දරුවන්ගේ අධ්‍යාපනය ප්‍රජාතාන්ත්‍රික විය යුතුද? (2 කොටස)

ලංකාවේ පවතින පාසල් ක්‍රමයට වෙනස් තව අධ්‍යාපන ක්‍රම තිබෙනවා කියන එක වැඩියෙන් සමාජය තුළ පසුගිය කාලෙයේ සාකච්ජා කළ කාරණාවක් . සමහර පාසල් ක්‍රම කෙරෙහි විවිධ විවේචන එල්ල වුණා. ඒ එක්කම කරලියට ආපු මාතෘකාවක් තමා “ප්‍රජාතන්ත්‍රවාදී පාසල් ක්‍රමය” කියන එක. ලංකාවේ එහෙම පාසල් තියෙනවා ද? ඒ ක්‍රමයේ සහ සාම්ප්‍රදායික පාසැල් ක්‍රමයේ වෙනසකම් මොනවා ද? මේ වගේ ගැටළු රාශියක් ගැන දැනගන්න ලංකාවේ එහෙම ඉස්කෝලයක් දැන් අවුරුදු දෙක තුනක ඉඳන් ගොඩනගමින් හෙමින් හෙමින් වැඩි කලබල නැති ගමනක් ආපු Kinder Republic ( www.kinder.lk ) නම් පාසලේ නිර්මාතෘවරුන් වන දිලීපා මානවඩු සහ සිෆාන් සවාහීර් වෙත මේ ප්‍රශ්න යොමු කළා. ප්‍රජාතාන්ත්‍රික අධ්‍යාපන ක්‍රමය ගැන කතිකාවක් සමාජය තුළ ගොඩ නැඟී ඇති මේ මොහොතේ ඒ ගැන ඉතා සරලව එහෙත් සාරවත් ලෙස පැහැදිලි කරමින් අප වෙත ලැබුණු පිළිතුරු සටහන් ඒ ලෙසම ඔබ වෙත ගෙන එන්නෙ දරුවන්ගේ අධ්‍යාපනය , ඒ පිළිබඳ හැදෑරීම් සහ අත්දැකීම් ඇති මඟ පෙන්වන්නන් වෙතින් පෝෂණය විය යුතුයැයි සිතමින්.

මේ ඒ ගැන සිදු කළ පළමු සටහන – https://www.easternnotes.com/2023/12/28/democratic-schooling-srilanka/

මේ අධ්‍යාපන ක්‍රමය තුළ තිබෙන ප්‍රධාන සංකල්ප හෝ අරමුණු මොනවාද ?  What are the key principles and values underlying a democratic school system?

මෙතනදී මතක් කරන්න ඕන ප්‍රජාතාන්ත්‍රික අධ්‍යාපනය කියන්නේ ඉගැන්වීමට ප්‍රවේශයක් (Pedagogical approach) නෙවෙයි කියලා. Pedagogy කියන වචනය හැදිලා තියෙන්නෙත් “leading a child” කියන අර්ථයෙන් – වැඩිහිටියා තමයි ළමයාගෙ අධ්‍යාපනයට නායකත්වය දෙනවා කියන එක. අපි දකින විදියට කාගෙවත් අධ්‍යාපනයට වෙන පුද්ගලයෙක් නායකත්වය ගන්න එක සුදුසු නැහැ: තමාට සුදුසු ප්‍රවේශයකින් අධ්‍යාපනය ලබාගැනීමට අයිතිවාසිකමක් හැම පුද්ගලයෙකුටම හිමියි. එතකොට සමහර වෙලාවට “උගන්වන්නා” හෝ “මඟපෙන්වන්නා” කියලා භූමිකාවක් කරන නිශ්චිත පුද්ගලයෙක් හොයාගන්නවත් බැරි වෙන්න ඉඩ තියෙනවා.  

