අම්මෙක් උනාම එහෙම ද?

ඇය මට හමුවුනේ හරියටම දෙවසරකට පසු… අප දන්නා කියන අයෙක්…අවුරුදු ගණනාවකින් පන්සලේදී මුණගැසුන ඇය වෙනස් වී තිබුනා.

“නංගී මම අවුරුදු දෙකක් වෙනකම් කතා කරන්න බැරුව හිටියා. දරුවා ඉන්නවා කියලාවත් මට දැනුනේ නෑ. සියල්ල අමතකයි” ඇය පැවසුවා මතකයි.

“දරුවා ලැබිලා එදා රෑ මට මතක ලයින් හෝම් එකේ… වාට්ටුවේ ටොයිලට් එකට ගියා… ලොකු තඩි කකුල් දෙකක් මා දිහාට ඇවිදන් ආවා.” ඇය එහෙමත් කීවා මතකයි.

“අවුරුදු දෙකකට පස්සේ තමා මට හරියකට සිහියක් ආවේ…මට දරුවා අල්ලන්න දරුවා බලන්නවත් ලැබුනේ නෑ. පුතාට කිරි දීලාත් නෑ මම”

නමුත් එවකට උසස් පෙල පන්තියේ සිසුවියක් වු මට ඒ අක්කා කියපු කතාව නිරන්තරයෙන් මතක් වුනේ වෛද්‍ය විද්‍යාලයේදී සායන වටයකදී පසු ප්‍රසව ආතතියට/ විශාදය ට ලක් වුනු කාන්තාවන් දුටු විට ය.

එක් අයෙක් අත් දෙක බැඳගෙන දරුවෙක් නලවන ආකාරයට එය එහෙ මෙහෙ කරමින් උන්නා. ඇය අසලට ගිය විට ඇය අපෙන් දරුවා මදකට අල්ලා ගන්නවාදැයි අසා.. අපේ කණ්ඩායමේ පිරිමි ළමයෙක් වෙත පැමිණ අතේ දරුවෙක් නොසිටි නමුත් දරුවෙක් ඉන්නා ආකාරයට ඔහුගේ අතට මාරු කළා. අපට එය මහා විශාල කම්පනයක් ඇති කළා. ඒ පටන් මේ වන තෙක් ප්‍රසව හා නාරිවේද වාට්ටු තුල ද, මානසික ඒකකයන් වලද නිරන්තරයෙන් මට ඔවුන් මුණ ගැසෙනවා. අප ළමා සායනවල හමුවන ඇතැම් දරුවන්ගේ අම්මලා මේ තත්වය නිසා, මනස විකල් වී, ඔහේ බලාගත්තු අත බලාගෙන හිඳින්නියන් වෙලා.

ඒ දරුවන්ගේ කායික සහ මානසික වර්ධනය සම්බන්ධ ගැටළු රාශියක් තිබෙනවා. ඔවුන්ගේ පවුල් පසුබිමේ වුනත් ඒ ගැන වැඩි දැනුමක් නැති නිසා ඒ අම්මලාගේ සුව වීම සතුටු දායක මට්ටමක නොමැත. දරුවන් හැමෝම වාගේ ආච්චි අම්මාගේ රැකවරණය ලබයි. නාම මාත්‍රිකව පමණක් මවක සිටින දරුවන් ද මේ අතර වේ. මේ තත්වය ගැන වඩා සවිස්තරාත්මක ලියවිල්ලක යෙදෙන්නට අවැසිමය.

මේ තත්ත්වයට හේතු වන කරුණු රාශියකි…

ඉන් අතර මූලිකවම ඇත්තේ ගර්භනී සමයේදී ශරීරයේ ඇති වූ වෙනස්කම් වලට හේතු පාදක වන හෝමෝන වල ක්‍රියාකාරිත්වයයි. ඊස්ට්‍රජන් සහ ප්‍රොජෙස්ට්‍රෝන් යන හෝමෝන දෙකෙහි ප්‍රමාණයන් විශාල වශයෙන් අඩු වීම මෙයට හේතුවන බවත් සොයාගෙන ඇත. තයිරොයිඩ් ග්‍රන්ථියෙන් නිපදවන හෝමෝන අඩු වීම යන කාරණයත් හේතුවිය හැක.

