉරණම. අනාරක්ෂිත කාලයක අපිව රැක බලාගත්තේ නැතිවට, තවමත් නොයෙක් මිත්‍යා විශ්වාස කර තියන් මට දෙන චිත්ත පීඩාවලට මම තවම මගේ අම්මට තාත්තට වෛර කරනවා” රෑ හීනෙන් අදත් බය කරන ඒ කුඩා කල සිදුවීම් ඇති බව මගේ මිතුරා පවසනවා.

මේ සටහන එවන් වූ මිනිසුන් වෙනුවෙනි. ඔබේ හිස් ඉඩ පුරවාගමු, නිවැරදි මග පෙන්වීමෙන්, උපදේශනයෙන් සහ මනෝවෛද්‍ය ප්‍රතිකාර ක්‍රම මගින්, ඔබට අවශ්‍ය ආදරය කරුණාව සහ දයාව ඇති මිනිසුන්ගෙන් නො අඩුව ලැබේවි. ඔවුන් වැඩියෙන් ළඟ රඳවා ගන්න.

ඊළඟට මම අම්මලා දිහාත් බලන්නෙමි….

මම දකින්නේ රැකියාවත් ගෘහ ජීවිතයත්, දරුවනුත් ඒ වගකීමුත් අතර දෝලනය වෙමින් බොහොම කාර්යය බහුල ජීවිත ගත කරන ස්ත්‍රීන්. ඔවුන්ට විවාහය කියන්නේ තවත් ජීවිතය අපහසු කරවන සුළු දෙයක් වෙලා. බහුතරයක් ගැහැණු අසන්තෝස දුකින් පිරුණු ජීවිත ගත කරනවා. ඉතා දැඩි වෙහෙසකර වැඩමුර ගෙවමින්, කෙසේ හෝ තම පවුල වෙනුවෙන් වෙලාව වෙන් කරගන්න. යුතුකම් වගකීම් කියන ලේබල වලින් ගහණ ඔවුන්ගේ ජීවිත සටනින් ජයගන්න උත්සහ කරනවා.

මට හමුවෙන හිඟමනේ යන ස්ත්‍රියත්, අප වාට්ටුව පිරිසිඳු කරන්නියත්, මමත් යන අප සියල්ලටම පොදු මේ වගකීම් සහ යුතුකම් ලේබල නිසා අපි ජීවිත කාලයක් ගෙවා දමන්නේ දැඩි පීඩනයන් යටතේ. එයට කාටවත් දොස් කියා වැඩක් නෑ. ඒ මේ සමාජය හැදුණු හැටියි.

මා හිතවත් මනෝවිද්‍යා උපදේශකවරයෙක් වරක් පැවසුවේ බොහෝ විට මේ මව්වරුන් පියවරුන් වෙත දරුවන් පත්ව ඇති අවාසනාවන්ත කාලය ගැන දැනුම අදහසක් නැති බවය. සමහර විට එවන් දෙමාපියන්ද මනසින් රෝගී වූවන්. ඉතින් ඔවුන් දරුවන්ට සිදු කරන අකටයුතුකම්, අනාදරය හෝ රැකවරණය නොදීම ගැන ඔවුන්ට ද පැහැදිලි අවබෝදයක් නෑ.

“කවුන්සෙලර් මොනවද කිව්වේ” එලෙස තමන්ගේ මව කෙරෙහි වූ වෛරය නැති කරගන්න උපදේශනය ලබා ගත් අයෙකුගෙන් මා ඇසුවේ ඒ ගැන අවබෝද කරගැනීමටමය.

මගේ හිතේ කරදරය එළියට දැම්මා. එයා මුලින්ම කළේ මම දුක් පීඩා සහිත අපහසු ළමා කාලයක් ගත කළා කියන එක මට කිව්ව එකයි. ඉන් පස්සේ ඒ වෙනුවෙන් මා සමඟ දුක්වෙන බව කීවා. ඒ පළමු වතාවට කෙනෙක් මාගේ චිත්ත පීඩා අවබෝද කරගත් වෙලාවයි. මා මේ චිත්ත පීඩා මගේ දෙමාපියන්ට කීවාට කවදාවත් ඔවුන් ඒවා කතා කළේ හෝ පිළිගත්තේ නෑ. දෙමාපියො එහෙම තමා බනිනවා ගහනවා ඒ හදාගන්න. එහෙම නැත්නම් මෙහෙම ඉන්නෙ නෑ” වගේ දේවල්මයි කීවේ. මව පියා මිය ගියද, මේ දරුවාගේ හිතේ වෛරය අඩු වුනේ නෑ. ඔහු ඒ නිසා නිරන්තරයෙන් චිත්ත පීඩාවට පත් වුණා. පසුගිය කාලයේ අඳුර විටින් විට පැමිණ ඒ ශෝකය මතක් කළා.

“ ඇස් පියාගෙන ඔබේ මව ඔබ ඉදිරියේ ඉන්නවා කියා සිතන්න. බලන්න ඇය කොයි තරම් තරහෙන් ඔබට කෑ ගහනවද කියලා. ඇය මනසෙන් රෝගී වූ අයෙක්… ඇගේ රෝගය ගැන ඇයට වැටහීමක් නෑ. ඇය දරුවන්ට නොසරුප් වදනින් බැන වැදී පහර දී ඇගේ චිත්ත පීඩාව පිට කරනවා. ඇය අනුකම්පාව ලැබිය යුතු කෙනෙක් නේද ? ඇයට සමාව දෙන්න පුතේ. අම්මා මානසික රෝගියෙක් සේ සලකා සමාව දෙන්න. ඇය කළ සියල්ල කළේ යහපත් මනසකින් නොවේ. එසේ සිතා සමාව දෙන්න. ඔබේ මනසේ වෛරය නැතිකරගැනීම පිණිස සමාව දෙන්න. අම්මේ මම ඔබට සමාව දෙනවා. ඔබ මටත් සමාව දෙන්න”

“මෙන්න මේ දේ භාවනාවක් වගේ හිතුවා. නිරන්තරයෙන් හිතුවා. මගේ හිතේ ඇය කෙරෙහි වෛරය සංසිඳුනා. ඊට අමතරව හුස්ම ගැනීම සමබන්ද ව්‍යායාම සහ tapping therapy හෙවත් EFT, emotional freedom therapy මා වෙනුවෙන් කියා දුන්නා. ඒ දේවල් නිසා මගේ හිත බොහෝ දුරට හැදුනා හැබැයි කාලයක් ගත වුණා…” ඔහු කීවා

තව කෙනෙක් ගේ නිවීම පිණිස හැකිනම් මේවා ලියන්න යැයි කියූ ඇයට සහ ඔහුට බොහෝ ස්තූතියි.

මේ කතාව මෙලෙස පල කරන්නෙ එසේ කරන්න යැයි ලද ආරාධනාවෙන්.

වෛද්‍ය බෝධිනි සමරතුංග

Leave a Reply

Your email address will not be published. Required fields are marked *