මේ අධ්‍යාපන ක්‍රමයෙ මූලික පදනම මානව අයිතවාසිකම් – විශේෂයෙන්ම පුද්ගල ගරුත්වය (Dignity) සහ ගෞරවය (Respect) කියන සංකල්ප. මෑතක දි 75 වැනි සංවත්සරය සැමරූ මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනයේ පළමු වගන්තිය ගමු: “සියලු මනුෂ්‍යයෝ නිදහස්ව උපත ලබා ඇත. ගරුත්වයෙන් හා අයිතිවාසිකම්වලින් සමාන වෙති. යුක්තිය අයුක්තිය පිළිබඳ හැඟීමෙන් හා හෘද සාක්‍ෂයෙන් යුත් ඔවුන්, ඔවුනොවුන්ට සැලකිය යුත්තේ සහෝදරත්වය පිළිබඳ හැඟීමෙනි.”

එතනින්ම පැහැදිලියි නේද ගරුත්වය සහ අයිතිවාසිකම් හැම කෙනෙක්ටම උපතින්ම උරුමයි කියලා? ඇයි එහෙනම් ළමයින්ට ඒ ගරුත්වය සහ අයිතීන් ලබා නොදෙන්නේ?

ඉතිහාසය පුරාම බලය තියෙන එක් පාර්ශවයක්, බලයෙන් අඩු තව පාර්ශවයකට එරෙහිව (උදාහරණ: පහත් කුලයෙ අයට එරෙහිව, සුදු හම නැති අයට එරෙහිව, ස්ත්‍රීන්ට එරෙහිව, යටත් විජිත වලට එරෙහිව, ආදිවාසීන්ට එරෙහිව) අගතිගාමි ලෙස (prejudicial) හැසිරීම සාධාරණීය කිරීමට “ඒ අයට අපිට තරම් නුවණ නැහැ, දියුණු නැහැ, බුද්ධිය නැහැ”; “ඒ අයව බලාගන්න අපිට වගකීමක් තියෙනවා” වගේ කතා භාවිතා කරලා තියෙනවා. ඔය හැම උදාහරණයකම යම් කිසි දුරකට හරි අයිතිවාසිකම් සම්බන්ධයෙන් ප්‍රගතියක් සිදුවෙලා තියෙනවා – ඒ වුනාට ළමයින්ට එරෙහි අගතිගාමිත්වය බිඳීමට තව ගොඩාක් දුර ගමනක් යන්න තියෙනවා. 

විශේෂයෙන්ම ළමයින්ට අයිතිවාසිකම් උරුමයි කියලා ස්ථාවර කරන්න ලොකු මෙහෙවරක් සිදුවනවා 1989 එක්සත් ජාතීන්ගේ ළමා අයිතිවාසිකම් සම්මුතියෙන්. එහි අධ්‍යාපනයට තිබෙන අයිතිවාසිකම සපුරාලීමට ප්‍රජාතාන්ත්‍රික අධ්‍යාපනයෙන් උපරිම උත්සාහයක් දරන අතරම, ඒ ක්‍රියාවලියේදී අනෙක් අයිතිවාසිකම් උල්ලංඝනය නොකිරීමට වග බලා ගන්න එකත් වැදගත්. උදාහරණයක් හැටියට සම්මත පාසල් ක්‍රමයේ නිතරම උල්ලංඝණය වන අයිතිවාසිකමක් තමයි ළමයාගෙ අදහස් සැලකිල්ලට ගැනීම (“Right to be Heard”). “අපි පරිණතයි” කියලා හිතන විශේෂඥයො ළමයින්ගෙ අදහස් ගණන් ගන්නෙ නැහැ. ඒ හින්දා තමයි පාඨමාලා හදන කොට, ප්‍රතිපත්ති හදනකොට ළමයින්ගෙ අදහස් විමසන්නෙ නැත්තෙ – හරියටම කාන්තා අයිතිවාසිකම් සාකච්ඡා කරන්න පිරිමි විතරක් ඉන්නවා වගේ වැඩක්.

Image credits – kinder republic

ප්‍රජාතාන්ත්‍රික අධ්‍යාපනයෙ ළමයින්ගෙ අදහස් විමසලාද පාඨමාලාව සකස් කරන්නෙ? Are the students consulted when making the curriculum in Democratic Education?