දරුවා ලැබෙන්න ඉන්න කාලයේ ඉඳන් දැනුණු කායික පීඩා, දරුවා ලැබුණු පසු නින්ද නොමැති වීම අධික තෙහෙට්ටුව මහන්සිය , නිවැසියන්ගෙන් එල්ල වන ඇතැම් මානසික පීඩා යනාදියත් මෙයට හේතු විය හැක.

තවත් පැත්තකින් බොහෝ කලබලකාරී හෝ අහිමිවීම් බහුල ගර්භනී සමයක් ගෙවූ අයට ද, ස්වාමියාගෙන් නිවැසියන්ගෙන් උදව් උපකාර අඩු අය ද, ආතතිය, විශාදය සහ මානසික රෝගාබාධවලට කලින්ම ගොදුරු වූ අයද මෙවැනි තත්වයකට ඇද වැටිය හැක.

අලුත උපන් බිළිඳාගේ රෝගී තත්වයක් වුනත් මවකට බොහෝ පීඩා ගෙන දී එයින්ම ඇය පසු ප්‍රසව විෂාධිය තත්වයට පත් විය හැක.

මෙහි ඇති භයානක බව සමාජයට වැටහෙන්නේ නැති බව මා හොඳින්ම දනිමි. දරුවන් තිදෙනෙක් මෙලොව තනිකර මෑතකදී අවසන් ගමන් ගිය වෛද්‍යවරයෙකුගේ බිරිඳ ගැන කතා පුවත මට මතක් කරන්නේ එහි බිහිසුණු බව ය

ඔබ දන්නවා ද ? පෝස්ට් පාර්ටම් ඩිප්‍රෙෂන් හෙවත් පසු ප්‍රසව විශාදය තත්වය ගැන ? මා මෙතෙක් සඳහන් කළේ ඒ ගැනයි. එසේ නම් අපි ඒ ගැන සොයා බලමු.

“ඩොක්ටර් මට ජීවත් වෙන එකත් එපා වෙලා… මේ ප්‍රශ්නෙ නිසා… බබා කිරි බීවට අඬනවා ඉවරයක් නෑ. එයාගේ බරත් අඩු වෙලා ” ඔහොම කියන තරුණ මව්වරුන් බොහෝමයකට බලපෑම් එන්නේ….

” ඔයාගේ කිරි මදි ඒකයි ළමයා අඬන්නේ , ඉතින් පිටි කිරි දෙන්න” කියල කියන එහෙම නැත්නම් දරුවෝ හදන හැටි ගැන අළුත් අම්මලාට විශාරද ගණයේ උපදෙස් දෙන නැන්දම්මලා ඇතුළු වැඩිහිටි ගැහැණු අයගෙන්. අවට මිනිස්සු ඒ වගේ අනවශ්‍ය බලපෑම් කිරීම් නිසා තරුණ මව්වරුන් බොහෝමයක් ඉන්නේ දැඩි පීඩනයක.

“මට තේරුණා එයා ගොඩක් සංවේදී කියලා, දරුවා ඉපදුනත් එක්ක අම්මලාගේ ගෙදර ඉන්නකොට ඇඟිලි ගැසීම් වැඩී. කොයිවෙලෙත් කට්ටිය කිරි දෙන්න කිරි දෙන්න ! ඇයි අඬන්නේ ? වගේ ප්‍රශ්න අහනකොට එයා ගොඩක් කලබල වෙනවා. බබාගේ වැඩත් තනියම කරගෙන කොහොම ඉන්නවද මන්දා ” පියෙක් එහෙම කියද්දී මට ඇත්තටම ඒ වැටහීම ගැන සතුටු හිතුනා.

