සීනි කෑම

සමහර ලෙඩ හැදෙන්න හේතු තියනවා, සමහර හේතු කාරක පාලනයෙන් තොරයි. එත් සමහර රෝග පාලනය හෝ වලක්වන්න පුළුවන්. මේ කාලයේ බෝ වන වසංගත රෝගයක් හෙවත් කෝවිඩ්-19 නිසා ලෝකයම අපහසු කාලයක් ගෙවනවා වූව ද බෝ වන රෝගවලට වඩා බෝ නොවන රෝග වලින් සිදු වන අතුරු ආබාද සහ මරණ බෙහෙවින් වැඩි බවයි පැවසෙන්නේ.

ඒ අතරින් දියවැඩියාව ලොව පුරා රෝගාබාධ හා මරණ බොහෝමයක ට හේතු වන බෝ නොවන රෝගයක්. ජාත්‍යාන්තර දියවැඩියා සම්මේලනයේ දත්තවලට අනුව, 2019 දී, වැඩිහිටියන් මිලියන 463 ක් පමණ දියවැඩියා රෝගයෙන් පෙලෙන බව පැවසෙනවා. එය සමහර රටවල මරණ සඳහා පළමු ප්‍රධාන හේතු තුනෙන් එකක් බවට පත්වුබවත් ; 2012 දී, එය මිලියන 1.5 ක් මරණයට හේතු වූ බවත් ලෝක සෞඛ්‍ය සංවිධාන දත්ත පෙන්වා දෙනවා.

ශ්‍රී ලංකාවේ දියවැඩියා රෝගය මරණ සඳහා හේතුවන 3 වැනි ප්‍රධාන හේතුව ලෙසත්, 2019 වසරේ මරණ සහ ආබාධිත තත්ත්වයට අංක එකේ හේතුව ලෙසත් ශ්‍රේණිගත කර තිබෙන බව පෙනී යනවා.

දවසෙන් වැඩි වෙලාවක් ඉඳගෙන ඉන්න, පරිඝණකය ආශ්‍රිත රැකියාවන් කරමින් ඉන්න, වැඩි ක්‍රියාශීලීත්වය ක් නැති ඔබ මම, වගේ අයට මේ රෝගය වැළඳීමේ අවධානම වැඩි බව ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙනවා. ශ්‍රී ලංකාවේ අගනුවර ආශ්‍රිත නාගරීකරණය වූ ප්‍රදේශ කෙරෙහි අවධානය යොමු කරමින්, ,2019 වෛද්‍ය සෝමසුන්දරම් ඇතුළු පිරිස විසින් කරන ලද පර්යේෂණයේදී දකුණු ආසියානු කලාපයේ දියවැඩියා රෝගයේ ඉහළම ව්‍යාප්තිය ඔවුන් විසින් හඳුනාගන්නවා. දියවැඩියාව මෙතරම් සැලකිය යුතු මට්ටමින් වැඩිවීමට ප්‍රධාන හේතු අපි කවුරුත් දන්නා පරිදි ජීවන රටාවේ ස්වභාවය බව පර්යේෂකයන් පෙන්වා දෙනවා. ශරීරයේ විවිධ පද්ධති බොහෝමයක සංකූලතා ඇති කරන නිසා එය ජීවන තත්ත්වයට බෙහෙවින් බාධා කරයි. වකුගඩු ආශ්‍රිත රෝග, කිරීටක ධමනි රෝග, ස්නායු රෝග සහ අක්ෂි ආබාධ, රුධිරවාහිනී ගැටළු වැනි සංකූලතා ඇති වේ. නිදහස් සෞඛ්‍ය සේවා ඇති සංවර්ධනය වෙමින් පවතින රටක් වන ශ්‍රී ලංකාව තුළ මෙම සංකූලතා කළමනාකරණය කිරීම සහ ජීවිත කාලය පුරාම ප්‍රතිකාර ක්‍රියාත්මක කිරීමට නිදහස් සෞඛ්‍ය යාන්ත්‍රණයේ වැඩි පිරිවැයක් යොමු වෙනවා.

ගර්භණී සමයේදී ඇතිවන දියවැඩියා තත්තවය ,ජානගත පිහිටීමවයස වෙනස් කිරීමට නොහැකි අවදානම් සාධක වුවත් ක්‍රියාශීලී නොවීම, සෞඛ්‍ය සම්පන්න නොවන ආහාර පුරුදු, දුම්පානය සහ මත්පැන් පානය වැනි දෑ, දියවැඩියාවට හේතුවන, වෙනස් කළ හැකි අවදානම් සාධක වේ. ඒවගේම ස්ත්‍රී පුරුෂ භාවය හෝ සමාජ-ආර්ථික වෙනස්කම් මෙම වෙනස් කළ හැකි අවදානම් සාධක සඳහා දායක විය හැකියි.