එහෙම කරන්න පුළුවන්, හැබැයි ළමයින්ට මුහුද හත් ගව්වකින් තියෙද්දි අමුඩය ඇඳගන්න තියා හදාගන්නවත් අවශ්‍යයි කියලා තාම කියලා නැහැ. පාඨමාලා හදන්නෙ ළමයින්ගෙ පහසුවට නෙවෙයි නෙ? වැඩිහිටියන් ගෙ අවශ්‍යතාවයට – ගුරුවරු පුහුණු කරන්න, පෙළ පොත් සකස් කරන්න, ඇගයීම් කරන්න. විශේෂයන්ම පිටරට සිලබස් එකක් වුනාම ඒ කටයුතු ටික කරලා සල්ලි හම්බකරගන්නත් නියම ව්‍යාපාරයක්.හැබැයි පාඨමාලාවක භයානකම දේ කන්නන්ගර වාර්තාවෙ අනතුරු ඇඟවීම කරපු විදියට පාලකයන්ගෙ මතයට පුරවැසියන් නමාගන්න එක: ඒක හින්දා නේද අවුරුදු 40කට කලින් සිදුවුනු කළු ජූලිය ගැන සිලබස් එකේ තාම නැත්තෙ? රාජ්‍ය නායකයෙකුගේ ඝාතකයන්ට එම රාජ්‍ය නායකයා විසින්ම අත්හිටවපු මරණ දණ්ඩනය නියම කරවන චේතනාවකින් එවකට ආණ්ඩුව නීතිය වෙනස් කරන්න උත්සහ කරපු හැටිත් නැහැ නේද? අඩුම තරමේ “නිදහස්” අධ්‍යාපනය භුක්ති විදින ළමයින්ටවත් කියලා දෙන්නෙ නැහැ නිදහස් අධ්‍යාපන පනත සම්මත කරගන්න කන්නන්ගරට කොච්චර බාධා තිබ්බද කියලා.

එහෙම ඇහුවට, ඔය කාරණා ටික සිලබස් එකට එකතුකරන්න කියලා කියනවා නෙවෙයි. හැම පුද්ගලයෙකුට “මේක උගන්වන්න ඕන”, “අරක උගන්වන්න ඕන” වගේ යෝජනා තියෙන්න පුළුවන් – එහෙම අදහස් ප්‍රකාශ කරන්න වැඩිහිටියන්ට විතරක් නෙවෙයි ළමයින්ටත් අයිතිවාසිකම් තියෙනවා. ළමයින්ගේ අදහස් ප්‍රකාශ කරන්න අවස්ථා ලබාදීලා ඒවා සැලකිල්ලට ගන්න රජයට වගකීමකුත් තියෙනවා.

අනිත් අයගේ අයිතිවාසිකම් උල්ලංඝනය වෙන්නෙ නැත්නම් (වෛරී ප්‍රකාශණ වගේ) ඒ ඕනෑම එකක් ළමයින්ට ලබාගැනීමට අවස්ථාව සලසන එක ගැටළුවක් නැහැ – උදාහරණයක් හැටියට නිදහස් අධ්‍යාපනයේ කතාව පොතකින්, නාට්‍යයිකින්, විවාදයකින්, YouTube විඩියෝ එකකින්, සංදර්ශණයකින් වගෙ විවිධ ක්‍රම හරහා කියන්න පුළුවන්; එහෙම අදහස් ප්‍රකාශ කිරීමෙ නිදහසත් වැඩිහිටියන්ට විතරක් නෙවෙයි, ළමයින්ටත් තියෙනවා. හැබැයි එහෙමයි කියලා යෝජනා වලින් යම් කොටසක් තෝරලා “මේ ටික විතරක් සිලබස් එකේ දාමු”කියලා කරන්න අවශ්‍ය නැහැ. මොකටද ළමයින්ගෙ අධ්‍යාපනය “මේ ටික”ට විතරක් සීමා කරන්නෙ? සිලබස් එකට පිට දෙයක් ඉගෙන ගන්න තහනමක් නොතිබුනත් ඒක ප්‍රායෝගික නැහැ – ඒවාට කාලයක් වෙන්වෙලා නැහැ; උදව් කරන්න ගුරුවරු නැහැ; පෙළ පොත් නැහැ; විභාගයට සූදානම් වෙන්න තියෙන පීඩනය නිසා මානසික අවකාශයත් නැහැ.