ගර්භනී කාල දරු ප්‍රසූතිය සමග මව්වරුන් විශාල වගකීම් සහ කරදර ගොන්නකට මුහුණ දේ. ඒක , අම්මා කෙනෙක්ගේ වගකීම හෝ යුතුකම ලෙසින් ලේබල් ගසන්නට උත්සහ ගන්නා දහසකුත් පිරිමින් අතර, තමන්ගේ බිරිඳ විඳින කායික සහ මානසික වේදනා ගැන බොහොම සංවේදීව කරුණාවෙන් සිතන , ඒ ගැන කණගාටු වෙන පිරිමින් සහ ඔවුන්ගේ ඒ පීඩාවලට සහනයක් ගෙන දෙන්න වෙහෙසෙන සැමියන්ද මා කොතෙකුත් දැක ඇත.

” මම රෑට කිරි වේල් දොවලා තියනවා, හස්බන්ඩ් සතියකට දින කීපයක්, මට නිදාගන්න කියලා, බබා ඇහෙරෙනකොට එයා ඒ කිරි පොවනවා. මට ඒ නිසා ලොකු වෙහෙසක් නැති දින කීපයක් තියෙනවා” ඒ මා සමග දොඩමළු වුණු පිටරට සිටින යුරෝපීය ජාතික යෙහෙළියක් පැවසූ වදනක්.

” හස්බන්ඩ් රෑ තිස්සේ කිරි පොවලා දුන්නම ගුඩුස් බස්සනවා, එයාට පහුවදා වැඩට ගිහින් හරි වෙහෙසලු, මම නම් ටිකක් හරි නිදියනවා”

” මම කිරි දොවලා තියලා ඇවිදින්න යනවා, සැමියා තමා කිරි පොවන්නේ…දවසකට පැයක්වත් මම ඇවිදිනවා” ඒ මගේ පිටරට ඉන්න නෑනා කියපු කතාව.

ඔව් බටහිර රටවල , යුරෝපය ඇමෙරිකාව වගේ නිදහස් චින්තනයක් හෙබි රටවල පිරිස් කියූ කතා. හැබැයි සායනවලදී මට හමුවන අපේ රටේ ඇතැම් සැමියන්, වැඩිහිටි කාන්තාවන් කියන්නේ ඊට වෙනස් කතාවක් !

“ඕවා අම්මෙක්ගේ යුතුකම් වගකීම්. අම්මෙක් උනාම ඔහොම තමා. ඕවා තනියම විඳින්න… ඕවා ඔයාගේ වැඩ ඔයා තනියම කරන්න….”

“මොන මළ වදයක්ද මේ.. බලන්න බැරිනම් මොකටද එහෙනම් දරුවෝ හැදුවේ”

“ඕවා දරුවා හදන්න කලින් හිතන්න තිබුනා”

” හැදුවනම් දැන් ඉතින් කරගන්න “

“මේ අඬවැඩියාව ඉවරයක් නැද්ද?”

ඔය වගේ අමනුස්ස කතා මා හමුවන බොහෝ ස්ත්‍රීන්ට අසන්නට ලැබුණු දෑ.

මම දන්නා තරුණ මවක් අප වාට්ටුවට ආවා. වෛද්‍යවරියක් වුණු ඇයට බොහොම අපහසු ගර්භණී කාලයක්, ඇයව කරදරයක් වදයක් ලෙස පන්න පන්නා පෙන්වා දුන් නිවැසියන් සමග ගත කරන්න වුණා. ඇය මේ කතාව මට ලියන්න කීවේ මේ ලිපිය පලවුණාට පසු… ඉතින් නේ නව සංස්කරණයෙන් ඒ ගැනත් ලියන්නේ මෙය කාට හෝ උදව්වක් වේවි කියා හිතලා.