මෙම ගැටලුව සඳහා විසඳුම් සෙවීම සඳහා, දියවැඩියා තත්ත්වය ඇති කරන ජීවන රටා සහ පුරුදු තේරුම් ගත යුතුයි.

“පිටි ආහාර කන්න එපා කියන එක මුළු දවසටම රොටියක් කාලා ප්ලේන්ටි යක් බීලා කුසගින්න නිවා ගන්න බහුතරයක් අගහිඟකම්වලින් පෙළෙන සමාජයකට අපි කියන්නේ කොහොමද?”

මේ අපි නිතර කල්පනා කළ ප්‍රශ්නයක්. ශ්‍රී ලංකාව විවිධ ආහාර සංස්කෘතීන් සහිත බහු වාර්ගික, බහු ආගමික රටක්. බොහෝ දෙනා ප්‍රධාන ආහාරය ලෙස සහල් සහ පිටි (තිරිඟු මත පදනම් වූ) වැනි කාබෝහයිඩ්‍රේට් අධික ආහාර.

සෞඛ්‍යයට අවදානම් එකතු කරන ආහාර වේල් වෙනස් කරන්න මුලින්ම සමාජයේ ආහාර සංස්කෘතීන් හඳුනාගෙන ඒ අනුව ආහාර මාර්ගෝපදේශයක් සකස් කරන්නත් අධික කාබෝහයිඩ්‍රේට්, මේද මත පදනම් වූ ආහාර පරිභෝජනය සීමා කරන්න මිනිසුන්ට තේරෙන පෝෂණය පණිවිඩ දෙන්නත් අවශ්‍යයි.

ශ්‍රම බලකාය බොහෝ විට නගරයේ ගුණාත්මක බව අඩු ස්ථාන හෝ කුඩා මහල් නිවාස සංකීර්ණ වැනි අඩු වියදම් ජීවන ප්‍රදේශ තෝරා ගෙන තිබෙන බවත් මෙම පුද්ගලයින් දවසෙන් වැඩි පැය ගණනක් සේවය කරන නිසාත් නිවෙස්වල ජීවත් නොවන නිසාත් තනිකරම ක්ෂණික ආහාර පාන මත යැපෙන බව පෙනී යනවා.මේ හේතු ශ්‍රී ලංකාවේ තරුණ පිරිස අතර දියවැඩියා රෝගය වැඩිවීමට සම්බන්ධ විය හැකියි කියා ද සිල්වා ඇතුළු පිරිස 2018 දී කළ අධ්‍යයනයේ පෙන්වා දෙනවා.

ඒ වගේම අධික බර හෝ තරබාරුකම පිළිබඳ සමාජ දැනුවත්භාවය, ගැබිණි මව්වරුන් ගේ පූර්ව ප්‍රසව සායන වලින් ආරම්භ කළ යුතු අතර මුල් ළමාවිය සංවර්ධනයේදී ප්‍රතිපත්තිවලට ඇතුළත් කළ යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙනවා. පසුගිය දශකය තුළ ශ්‍රී ලංකාවේ නාගරික පරිසරවල ඇවිදීමේ මංතීරු ඇති කිරීම මගින් ශාරීරික ක්‍රියාකාරකම්වල යෙදීමට පුරවැසියන් දිරිමත් කළ බවත් ඒ අතර ශාරීරික ක්‍රියාකාරකම්වල යෙදීමට තමන්ගේම ඉඩක් නොමැති බොහෝ පුරවැසියන් ඒ සඳහා යොමුවූ බවත් පෙනෙන්නට ලැබෙනවා. මෙවැනි අධ්‍යයන මගින් ශ්‍රී ලංකාව තුළ දියවැඩියාව පාලනය කිරීමට සෞඛ්‍ය සේවා තිබීම ප්‍රමාණවත් නොවන නමුත් සෞඛ්‍ය සම්පන්න ජීවන තත්වයන් ස්ථාපිත කිරීම, කල් ඇතිව රෝග විනිශ්චය කිරීම අවශ්‍ය බව පෙන්වා දෙනවා.

ප්‍රමාණවත් ශාරීරික ක්‍රියාකාරකම් වැනි සමාජීය වශයෙන් අත්‍යවශ්‍ය අංගයන් මහජන මාධ්‍ය සහ ආයතනික මට්ටමින් සෞඛ්‍ය අධ්‍යාපන වැඩසටහන් හරහා දිරිමත් කළ හැකියි. නිදසුනක් වශයෙන්, කාර්යාලවල සහභාගී දිවා කාලයේ ක්‍රියාකාරී ශාරීරික ක්‍රියාකාර කම් සඳහා පැය ගණනක් වෙන් කිරීම අපි වැඩ කළ තැන් වලදීත් දුටුවා.