අපිට ගුරුවරු පුහුණු කරන්න අවශ්‍යත් නැහැ (අධ්‍යාපනය සිදුවෙන්නෙ ගුරුවරු හරහා විතරක් නොවන නිසා), පෙළ පොත් වලට සීමා වෙලාත් නැහැ, ඇගයීම් කරන්න අවශ්‍යත් නැහැ, ඉතිං සිලබස් එකක් කියලා ලොකු දෙයක් හදාගෙන හිරවෙලා නැහැ. අපිට නම්‍යශීලි වෙන්න පුළුවන් – සූදානම් කරගන්න වැඩි කාලයක් අවශ්‍ය වෙන වැඩ ටික කල් ඇතුව ලෑස්ති කරන ගමන් අනිත් වැඩ මාසෙන් මාසෙට, සතියෙන් සතියට, දවසෙන් දවසට හරි ක්ෂණිකව හරි සැලසුම් කරගන්න පුළුවන්.

මේ දවස්වල ලොකු කතිකාවක් තියෙනවා Social Emotional Learning වගෙ දේවල් සිලබස් එකට එකතු කරන්න ඕනෙ කියලා… සිලබස් එකක් නැත්නම් ඒ වගේ වැදගත් දේවල් ගැන අධ්‍යාපනය ලබන්න අවස්ථාව මඟහැරෙන්න පුළුවන් නේද?

වැඩිහිටියන්ගෙ අධ්‍යක්ෂණය මත සිදුවන අධ්‍යාපනයෙ තමයි ඔය ගැටළුව මතුවෙන්නෙ. අපේ රාමුව නම්‍යශීලි හින්දා යම් දෙයක් ගැන අවධානය යොමු කරන්න අවශ්‍යයි කියලා හැඟුනොත් ඒ සඳහා ක්‍රියාමාර්ග ගන්න පුළුවන් – එතනදී වැදගත් වෙන්න අවශ්‍යයි කියලා ළමයින්ට හැඟෙනවාද කියන එක. එතනදී වැඩිහිටියන්ට (පාසල ඇතුල හෝ පිට සිටින) මඟපෙන්වීම් කරන්න පුළුවන්, හැබැයි ළමයි එ්ක ප්‍රතික්ෂේප කරනවානම් බල කිරීමක් කරන්න සුදුසු නැහැ. අනිත් අයගේ අයිතිවාසිකම් උල්ලංඝනය නොවෙන්න වගබලාගන්න යුතුකමක් තියෙන නිසා සමහර වෙලාට ළමයින්ට කැමති කැමති දේවල් කරන්න බැරි වෙන්න ඉඩ තියෙනවා, ඒ වුනාට අකමැති දෙයක් බලෙන් කරවීම සාධාරණීය කරන්න බැහැ.

Social Emotional Learning (SEL) වැදගත් කියලා පිළි අරගෙන එ්ක “උගන්වන” විදි දැක්කම අපිට හරිම පුදුමයි – සම්මාන දිනාගත් ගුරුවරයෙකුගෙ හැඟීම් හඳුනාගන්න අභ්‍යාසයක් දැක්කා ළඟදී: බල්ලා ගෙදරින් පැනලා ගියා, කන්ණාඩි නැතිවුනා වගෙ සිදුවීම් 8ක් දීලා ඒවාට ගැලපෙන හැඟීම දුකයි, සතුටුයි වගෙ හැඟීම් 8ක ලැයිස්තුවකින් තෝරන්න තියෙනවා… එතකොට එක සිදුවීමකට තියෙන්න පුළුවන් එක හැඟීමක් විතරද? ඒකත් අර 8න් එකක්ම විය යුතුද? එක සිදුවීමකට හැඟීමක් ගැලපීමෙන් පසු ඒක වෙන සිදුවීමකට අදාල වෙන්න බැරිද? මේ කිව්ව ගැටළු ටික අභ්‍යාසය වෙනස් කරලා විසඳගත්තා කියලා හිතමු; මනඃකල්පිත සිදුවීම් ගැන හිතලා ක්‍රියාකාරකම හරියට කරපු ළමයෙකුට ඇත්තටම යම්කිසි හැඟීම් ඇතිවු අවස්ථාවක හැඟීම් ගැන ගුරුවරු සහ අනිත් ළමයි එක්ක කතාකරන්න සංවේදි වාතාවරනයක් තියෙනවාද? නැත්නම් “සිලබස් එකේ මේ SEL වෙලාව නෙවෙයි” කියලා ඇත්තමට SEL ඉගෙනගන්න තිබ්බ අවස්ථාවක් මඟහැරී යනවාද?