” නැපි හෝදන්න බෑ කොන්ද බඩ රිදෙනවා සීසර් සැත්කම කරලා. ඒත් මගේම අම්මට සැමියාට පවා තේරුණේ නෑ මම කොයිතරම් වේදනාවෙන්ද ඉන්නේ කියලා. දරුවා ලැබෙන දවස වෙනකම්ම අපහසු කාලයක් ගත කරලා, වැඩ කරලා මානසිකව අවුල් තත්ත්වයක හිටියේ දරුවගේ බරත් මදි නිසා… අන්තිමට කිරි මදි වෙලා දොවමින් දෙන්න වුණා. ඒත් මගෙම මිනිස්සුන්ට ඒවා ගානක් නැතිව අරෝවටම හැසිරුනා. ඒ දැනුණු ගතේ අමාරු මෙන්ම හිතේ මහන්සිය කවදාවත් නිම වුණේ නෑ. එක මොහොතක මිය යන එක හොඳ බවත්, සිය දිවි නසාගන්න හැටි…සහ එහෙම මැරිලා ඉන්න බවත් මැවි මැවී පෙනුනා. මම කිට්ටුම යහලුවන්ට කියලා ඔවුන් ඇවිත් කතා කරමින් හිත හදමින් මා එක්ක කාලය ගත කළා. මේ ගැන කාටවත් වැටහුනේ නෑ. මේවා රඟපෑම් කීවා. කවදාවත් ඒ වින්ද දුක් කරදර හිතෙන් ඉවත් වුණේ නෑ. තවමත් විටින් විට හිත හදාගන්න උපදේශනය ගන්නවා” මේ ඇය සැකවින් කියූ කතාව. රැකියා කරන මව්වරුන්ට ආතතිය වැඩි කරන හෝ අපහසු පරිසර තත්ත්වයන් යටතේ ක්‍රියා කරන්න සිදුවෙන බව මම ද අත්දැකීමෙන් දනිමි.

සහ වේදනය කියන දේ ඇත්තටම මේ රටේ සමාජයේ මිනිස්සුන්ට නැති වෙලා. තමන්ගේම මවගෙන් සහෝදර සහෝදරියන්ගෙන් සැමියාගෙන් වූ අකාරුණිකකම් කොතෙක් මම ස්ත්‍රී සමූහවල කියවනවා.

” මම කාලයක් අහවල් වේදන නාශක බෙහෙත නැතිවම බැරි වුණා මොකද මට පෙත්තක් බීලා හරි වැඩ ටික කරගන්න කියලා මගෙම ගෙදර අය අකාරුණික වුණා. ඇබ්බැහිවෙන්න කලින් ගැලවුණා ඒ මම වෛද්‍ය විද්‍යාව දන්න නිසා” ඇය මේ කියන සිතුවිලි බොහෝ අයට ඒ අකාරයෙන් දැනුණු බව මට කියා තිබේ.

සමාජයේ බහුතරයකට මේ දේ වැටහෙන්න්නේ නැති වුනත් හැමෝම එහෙම නෑ. තමන්ට වගේම අමාරුකම් තියෙන, දැනෙන අය බව වටහා ගන්නා පිරිසක් මේ අතර ඉන්නා බව මගේ හැඟීම.

ඒවගේම දරු ප්‍රසූතියකට පස්සේ අම්මෙක් දැඩි වෙහෙසක ඉන්න බවත්, සීසර් සැත්කම හෝ යෝනි මාර්ගයේ කැපුම් පැලීම් තුවාල නිසා අම්මෙක් අමාරුවෙන් ඉන්න බවත් වටහා ගන්න පිරිසක් සිටිනවා.

ඉතින් ඒ අය තමන්ගේ බිරිඳට, දුවට, ලේලියට ගෞරවයෙන් සලකනවා.

පූර්ව හෝ පසු ප්‍රසව ආතතියෙන් පෙලෙන තමන්ගේ බිරිඳව දුවව ආදරෙන් බලාගන්න උපදෙස් ගන්නවා. ඒකට අන්තර්ජාලයෙත් බොහෝ උපදෙස් තියෙනවා. එතකොට ආතතියෙන් , විෂාධියක් බවට පෙරලෙන්න තියන අවදානමද අඩුයි.