දියවැඩියා රෝගය කල්තියා හඳුනාගෙන ප්‍රතිකාර කළහොත් එය වළක්වා ගැනීමට ඉහළ සම්භාවිතාවක් තිබෙනවා. එනිසා සෞඛ්‍ය වැඩසටහන් හරහා පරීක්‍ෂණ සහ රෝග විනිශ්චය, පරීක්ෂණ පිළිබඳ සමාජය දැනුවත් කිරීම මගින් අවදානම් කණ්ඩායම් කල්තියා හඳුනා ගන්න හැකියි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ගෝලීය ක්‍රියාකාරී සැලැස්ම 2013 – 2020 මේ සඳහා කළ හැකි දේ ගැන මාර්ගෝපදේශයක් සපයනවා. ඒ සඳහා සඳහා දේශපාලන කැපවීම, සම්පත් සහ දැනුම සහතික කිරීම සඳහා ජාතික යාන්ත්‍රණයක් පිහිටුවීම ඔවුන් යෝජනා කරනවා. අවදානමට ලක්ව සිටින වයස් කාණ්ඩ පරීක්ෂාවට සහභාගී වීමට දිරිගැන්වීම සඳහා මහජන සෞඛ්‍ය අංශයට සමාජීය වශයෙන් වැදගත් සෞඛ්‍ය පණිවිඩ ගෙන යා හැකි බවත් එය රෝග වැළැක්වීමට ඉදිරි පියවරක් ලෙස ඔවුන් යෝජනා කරනවා . මෙහිදී මට ජර්මනියේ බොන් සරසවියේදී මා සහභාගී වූ මහාචාර්ය අයිකා ලාට්ස් ගේ දේශනයක් මතක් වෙනවා. ඔහු කියනවා ඉදිරියේදී කොපමණ කෑවත් මහත් නොවී ඉන්න බෙහෙත් නිපදවන බව. ඒක අපට මහත් සතුටක් ඇති කළ පණිවිඩයක් වුවද ඔහු කීවේ එය මේ ප්‍රශ්න වලට ඇති විසඳුම නොවන බවයි.

ඔහුගේ තවත් වෛද්‍ය කණ්ඩායමක් ප්‍රජා වෛද්‍ය අංශය මගින් සමාජයේ දරුවන්ට නිසි ආහාර පුරුදු සහ ක්ෂණික ආහාර වලින් ඈත්වීම ගැන දේශනා දෙමින් පාසැල් දරුවන් දැනුවත් කරනවා. එමගින් මෑතක බර්ගර් බදින ලද අල පෙති වැනි ආහාරවලින් දරුවන් මිදෙන්නට මග පැදුණු බවත් පැවසුවා.

සංවර්ධනය වෙමින් පවතින රටක් ලෙස ශ්‍රී ලංකාවට, බෝ නොවන රෝග සඳහා ප්‍රතිකාර කරන්නට අධික පිරිවැයක් දරණවාට වඩා ජීවන රටාව වෙනස් කිරීමෙන් දියවැඩියා වැනි තත්ත්වයන් වළක්වා ගැනීම හිතකරයි . කායික අකර්මන්‍යතාවය, බර සහ ආහාර වෙනස්වීම් වැනි ජීවන රටා පුරුදු වෙනස් කිරීමෙන් වසර තුනක කාලයක් තුළ දියවැඩියාව (type 2) 58% කින් අඩු කළ හැකි බව දියවැඩියා වැළැක්වීමේ වැඩසටහන් පෙන්වා දී තිබෙනවා.

අධි සීනි මධ්‍යම සීනි ලෙසින් රතු කහ කොළ වර්ණයෙන් සීනි ප්‍රමාණය දක්වන පැණි බීම ලේබල් කිරීමේ ක්‍රමවේදය වගේම එවැනි අහිතකර තරමේ සීනි ප්‍රමාණ ඇති ආහාර රටාවකින් වැළකීමේ ක්‍රමවේදයත් ශාරිරික ක්‍රියාකාරකම්වල යෙදිමේ අවශ්‍යතාවයත් නිරන්තරයෙන් අප ප්‍රජාව වෙත මතක් කළ යුතු ය.

වෛද්‍ය බෝධිනි සමරතුංග

(විදුසර පුවත්පතෙහි පල විය. උපුටා නැවත පල කිරිමෙන් වලකින්න)

වැඩිදුර කියවීම

Somasundaram et al (2019) High prevalence of diabetes mellitus in Sri Lankan urban population – data from Colombo urban study. http://doi.org/10.4038/sjdem.v9i2.7393

De Silva et al (2018). Inequalities in the prevalence of diabetes mellitus and its risk factors in Sri Lanka: A lower middle income country. https://doi.org/10.1186/s12939-018-0759-3

International Diabetic federation. https://idf.org/about…/what-is-diabetes/facts-figures.html

World Health Organization (2016). Global report on Diabetes. https://www.who.int/publications/i/item/9789241565257

One thought on “සීනි කෑම

Leave a Reply

Your email address will not be published. Required fields are marked *