ඕනෑම වේලාවක ළමයින්ගෙ හැඟීම් ප්‍රකාශ කිරීමට සුදුසු සංවේදී පරිසරයක් ගොඩ නගාගන්නවාට වඩා අභ්‍යාස, ඇගයීම් හදලා තමයි සම්මාන දිනාගන්න පහසු.   ප්‍රජාතන්ත්‍රික ක්‍රමයේ දී  සම්මාන පස්සෙ   දුවන්නේ නැති නිසා, අපේ ප්‍රවේශය වෙනස්.  SEL එදිනෙදා වැඩ කටයුතුවල සුපුරුදු සාමාන්‍ය දෙයක්.

අපිට වැඩිහිටියන් හැටියට SEL අමුතුවෙන්ම විශේෂිතයි කියල හඳුනාගෙන ඒකට හඳුන්කූරු අල්ලන්න අවශ්‍ය නැහැ. පොදුවෙ සැලකුවාම ජීවිතයෙ සාමාන්‍ය අත්දැකීම් වලින් විසංධි කරගත් පාසල් පද්ධතියක හිර කරන්නෙ නැත්නම්, ජීවිත අත්දැකීම් වලින්ම මඟපෙන්වනවා කුමන දේවල් ගැනද අවධානය යොමුකරන්න ඕනෙ කියලා… කොහොමත් විවිධාකාර සම්බන්ධකම් තියෙන සමාජ පරිසරයකින් අනිවාර්‍යයයෙන්ම SEL වල වැදගත්කම මතුවෙනවා. Kinder සමූහය ගත්තම “අනිත් අයගේ අයිතිවාසිකම්, අවශ්‍යතාවයන් වලට හානියක් නොකර මගේ අයිතිවාසිකම්, අවශ්‍යතාවයන් ඉටු කරගන්නෙ කොහොමද?” ප්‍රශ්ණයෙන් SEL ඉගෙනගන්න, විශේෂන් ප්‍රායෝගිකව අත්හදා බලන්න, ඕනෑ තරම් අවස්ථා එනවා. 

මෙතනදී අපි අනුගමනය කරන ප්‍රවේශයේ විශේෂ දෙයක් තියෙනවා – ධනාත්මක හැඟීම් ගැන වගේම සෘණාත්මක හැඟීම් ගැන කතාකරන්න එක වගේ නිදහසක් තියෙනවා. මනුෂ්‍යයන්ට දැනෙන්නේ ධනාත්මක හැඟීම් විතරක් නෙමෙයි නේද? එහෙම නෙවෙයි නම්,  සෘණාත්මක හැඟීම් යටපත් කරන්න කියලා ඇයි අපි ළමයින්ට කියන්නේ? සමූහයක් එකට කාලය ගත කරනකොට සැම විටම සතුටින් සාමයෙන් ඉන්න වෙන්නෙ නැහැනෙ. කෙනෙක් වෙන එක්කෙනෙක් ගෙ සිත රිදවන දෙයක් කලොත්, පොරොන්දුවක් කඩ කලොත්, සාමුහික තීරණයක් ගැනීමේදි එකඟත්වයකට එන්න බැරිවුනොත්, අමනාපකම් ඇතිවෙන එක ස්වභාවිකයි. සමහර විට පාසලෙන් පිට සිදුවු සිදුවීමක් සම්බන්ධ හැඟීම් තියෙන්නත් පුළුවන් – සුපිරි වෙළඳ සැල් වලට ඇතුලුවනකොට මලු බාර දීලා එනවා වගේ හැඟීම් පාසලේ ගේට්ටුව ගාව තියලා එන්න බැහැනෙ.

මනෝවිද්‍යාත්මකව විය යුත්තේ ඕනෑම හැඟීමක් වලංගු බව පිළි අරගෙන ඒ ගැන සානුකම්පිත වීම. ඒ සහකම්පනය හරිම වැදගත්. ඒක ගැන ළමයින් අවධානය යොමුකරන්නෙ පස්සෙ කවදාහරි දවසක ප්‍රයෝජනවත් වෙන හින්දා නෙවෙයි, ඒක දැන් ප්‍රයෝජනවත් හින්දා.

සාමාන්‍යයෙන් දරුවෙකුගේ අනාගත වෘත්තීය හෝ වැඩිදුර අධ්‍යාපනය ගැන තීරණය රඳාපවතින්නෙ ඇගයීම්, විශේයෙන් විභාග ලකුණු, පාදක කරගෙන. ප්‍රජාතාන්ත්‍රික පාසැල් ක්‍රමයේදී කොහොමද මේ ඇගයීම් සිදුවෙන්නෙ? (A child’s opportunities for work or higher education are usually determined by assessments, especially exams. How does assessment work in a democratic school?)

සාමාන්‍ය පාසල් ක්‍රමයෙ දක්වන විදියට අධ්‍යාපනය කියන සේවාව ලබාදෙන්නෙ ගුරුවරු, සේවය ලබාගන්නෙ ළමයි. වෙන ඕනෑම සේවාවක ප්‍රධාන ඇගයීම වෙන්නෙ සේවය ලබාගන්න පුද්ගලයා විසින් සේවය ලබාදෙන පුද්ගලයින් ගැන. අධ්‍යාපනයේ විතරක් ඕක අනිත් පැත්තට වෙන්නෙ ඇයි?

ඇත්තටම පාසල් වල ළමයින් ව සලකන්නෙ අයිතිවාසිකම් හිමි පූර්ණ පුද්ගලයන් හැටියට නෙවෙයි, පශු සම්පතක් (live stock) ලෙස. බ්‍රොයිලර් ෆාම් එකේ කුකුළන්ට අයිතිවාසිකම් නැහැ නෙ? පුළුවන් තරම් ඉක්මනට කිලෝ ගාන හදාගෙන වෙළඳපොළට යවන එක විතරයි වැදගත්. ළමයින්ටත් එහෙමයි… එකම වෙනස වටින්නෙ මස් නෙවෙයි, ශ්‍රමය – කරත්තයට බැඳපු හරකෙක් වගේ. ඒක හින්දා තමයි අධ්‍යාපනය ප්‍රතිපත්ති වල ප්‍රධාන අරමුණ “අනාගත රුකියා වලට සුදානම් කිරීම” වෙන්නෙ. විභාග තියලා ඇගයීම් කරන්නෙ භාණ්ඩයෙ ප්‍රමිතිය නිර්ණය කරන්න… විභාග ප්‍රතිඵල වලටයි, ශ්‍රේණි වලටයි ඉංග්‍රීසියෙන් “Grades” කියන්නෙ වැරදිලා නෙවෙයි – Grades තියෙන්නෙ භාණ්ඩ වල ප්‍රමිතිය හඳුනාගන්න: තේ වල BOP, BOPF වගේ.

ප්‍රජාතාන්ත්‍රික අධ්‍යාපනයේ එක් පාර්ශවයක් තවත් පාර්ශවයක් ඇගයීමට ලක්කරන අයිතිය තියෙන්නෙ සේවාව ලබාගන්නා ළමයින්ට: තමාගේ අවශ්‍යතාවයන් වලට අනුකූලව සේවයක්, සේවාව සපයන්නන් ලබාදෙනවාද යන්න මත.. හරියටම ටියුෂන් පංතියකට යනකොට ගුරුවරයා සුදුසුයිද කියලා ඇගයීමක් කරනවා වගේ. ඒ එක්කම යම් පුද්ගලයෙක් සේවයක් ලබා දෙනවා නම්, ඒ කාර්‍යය හරියට කරනවාද කියලා දැනගන්න  සේවය ලබාදෙන්නටත් අවස්ථාව තියෙන්න ඕන; ඒ ඇගයීමට මූලික වෙන්න ඕන සේවය ලබාගන්න පුද්ගලයා.

හැබැයි ළමයි කොච්චර හොඳට ඉගෙනගන්නවාද නැද්ද කියන ඇගයීම බලහත්කාරයෙන් කරන්න සුදුසු නැහැ – වැඩිහිටියන් හැටියට එහෙම ඇගයීමකට භාජනය වෙන්න කැමතිද? ළමයින් වුනත් ඒ අයට ප්‍රායෝගික ප්‍රයෝජනයක් නැති ඇගයීමක් සඳහා පමනක් සිදුකරන අභ්‍යාසයන් කරන්න කැමති නැහැ. එහෙම ඇගයීමක් ප්‍රමුඛ කරගත්තම ළමයාට ස්වයං ඇගයීමක් කරගන්න තියෙන හැකියාව මොට වෙනවා. යම් ක්‍රියාකාරකමක ළමයෙක් යෙදෙනවානම්, එයින් යම් ප්‍රතිඵලයක් බලාපොරොත්තුවෙනවා. ඒක සාර්ථකව බලාපොරොත්තුවන ප්‍රමිතියට සිදුවුනාද නැද්ද යන්න දරුවා විසින්ම ස්වභාවිකවම ඇගැයීමට ලක් කරනවා. එ් ක්‍රියාකාරකම ගැන අන් අයට (ළමයින් හෝ වැඩිහිටියන්) සහබාගිත්වයක්, බලපෑමක් තිබුනානම්, ඒ අයත් ප්‍රතිඵලය ගැන ප්‍රතිචාර දක්වනවා. 

අනිත් අය (පාසල ඇතුල හෝ පිටත) කරන ක්‍රියාකාරකම් සංසන්දනය කරලා තමා කරන වැඩේ අවශ්‍ය නම් වැඩිදියුණු කරගන්නවා. ඊට අමතරව ප්‍රයෝජනවත් කියලා හිතෙනවානම් විශ්වාසවන්ත  වෙනත්  අයගෙන් වුනත් feedback විමසන්න පුළුවන්. 

මෙතනදී යම් රැකියාවකට හෝ උසස් අධ්‍යාපන අවස්ථාවකට විභාගයක් සමත්වීමට අවශ්‍ය නම්, ඒක කරන එක සුදුසුයි කියලා ළමයා එයාගේ ජීවිතයේ පාර්ෂවකරුවන් එක්ක සාකච්ඡා කොට කැමැත්තෙන්ම ඉදිරිපත් වෙනවා නම්, ඒ සඳහා අවශ්‍ය කරන සම්පත්, අවවාද, උපදෙස්, උදව් ඉල්ලගන්න පුළුවන්. 

ඒ එක්කම විභාග හැර වෙනත් ආකාර වලින් සුදුසුකම් ඔප්පු කරන්නත් පුළුවන් – ඒ සඳහා නව ප්‍රවණතාවය තමයි කළඹ කළමනාකරනය (Portfolio management). ඉදිරියට මේ ක්‍රමයේ පිළිගැනීම වැඩි වෙයි කියලා හිතෙනවා. සමහර විට අළුත් ක්‍රම එන්නත් පුළුවන් – ළමයින්ට සුදුසු ක්‍රමයක් තෝරාගන්න නිදහස තියෙනවා. සමහර පාසල්වල අස්වීමට කලින පාසල් ජීවිතයේ අත්දැකීම් පාදක කරගෙන PhD වල කරනවා වගේ Viva එකක් කරනවා – එතකොට කියන දේවල් peer-review එකක් හරහා සනාථ වෙනවා.

තරඟකාරි විභාග ගැනත් කියන්න ඕන. සීමිත පිරිසකට පමණක් දිය හැකි අවස්ථා සඳහා සුදුසුම අයව තෝරාගැනීමෙදී තරඟකාරි විභාග පැවැත්වෙනවා. ඒ ක්‍රමය වලංගුද කියලත් ගැටළු තියෙනවා – සුදුසුම අයද වැඩියෙන්ම ලකුණු ගන්නෙ කියලා – හැබැයි ඊට වඩා ගැටළුව මේ තරඟකාරිත්වය පාසල් පද්ධතිය ආක්‍රමණය කරලා. ඒ තරගකාරී බව කුඩා කාලේ ඉඳලා ළමා මනසට විෂ පොවනවා.ඉගෙනීම විනෝදජනක ස්වභාවික දෙයක් වෙනුවට අනිත් අය අභිබවා “දිනන්න” කරන තරඟයක් වෙලා. විෂයයන් විතරක් නෙවෙයි, ක්‍රීඩාවයි, සෞන්දර්යයි තරඟයක් වෙලා “කොහොමහරි දිනන” මානසිකත්වයක් තියෙන්නෙ. මේ ආකල්පය  පුද්ගල අභිවෘද්ධියටත්  සමාජ ප්‍රගමනයටත්  විශාල බාධකයක්.

Image credits – Kinder Republic

ස්වයං ඇගයීම සාමුහික ඇගයීම සිදුවන ආකාරය ගැන උදාහරණ දෙන්න පුළුවන්ද? Can you give examples of how self-assessment / collective-assessment works?

1. පාසලේ යම් කිසි වැඩක් ගැන හැමෝටම මතක් වෙන්න, දැනුවත් වෙන්න දැන්වීමක් ලියනවා කියලා හිතමු. ලියලා දැන් පේන්න තියල තියනවා කියමු. කාගෙන්වත් දැන්වීමට ප්‍රතිචාර නැහැ. මොකද, දැන්වීම පැහැදිලිව ලියල නැහැ.  එක්කෝ අපිළිවෙලයි, අකුරු පැහැදිලි නැහැ, අක්ෂර වින්‍යාසය වැරදී වගේ හේතු වෙන්න පුළුවන්. ඉතින් ඒක ඇගයීමක් නෙවෙයිද?

2.  පාසලේ අයවැයට පුරවැසියෙක් ව්‍යාපෘතියක් ඉදිරිපත් කරනවා වියදම එක්ක. හිතන්න, දැන් මේ ව්‍යාපෘතිය කරගෙන යන්න අවශ්‍ය සමහර වැදගත් දේ මග හැරිලා. ඒ වගේ එකක් අපි එකතුවෙලා සාකච්ඡා කරනකොට අඩුපාඩු පෙනෙනවා. ඇගයීමක් නේද? එවිට ඒ අඩුපාඩු මඟ ඇරවගෙන නැවත ඉදිරිපත් කරනවා. සමහර වෙලාවට වෙනත් කෙනෙක් උදව් කරන්න ඉඩ තියෙනවා.  අපි හිතමු වියදම් සකස් කිරීමේදී අඩුපාඩුවක් වෙලා කියලා. ඒක සමූහයේ වෙනත් පුරවැසියෙකුට පෙනෙන්න පුළුවන්. එතකොට අපි ඒ අඩුපාඩුව මග හරවාගෙන ඉදිරියට යනවා. ඒ අඩුපාඩුව කවුරුවත් දැක්කේ නැත්නම් මොකද වෙන්නේ?  වැඩේ කරගෙන යනකොට ප්‍රශ්න ඇති වෙනවා. ප්‍රතිපාදන, මුදල් මදි වෙනවා.ඉතින් ඒ අත්දැකීමම විශාල ඇගයීමක් තමයි .

3. දරුවෝ නාට්‍යක තිර පිටපතක් ලියල පුහුණුවීම් කරා. පස්සේ ඒ අයට හිතුනා මේ නාට්‍ය ප්‍රවේශපත්‍ර විකුණලා පිටස්තර අයට පෙන්වන්න ඕන කියල. ඉතින් මේ අය වැඩිහිටි පුරවැසියන්ගෙන් ඉල්ලුවා මේ නාට්‍ය බලලා ඒකෙ අඩුපාඩු පෙන්වල දෙන්න, මොකද පිටස්තර අය ඉස්සරහා ලැජ්ජ වෙන්න, වැරදි දෙයක් කරලා ඒ අයව අපහසුතාවයට පත් වුණොත් හොඳ නෑ කියල. පුන පුනා කිව්වේ අපිට හොඳ විතරක් කියන්න එපා,  වැරදි ටික ඔක්කොම කියන්න කියලා. ඉතින් බලන්න මේ ක්‍රමයේදී ඇගයීම් විභාගවලට අනිවාර්යෙන් සහභාගි වීමට නියමයක් නැති මේ දරුවන්ගේ මේරුණු චින්තන හැකියාව? ඕවා කොහොමද සම්මත විභාග වලින් මනින්නේ? 

පෙරදිග සටහන් වෙනුවෙන් ප්‍රශ්නාවලිය වෛද්‍ය බෝධිනී සමරතුංග විසිනි, පිළිතුරු සැපයූවේ දිලීපා මානවඩු සහ සිෆාන් සවාහීර් – Kinder Republic

https://www.facebook.com/kinderrepublic.school Kinder Republic face book page

Leave a Reply

Your email address will not be published. Required fields are marked *