අළුත් ජීවියෙක් කැන්දන් එන මවකට පියෙකුට ඒ දරුවා ගැන කොයි තරම් නම් ස්නේහයක් තියෙනවා ද? ඒ සෙනෙහසම එකිනෙකා වෙනුවෙන් දක්වන්න පුළුවන්නම් මේ ප්‍රශ්න බොහෝමයක් අඩුවෙන බවයි අපේ මනෝ වෛද්‍යවරයා පවසන්නේ.

“පැය දෙකෙන් දෙක නැගිටිමින් කිරි දෙමින්, ගුඩුස් බස්සන්න කරේ තියන් ඇවිදිමින් ( අර කැපුම් තුවාල සීසර් සැත්කම් අමාරුකම් එක්ක) ඊළඟට ඇඳුම් හෝදමින් මදිමින්… මේ සියල්ල කරමින් ඉන්නා මවකට සැනසීමක් සහනයක් ලබා දීම කරන්නෙ නැතිව පීඩනයක්ම එල්ල කරනවිට ඇය පුපුරා යන එක අහන්න දෙයක් නොවේ…. “ඔහු තව දුරටත් පැවසුවා.

පිටරටවල තරුණ පියවරුන්ගේ මම දකින ලක්ෂණයක් තමයි වගකීම් දරනා ස්වභාවය. අපේ රටේ ඒක අඩුයි.

ලංකාවේදී නම් මට සතුටෙන් පිරියෙන් සිටින අම්මෙක් මුණ ගැසුනේම නැති තරම්. මම වසර ගණනක් ප්‍රසව නාරිවේද වාට්ටුවලද, ළමා වාට්ටුවලද රැකියාව කර ඇත්තෙමි.

ප්‍රසවයෙන් පසුව අම්මා කෙනෙකුගේ මූඩ් එක හෙවත් හැඟීම් සහ චිත්ත ස්වභාවය ගැන වඩා වැඩියෙන් අපි ඇහැ ගහගෙන සිටිමු.

“ඩොක්ටර් අර අම්මා දුකෙන් ඉන්නේ, ඩිප්‍රෙස් වගේ” කියා මිඩ්වයිෆ් මිස්ලා හරි ඉක්මනින් ඔවුන්ගේ මේ චිත්තස්වභාවයන් අපිට දැනුම් දෙති. අපේ කාලය කායික ප්‍රශ්නවගේම මනෝ සාමාජීය ප්‍රශ්න ගැන බලන්නත් වැයවේ.

ඉපදී සතියක් වයසැති දරුවන් බලන well baby clinic වලදී මේ අම්මලා විඳිනා ගැහැට ඔවුන්ගේ මුහුණු වලින් සහ හැසිරීමෙන්ම දකින්නට ලැබේ.

“අම්මා නිදාගත්ත ද? ගොඩක් වෙහෙස ද?” වගේ කාරුණික ප්‍රශ්නයක් අහලා මා ඔවුන්ට හිත සැහැල්ලු කරගන්න අවකාශ සලසන්නේ එහෙයින්.

” අනේ ඩොක්ටර් පොඩි දෙන්නගේ වැඩත් මෙයාගේ කිරි දෙන එකත් ඔක්කොම කරනකොට මට පිස්සු වගේ හවස් වෙනකොට”

“දැන් ඔයාට සියල්ල තනියෙන් කරන්න බෑ, ඔයාට උදව් ඕනෑ අම්මා”

එහෙම කියද්දී හෙමින් හොරෙන් හීන් හඬින්,

” මහත්තයා ආවා එයාට ඔය ටික කියන්න පුළුවන්ද ඩොක්ටර් ” කියා අසන අම්මලාද අඩු නැහැ.

“අනේ ඩොක්ටර් මං නිදාගෙනම නෑ එක දිගට ඇහැරලා…” දින දහයක් පමණ තම රෝගී දරුවා සමග දුක්විඳින මවක් අප හා පවසයි. ඇතැම් මව්වරු තමන්ගේ සුවපහසුව තකා රෝගී දරුවාද රැගෙන ගෙවල් වල යති. ඉන්පසු තවත් බොහෝ අසාධ්‍යව යලිත් රෝහල්ගත වේ.

මසකට දෙතුන් පාරක්, ජාතික මානසික රෝහලේ ඇම්බියුලන්ස් එකක , පසු ප්‍රසව විෂාධියෙන් පෙළෙන මව්වරුන්ගේ කුඩා බිළිඳුන් අප රෝහල වෙත එවන්නේ ඔවුන්ගේ නොයෙකුත් ප්‍රශ්න සඳහා පිළියම් සෙවීමටය. ඒ මව්වරුන් බොහෝමයකට ඒ වෙනකොටත් සිහි කල්පනාවක් නැතිව ඊ සී ටී ලබා දෙන බවද ඇසේ. මේ දරුවන්ගේ අනාගතය කෙබඳු වේ ද ?

අම්මා නොමැති කල අප්පා කවර කල යන කියමන සනාථ කරමින් ඔවුන්ගේ පියවරුන්ද දරුවන් කෙරෙහි ආදරයෙන් සිටින ආකාරයේ හැසිරීමක් නොපෙන්වති. ඇතැමුන්ගේ පියවරුන් ඔවුන් හැර ගොසිනි.

බොහෝ පියවරුන් එසේ ය. බොහෝ විට උපතේදී රෝගී වුන දරුවන් ගේ බර දරාගෙන රෝහලේම කල් ගත කරන මව්වරුන් තනිව විඳින ඒ දුක දැනෙන්නේ අපට පමණම දැයි සිතේ.

ඇතැම් පියවරුන් මෙවැනි ප්‍රශ්න මත , තවත් ගැටළු නිර්මාණය කරගෙන අර මව්වරුන්ගේ පීඩනය මානසික රෝගයකට හරවා ඔවුන් හැර යති.

ඒ අම්මලා මේ ආර්ථික සාමාජීය කරදර දරන් දරුවන් හදා ගන්නේ කොහොමද ? දරුවන් ගේ මනස නිසි ආකාරයෙන් වර්ධනයක් සිදුවේ ද? අවසානයේ මව්වරුන් සියදිවි නසාගන්න තරම් පෙලඹෙන බව ඔබ දන්නවාද ?

මේ තත්වයේ භයානක බව කොයි තරම් ද කීවොත් , 2013 ඇමරිකාවේ දී කරන ලද සමීක්ෂණයකදී හෙළි වී තිබුනේ පසු ප්‍රසව විශාදයට ලක් වූ මව්වරුන් පස් දෙනෙකුගේන්ම කෙනෙක් සිය දිවි හානි කරගන්නා සිතුවිලි තිබූ අයවලුන් බවය.

(CDC statistics – and post partum statistics )

අපේ රටේ කියා මේ තත්වය වෙනස් වෙන්නේ නැත. දරු ප්‍රසූතියේදී සහ ඉන් පසුව, මව්වරුන් වැඩිමනක් මිය යන්නේ, පසු ප්‍රසව රුධිර වහන තත්වයන් නිසාය දෙවෙනියට මිය යන්නේ, සිය දිවි හානි කරගැනීම් නිසාය.ඒ මේ කියන පසු ප්‍රසව විශාදය නිසාය.

එනිසා මව්වරුන්ගේ මානසික සෞඛ්‍යය ගැනද සිතා බැලිය යුතු කාලයකි මේ. දරුවාට ආදරය කරන බොහෝ පියවරුන් දරුවාට ජීවය දෙන තම දිවියම වෙනස් කරගන්නා මව්වරුන්ට බොහෝ මානසික/ කායික පීඩා කරති.

මා බොහෝ ප්‍රිය කරන කියමනක් තිබේ … ” ඔබේ දරුවන්ට ආදරේ නම් ඔවුන්ගේ මවට ආදරේ කරන්න” කියන කියමනයි. එහි සැඟවුනු අරුත ඔබට වැටහේ යැයි සිතේ.

තමන්ගේ බිරිඳට, දුවට, ලේලියට “බෙහෙත් ගන්න, සාමාන්‍ය කෙනෙක් වෙන්න” කියන්න වචන නාස්ති කරන ඔබ, ඇයට යථා තත්වයට පත් වෙන්න උදව්වන, සානුකම්පිත, ඇය වෙනුවෙන් කරුණාව දක්වන කෙනෙක් වෙන්න.

පසු ප්‍රසව විශාදය ඇති වීමට අවධානම වැඩි පරිසර, තත්ව , රෝගාබාද, හෝ සාමාජීය ප්‍රශ්න ඇති අය කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන්න.

විශේෂයෙන්ම මානසික රෝගාබාද වලට ලක් වූ අය කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන්න.

අවසානයේ…

ඇයට ආදරය දක්වන්න, හැකි තරම් පීඩා ඉවත් කරන්න, තනි කර පලා නොයන්න, ඇය ඉක්මනින් සුව වෙනු ඇත !

“මම මොකද්ද කරන්න ඕනේ ඩොක්ටර් එයාව සතුටින් තියන්න ? “

එහෙම අහපු තරුණ පරිඝණක ඉංජිනේරු පියෙක් අපට හමුවේ.

” එයා ගැන විතරක්ම අහන්න, ගෙදර ආපු ගමන් දරුවා ගැන ප්‍රශ්න අහන්නේ නැතිව එයාට කොහොම ද? කියලා විතරක් සොයා බලන්න ! දරුවා ගැන අපි බලන්නම්, අම්මා ගේ මනස හරියනකොට, කිරි ප්‍රශ්නය විසඳෙනවා. දුකින් ඉන්නකොට කිරි එරෙන එකත් අඩු වෙනවා” ඒ වගේ පිළිතුරු ඒ පියා හිස මුදුනෙන් පිලිගත්තා. අතිශය ව්‍යාකූල සහ වෙහෙසකර ගර්භණී කාල ගත කළ , නොකළ වාට්ටුවේම වැඩ කරන වෙද හෙද සියළු ස්ත්‍රීන් වෙත සහවේදනය උපරිම වශයෙන් තිබුණා.

එනිසා අප වෙත එන අයගේ මේ පීඩනය ව්‍යාකූලත්වය අඩු කරන්නට දරාගන්නට හැකි, කරුණාවන්ත ,සහ වේදනය හොඳින් දන්නා අපට හැකි වුණා.

ලක්බිම පුවත්පතේ පලවූ, 2016 අධ්‍යාපනික අන්තර්ජාල බ්ලොග් සටහන් අංශයෙන් ප්‍රථම ස්ථානය දිනූ ලිපියයි මේ. මේ ලිපිය මම ලීවේ 2016 දී. එ කල මා එය හැකි තරම් සරලව ලීවා. මෙය ලියන්නට බොහෝ හේතු වුණේ දිවි තොර කරගත් නොදත් මව්වරුන් සහ ඒ ආසන්නයට ගිහින් හැරිලා ආපු මා හඳුනන වෛද්‍ය හෙද මිතුරියන් ඒවගේම නාඳුනන නමුත් වාට්ටුවලදී හමුවුණු මව්වරුන්ගේ හද සසල කරවන කතා. ඒ වෙනකොට ගර්භණී , ප්‍රසව සහ පසු ප්‍රසව අවධි පසු කර ආ මට ද මේ තත්ත්වයන් ගැන අවබෝදයක් තිබුණු නිසා අපහසුකම් දහසක් මැද කෙසේ හෝ අල්ලාගෙන, නිරන්තරයෙන් කැඩෙන බිඳෙන හිත හදාගෙන කාලය ගෙවා ගත්තා. එය ඇත්තෙන්ම මහා අඳුරු කාලයක්.

එනිසා නිරන්තර අරගලයක සිටින තනිව වෙහෙසෙන මව්වරුව් වෙත දරානුකම්පාවෙන් බලන සහවේදනය ඇති මිනිසුන් වෙමු.

වෛද්‍ය බෝධිනී සමරතුංග.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *