දරුවන්ගේ අධ්‍යාපනය ප්‍රජාතාන්ත්‍රික විය යුතුද? (1 කොටස)

Founders of Kinder Republic – Dileepa Manawadu and Sifaan Zavahir

ලංකාවේ පවතින පාසල් ක්‍රමයට වෙනස් තව අධ්‍යාපන ක්‍රම තිබෙනවා කියන එක වැඩියෙන් සමාජය තුළ පසුගිය කාලෙයේ සාකච්ජා කළ කාරණාවක් . සමහර පාසල් ක්‍රම කෙරෙහි විවිධ විවේචන එල්ල වුණා. ඒ එක්කම කරලියට ආපු මාතෘකාවක් තමා “ප්‍රජාතන්ත්‍රවාදී පාසල් ක්‍රමය” කියන එක. ලංකාවේ එහෙම පාසල් තියෙනවා ද? ඒ ක්‍රමයේ සහ සාම්ප්‍රදායික පාසැල් ක්‍රමයේ වෙනසකම් මොනවා ද? මේ වගේ ගැටළු රාශියක් ගැන දැනගන්න ලංකාවේ එහෙම ඉස්කෝලයක් දැන් අවුරුදු දෙක තුනක ඉඳන් ගොඩනගමින් හෙමින් හෙමින් වැඩි කලබල නැති ගමනක් ආපු Kinder Republic ( www.kinder.lk ) නම් පාසලේ නිර්මාතෘවරුන් වන දිලීපා මානවඩු සහ සිෆාන් සවාහීර් වෙත මේ ප්‍රශ්න යොමු කළා. ප්‍රජාතාන්ත්‍රික අධ්‍යාපන ක්‍රමය ගැන කතිකාවක් සමාජය තුළ ගොඩ නැඟී ඇති මේ මොහොතේ ඒ ගැන ඉතා සරලව එහෙත් සාරවත් ලෙස පැහැදිලි කරමින් අප වෙත ලැබුණු පිළිතුරු සටහන් ඒ ලෙසම ඔබ වෙත ගෙන එන්නෙ දරුවන්ගේ අධ්‍යාපනය , ඒ පිළිබඳ හැදෑරීම් සහ අත්දැකීම් ඇති මඟ පෙන්වන්නන් වෙතින් පෝෂණය විය යුතුයැයි සිතමින්.

ඔබ වෙනස්ම පාසැල් ක්‍රමයක් එහෙම නැත්නම් අධ්‍යාපන ක්‍රමයක් ක්‍රියාත්මක වෙන පාසැලක් 2021 සිට පවත්වාගෙන එනවා. මොකක්ද මේ ප්‍රජාතන්ත්‍රවාදී පාසැල් ක්‍රමය කියන්නේ ?

ප්‍රජාතන්ත්‍රවාදය කියලා සාමාන්‍යයෙන් දකින්නෙ “වැඩි දෙනාගෙ මනාපය මත තීරණ ගන්නවා” සහ විශේෂයෙන්ම “දේශපාලන නියෝජිතයන් ඡන්දයෙන් පත්කරගන්නවා” කියන එක. ඒක දුර්වල අර්ථ දැක්වීමක්. ප්‍රජාතන්ත්‍රවාදය කියන්නෙ යම්කිසි මූලධර්ම (විශේෂයෙන්ම මානව අයිතිවාසිකම්) මත පදනම් වූ සමාජ ක්‍රමයක්. හැම පුරවැසියෙකුටම සමාන අයිතිවාසිකම් හිමියි කියන මූලධර්මය නිසා තමයි හැම පුරවැසියෙකුට සමාන ඡන්ද බලයක් හිමිවන්නෙ – වැඩවසම් ක්‍රමයේ එහෙම අයිතිවාසිකමක් තිබ්බෙ නැහැ නෙ?

ඉතිං ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයක් කියලා රටේ නමෙත් දාලා තියෙනවනං, ඒ ප්‍රජාතන්ත්‍රවාදය පදනම් කරගන්න මූලික අයිතිවාසිකම් ව්‍යවස්ථාවෙත් ප්‍රකාශ කරලා තියෙනවනං, අධ්‍යාපනය ක්‍රමයත් අනිවාර්‍යයෙන්ම ප්‍රජාතන්ත්‍රවාදී වෙන්න ඕන නේද?

1943 අධ්‍යාපන පිළිබඳ විශේෂ කාරක සභා වාර්තාවේ (පොදු ව්‍යවහාරයෙන්, කන්නන්ගර වාර්තාවේ) මෙහෙම කියනවා: “අධ්‍යාපන ක්‍රමයක් හැඩගස්සන ලද්දේ යම්කිසි සමාජයක් පිණිසද, ඒ අධ්‍යාපන ක්‍රමයේ ස්වභාව රඳාපවත්නෙ ඒ සමාජයෙ ගති ස්වභාවයන් පිට ය. පුද්ගලයෙකුගේ හෝ පක්ෂයක බලය පිට පවත්නා පාලනයක් ඇති රටක [totalitarian system] අධ්‍යාපන ක්‍රමය සකස් කරනු ලබන්නෙ එවකට ජනතාවගෙ ඉරණම පාලනය කරන අයගේ මතයන් ජනතාවගෙ හැම කොටස් අතරම කාවද්දනු සඳහාය. අපේ කාර්යය වී තිබෙන්නෙ ජනසම්මත [democracy] පාලන ක්‍රමයකට යෝග්‍යවන අධ්‍යාපන ක්‍රමයක් යෝජනා කිරීමයි”

“totalitarian system” කියලා සඳහන් වෙන්නෙ මෙම වාර්තාව ලියද්දි ලෝකයේ නාසි ජර්මනිය වගෙ ඒකාධිපති රාජ්‍යයන් විසින් රාජ්‍යයේ මත පමණක් ප්‍රචලිත කරගන්න අධ්‍යාපන පද්ධතිය මෙහෙයවන නිසා. ලංකාවෙ එහෙම නොවිය යුතුයි කියලා තමයි කාරක සභාවේ ස්ථාවරය වුනෙ.

එවකට ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් ගැන තිබුණු මත පදනම් කරගෙන කාරක සභාව යෝජනා ඉදිරිපත් කරා. හැබැයි මේක මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශණයටත් අවුරුදු 5කට කලින් – එදාට වඩා අද වෙද්දි අයිතිවාසිකම් ගැන අර්ථකථනය ගොඩාක් දියුණු වෙලා තියෙනවා. විශේෂයෙන් ළමා අයිතිවාසිකම් සම්මුතිය නිසා – ඒ වුනාට සාමාන්‍ය (“conventional” or “mainstream”) පාසල් වල ළමා අයිතිවාසිකම් උල්ලංඝනය වෙනවා. ඒක කොච්චර සාමාන්‍යකරණයට ලක් වෙලාද කියනව නම් බොහෝ අයට ඒක හඳුනා ගන්නවත් බැරි තරම්. විශ්වාස කරන්න අමාරුයි නම් ආරාධනා කරනවා එක්සත් ජාතීන්ගේ ළමා සම්මුතිය කියවන්න කියලා.

අපි Kinder Republic 2021 ආරම්භ කලේ ළමා අයිතිවාසිකම් පදනම් කරගත්ත පාසලක් හැටියට. අපි  සෑම ළමා අයිතිවාසිකමක්ම ආරක්ෂා කරලා ප්‍රවර්ධනය කරන්න උපරිම උත්සහයක යෙදෙනවා. අයිතිවාසිකම් ගැන අවබෝධය දිනෙන් දින දියුණු කරගන්නවා.

හැබැයි ඉතිං අයිතිවාසිකම් ගැන වචනයක් වත් කතාකරන් නැතුව, ප්‍රජාතන්ත්‍රවාදයේ පොඩි කොනක් (ළමයින්ට යම් සීමිත ඡන්ද බලයක් දීලා වගෙ) විතරක් අල්ලගෙන, “ප්‍රජාතන්ත්‍රවාදී” කියලා ලේබල් ගහගන්න පාසල් තියෙනවා… ඒක උතුරු කොරියාව “Democratic People’s Republic of Korea” කියාගන්නවා වගේ.

2.    මේ අධ්‍යාපන ක්‍රමය කොහොමද සාම්ප්‍රදායික පාසල් ක්‍රමයෙන් වෙනස් වෙන්නේ.(How does a democratic school system differ from traditional education models?)

කාර්මික විප්ලවයවට සමගාමීව ගොඩනැගුණු අධ්‍යාපන ක්‍රමයකට, විශේෂයෙන් යටත් විජිත සමයේ බලහත්කාරයෙන්ම අපිට පනවපු අධ්‍යාපන ක්‍රමයකට, “සාම්ප්‍රදායික” කියල හඳුන්වන්න අපි කැමති නැහැ.

“සාම්ප්‍රදායික” වෙනුවට “සම්මත” (“conventional”) පාසල් ගැන කතාකරොත්, මුලින්ම කියන්න තියෙන්නෙ උගන්වන ක්‍රමය (pedagogy) පාදක කරගත් ලොකු රඟපෑමකින් අපිව නොමඟ ඇරලා කියලා. ඇත්ත කතාව අපේ රට ඇතුලුව තවත් බොහෝ රටවල්වල අලුත් අධ්‍යාපන ප්‍රතිපත්ති වල තියෙන, සමහර දූරදර්ශී කියලා කියාගන්නා අලුත් පාසල් වලත් තියෙන,  අලුත් සොයාගැනීමක් වගෙ මවාපාන කතා ටිකම, දශක ගණනාවක් තිස්සෙ එන, අවුරුදු 80ට කලින් පළ කරපු කන්නන්ගර වාර්තාවෙත් තියෙන, ප්‍රගතිශීලී අධ්‍යාපනය (Progressive Education) කියන එක. නිදසුන් කිහිපයක්:

  1. ගුරුවරු පාදක (teacher-centric) ක්‍රමයක් වෙනුවට ශිෂ්‍යය පාදක (student-centric) ක්‍රමයක් සුදුසුයි කියන එක. ඒකෙ නූතන උදාහරණයක් හැටියට පෙන්වන්න පුලුවන් “ගුරුවරයා ප්‍රමුඛස්ථානය අරගෙන දේශණයක් පවත්වනවා ළමයි නිෂ්ශබ්දව අහන් ඉන්නවා” (“Sage on the stage”) වෙනුවට “ගුරුවරයා පැත්තකින් ඉඳගෙන ළමයින්ගේ සාකච්ඡාවට මඟ පෙන්වන්නවා” (“facilitator”, “guide on the side”) කියන එක.
  2. විභාග කේන්ද්‍ර කරගෙන සෛද්ධාන්තික දැනුම කටපාඩම් කරන එකට වඩා කුසලතා (විශේෂයෙන් මේ දවස්වල 21 වැනි සියවසේ කුසලතා කියලා මැජික් පෙන්වනවා) කේන්ද්‍ර කරගත්ත ප්‍රායෝගික දැනුම වර්ධනය කිරීම සුදුසුයි කියන එක. මේකට නූතන උදාහරණයක් තමයි “සාම්ප්‍රදායික” විෂයයන් හැටියට වෙන වෙනම අධ්‍යයනය නොකර විෂයයන් කිහිපයක දැනුම ඒකරාශී කරගත් ව්‍යාපෘති හරහා අවබෝධය (“project based learning”) ලබාගැනීම.

දශක ගණනාවක් තිස්සෙ ප්‍රවර්ධනය කරන්න (International Baccalaureate (IB), Waldorf-Steiner, Montessori වගේ නම් වලින්) උත්සහ කරලා තිබ්බත් සීමිත පිරිසකට විතරයි මේ ක්‍රමයෙ වියදම දරාගන්න පුළුවන් – මේ ක්‍රමයෙ වැඩකරන්න අවශ්‍ය කුසලතාවය තියෙන අය දුර්ලභ හින්දා ගාස්තු අධිකයි. ලංකාවෙ මේ ක්‍රමවේදය පොදු පාසල් පද්ධතියට හඳුන්වා දෙන්න කන්නන්ගර වාර්තාවේ ඉඳලම වරින් වර අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හරහා උත්සහ කරලා තියෙනවා. හැබැයි ෆින්ලන්තය වගේ අධ්‍යාපනයට වියදම් කරන්නැතුව ෆින්ලන්තය වගේ පාසල් ක්‍රමයක්‍ හදාගන්න බැහැ. ලංකාවෙ ප්‍රගතශීලී කියලා කියාගන්න පාසල් / පෙර පාසල් වල (IB ඇතුලුව) ගාස්තු සංසන්දනය කරලා බලන්න එහෙම වියදමක් ළමයින් ලක්ෂ 40ක් වෙනුවෙන් දරාගන්න අපේ ආර්ථිකයට පුළුවන්ද කියලා…

Image credits- Kinder Republic

ඉතිං අපි ප්‍රජාතාන්ත්‍රික අධ්‍යාපනය ගැන කතාකරද්දි අපි කියන්නෙ ප්‍රගතිශීලී අධ්‍යාපනය ගැන කියලා ගොඩාක් අය උපකල්පනය කරනවා. ඊට හේතුව බැලූ බැල්මට ප්‍රගතිශීලී ක්‍රමවේදයෙන් පවත්වන පාසලකයි ප්‍රජාතාන්ත්‍රික පාසලකයි වෙනසක් පේන්නෙ නැහැ. හැබැයි මතුපිට විතරක් බලන්නෙ නැතුව ගැඹුරින් අධ්‍යයනය කරාම සම්මත ක්‍රමයයි ප්‍රගතශීලී ක්‍රමයයි අතර තමයි ලොකු වෙනසක් නැත්තෙ: දෙකේම වැදගත් තීරණ සියල්ලම ගැනෙන්නෙ වැඩිහිටියන්ගෙ අධ්‍යක්ෂණය මත (“adult directed”).

උදාහරණයක් හැටියට ප්‍රගතශීලී ක්‍රමයෙ ව්‍යාපෘති පාවිච්චි කරන්නෙ ළමයි ඒක තෝරගත්ත හින්දා නෙවෙයි, පාලනය කරන වැඩිහිටි විශේෂඥයො ඒක සුදුසුයි කියලා තීරණය කරලා තියෙන හිංදා. ව්‍යාපෘතිය තෝරගන්න ළමයින්ට බලය දීලා තියෙන්න පුළුුවන්, හැබැයි ඒ සවිබල (“empower”) ගන්වනවා කියන කතාව විහිළුවක් – වැඩිහිටියන් විසින් තීර්ණය කරගත් රාමුව ඇතුලෙ විතරයි ළමයාට බලය පවරලා තියෙන්නෙ. කිසිම ව්‍යාපෘතියක්වත් කරන්න බැහැ කියලා කියන්න, එහෙම නැත්නම් ව්‍යාපෘතියෙ වැඩිහිටියන්ගෙ ඇගයීම හරි නියාමනය හරි එපා කියලා කියන්න සවිබල ගැන්වෙන්නෙ නැහැ.

ප්‍රජාතාන්ත්‍රික අධ්‍යාපනය ගත්තම ළමයින්ට ව්‍යාපෘති හරහා ඉගෙනගන්න ඕන නං, ඒක පුළුවන්. ඒකෙ වැඩිහිටියන් සම්බන්ධ කරගන්නවාද, මොන ආකාරයෙන්ද සම්බන්ධ කරගන්නෙ කියන එක ළමයි තීරණය කරනවා.

ව්‍යාපෘති නැතුව දේශණයකට සවන් දීලා පෙළ පොත් කටපාඩම් කරන්න ඕන කියලා හිතුනොත්, ඒකත් පුළුවන්. “මට/අපිට මේක වැඩිහිටියන්ගෙ කිසිම සහයෝගයක් නැතුව කරගන්න, අත්හදා බලන්න ඕන” කියන එකයි “මට මේක පියවරින් පියවර කරලා පෙන්නන්න” කියන එකයි දෙකම වලංගුයි. ඒ අන්ථ දෙක අතර ක්‍රමත් වලංගුයි. විශේෂයෙන්ම, “මට මේක එපා” කියන එකත් වලංගුයි.

3.    ඔහොම නිදහසක් දෙන්න පුළුවන්ද ළමයෙකුට? ඒක අවභාවිතා වෙන්නෙ නැද්ද? (Can you give a child that kind of freedom? Won’t it be misused?)

අපිට පොඩි කාලෙ ඉඳලම කාවද්දපු කතාවක් තමයි ළමයින්ට තීර්ණ ගන්න හැකියාවක් නැහැ කියන එක. හැබැයි වැටෙයි කියලා බයවෙලා බයිසිකල් පදින්න දුන්නැත්නම් කවදාවත් බයිසිකල් පදින්න ඉගෙන ගන්න බැහැ. ඒ වගේම නිදහස අවභාවිතා කරයි කියලා බයවෙලා නිදහස නොදී හිටියොත් නිදහස වගකීමෙන් පාවිච්චි කරන හැටි ඉගෙනගන්න බැහැ.

දැං මේ කතාව කිව්වම වැඩිහිටියො බයවෙනවා – “ඔහොම වල්බූරු නිදහසක් දුන්නොත් ළමයි දවසම සෙල්ලං කරනවා හැර වෙන මොකුත්ම කරන්නෙ නැතිවෙයි”

ඉගෙන ගන්න එකයි, සෙල්ලං කරන එකයි, දෙකක් කියලා වෙන්කරන්නෙ කාර්මික පාසල් ක්‍රමයේ.  වැඩිහිටියන් ගේ නියාමනය යටතේ දවසේ වැඩිපුර කොටසක් ගත කරන ළමයෙක් විවේක කාලයකදී සෙල්ලම් කරන එක සාධාරණයි. එහෙම සෙල්ලම් කරන එක ළමයි සතු අයිතිවාසිකමක්. එහෙම අයිතිවාසිකමක් හැටියට හඳුනාගැනීමට හේතුවක් වෙන්නෙ සෙල්ලම් කරන එක ළමයින්ගෙ වර්ධනයට ගොඩාක් බලපානවා කියලා හොයාගෙන තියෙන නිසා. අපි ඊටත් එහා ගිය ස්ථාවරයක් ගන්නවා – ළමයින්ට යම් දෙයක් අධ්‍යයනය කරන්න, අත්හදාබැලීම් කරන්න ස්වභාවිකම වාහකය සෙල්ලම් කරන එක – මෙය ගැන පර්යේෂනාත්මක පදනම දැනගැනීමට Dr. Peter Gray ගේ ප්‍රකාශන ප්‍රයෝජනවත් වේවි (Free to Learn පොත, https://psychologytoday.com, https://petergray.substack.com, YouTube)

ඒ හින්දා ඉගෙන ගන්න එකයි සෙල්ලං කරන එකයි වෙන්කරලා ලේබල් ගහලා, ඉගෙන ගන්න වැඩ ඉවරවුනාම විතරක් සෙල්ලම් කරන්න අවසර දෙනවා වගේ දේවල් කරන්නෙ නැහැ. කොහොමටත් අයිතිවාසිකමක් බුක්ති විදින්න අවසර ගන්න අවශ්‍ය විය යුතු නැහැ.

4.    මෙම අධ්‍යාපන ක්‍රමයෙ ගුරුවරයාගෙ කාර්‍ය භාරය කුමක් ද? (What is the role of the teacher in this system?)

පාසලක ගුරුවරයා කියන භූමිකාව ගත්තම අපි ප්‍රධාන කොටස් දෙකක් දකිනවා – පළමුවැන්න යම් විෂයයක විශේෂඥයෙක් (Subject Matter Expert) හැටියට ඒ විෂයය ඉගැන්වීම. සාමාන්‍යයෙන් ගුරුවරු ඇගයීමට ලක්කරන්නෙ මෙම කාර්‍යයට – වැඩිහිටියන්ගෙ අධ්‍යක්ෂණය මත ක්‍රියාකරන අධ්‍යාපන පද්ධතියක ළමයෙක් යම්කිසි දෙයක් ඉගෙනගත්තාද නැද්ද කියන එකෙ වගකීම වැඩිහිටියා සතු නිසා එහෙම ඇගයීමක් කරන්න වෙනවා. දෙවැන්න ආදර්ශමත් චරිතයක් (Role Model) වීම (ළමයෙකුට සුභසිද්ධිය උදෙසා අවවාද ලබාදීම, සාරධර්මාණුකූලව හැසිරීම යනාදිය). ඒක වැදගත් කාර්‍යභාර්‍යයක් වුනාට ඇගයීමකට ලක් වෙන් නැති නිසා නිසි ප්‍රමුඛත්වය ලැබෙන්නෙ නැහැ – ගුරුවරයාත් විෂය මාලාව ඇතුලේ හිරකාරයෙක්.

Image credits- Kinder Republic

හැබැයි ළමයින්ම අධ්‍යක්ෂණය (child-directed) කරගන්න අධ්‍යාපන පද්ධතියක යම්කිසි දෙයක් ඉගෙනගන්නවාද නැද්ද කියන එකෙ වගකීම තියෙන්නෙ ළමයින් ගාවමයි. ඒ සඳහා යම් උදව්වක් අවශ්‍ය නම් (සෘජු ඉගැන්වීම (direct instruction), උපදෙස්, ප්‍රතිපෝෂණය (feedback), ඇගයීම (assessment) යනාදිය) විෂය විශේෂඥ ගුරුවරයෙක් සම්බන්ධ කරගන්න පුළුවන්. ඒක වලංගු මාදිලියක් වුනාට ඒකට විතරක් සීමා වෙන්න අවශ්‍ය නැහැ – ගුරුවරු නොවන විශ්වාසවන්ත වැඩිහිටියන් (විශේෂයෙන් අදාල ප්‍රායොගික අත්දැකීම් තියෙන) සම්බන්ධ කරගන්නත් පුළුවන්, වෙනත් ළමයින්ව (විශේෂයෙන් අදාල ගැටලුව ගැන උනන්දුවක් තියෙන) සම්බන්ධ කරගන්නත් පුළුවන්. පුද්ගලයන් සම්බන්ධ කරගන්නැතුව රූපවාහිනියෙන්, පොත් වලින්, කෞතුකාගාරයකින්, අන්තර්ජාලයෙන්, කෘතිම බුද්ධිය මෙවලම්වලින් වුනත් දැනුම ලබාගන්න නිදහස තියෙනවා. නිදහස විතරක් නෙවෙයි, එහෙම කරන්න අයිතිවාසිකමක් තියෙනවා – එහෙම නොකර ගුරුවරයාගෙ ඉගැන්වීමට සීමා කරන එක අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක්.

Kinder Republic එකෙ වැඩිහිටියන්ගෙ භූමිකාව අර කලින් කියපු දෙවන දෙය – ආදර්ශමත් චරිතයක් වීම. විශේෂයෙන්ම අපේ ප්‍රධාන වගකීම ළමා අයිතිවාසිකම් රකින එක සහ ප්‍රවර්ධනය කිරීමට වෙර දරන එක – ළමා අයිතිවාසිකම් සම්මුතියෙ අන් අයගේ අයිතිවාසිකම් වලට ගරුකිරීමට ඉගෙනගන්න එක අධ්‍යාපනයේ අරමුණක් හැටියට හඳුන්වනවා. ඉතින් අයිතිවාසිකම් පදනම් කරගන්න පාසලක සේවය කරන වැඩිහිටියන් හැටියට අයිතිවාසිකම් වලට ගරුකරන හැටි පෙන්වන ආදර්ශමත් චරිතයක් වෙන්න අපිට වගකීමක් තියෙනවා කියලා විශ්වාස කරනවා. අවවාදයට වඩා ආදර්ශය උතුම් වෙනවා නේද?

මෙතන තව විශේෂ කාරණයක් තියෙනවා – වැඩිහිටි අධ්‍යක්ෂණ අධ්‍යාපන පද්ධතියක ගුරුවරුන්ට විශාල අධිකාරී බලයක් (authority) තියෙනවා. ප්‍රජාතන්ත්‍රික ක්‍රමයේදී වැඩිහිටියන්ට විශේෂිත වූ බලයක් ලැබෙන්නේ නෑ. ළමා වැඩිහිටි සියලු දෙනාම පුරවැසියො – ඒක හැමදාම මතක් වෙන්න තමයි Kinder Republic නම තෝරගත්තෙ – මෙතනදී kinder කියන්නෙ ජර්මන භාෂාවෙන් “ළමයි” කියන එක.

ඉතින් කාගෙහරි අයිතිවාසිකමක් උල්ලංඝණය වෙන්නෙ නැත්නම් (උදාහරණයක් හැටියට ශාරීරික හෝ මානසික හානියක් සිදුවීම ඉඩ ඇත්නම්) අහවල් දේ කරන්න එපා කියලා අණ දෙන්න බලයක් නැහැ.

උපදෙස් දෙන්න අයිතියක් තියෙනවා (අදහස් ප්‍රකාශ කිරීමෙ අයිතිවාසිකම තියෙන නිසා), හැබැයි ඒ උපදෙස් පිළිගන්න හෝ ප්‍රතික්ෂේප කරන්න නිදහස ළමයින්ට තියෙනවා. කොහොම වුනත් ආරාධනාවකින් පිට උපදෙස් දෙන එක අවම කිරීම යෝග්‍යයි – අපි බලෙන් පැනලා උපදෙස් දුන්නම ළමයින් තමන් විසින්ම ගැටළු නිරාකරණය කිරීමෙ හැකියාව දියුණුකරගැනීමට අවස්ථා අහිමි වෙනවා.

5.  ප්‍රජාතන්ත්‍රික අධ්‍යාපනය ආරම්භ වුනෙ කොහොමද? කාලයත් සමඟ වෙනස්වුනෙ කොහොම ද? අනිත් පාසල් වල අත්දැකීමෙන් ගන්න පුළුවන් ආදර්ශ මොනවාද? (How did Democratic education start? How has it evolved? What can we learn from other democratic schools?)

පොදුවේ ප්‍රජාතන්ත්‍රය කියන සංකල්පයත් පරිණාමනය වෙමින් පවතින දෙයක් නිසා පටන්ගත්ත නිශ්චිත අවස්ථාවක් දක්වන්න අමාරුයි. ඒ වගේම ප්‍රජාතන්ත්‍රික අධ්‍යාපනයත් පරිණාමනය වෙමින් පවතින නිසා නිශ්චිත ආරම්භයක් දක්වන්න අමාරුයි.

කෙසේ වෙතත්, “school” වචනයේ මූලය තියෙන්නෙ පුරාණ ග්‍රීක ශිෂ්ටාචාරයේ “schole” වචනයෙ – විවේකීව කාලය ගතකිරීම (“leisure”) කියන අර්ථයෙන්. විවේකීව හමුවන ස්ථානයේ නිදහස් ව සංකල්ප ගොඩනැගීමට, අදහස් හුවමාරු කිරීමට, අවස්ථාව ලැබීම නිසා ඒක “දැනුම ලබාගන්නා ස්ථානයක්” ලෙසට පත්වෙනවා – හැබැයි ඒ තිබ්බ නිදහස දැන පාසල් කියලා හඳුන්වන ආයතනයෙ අංශු මාත්‍රයක් වත් ඉතුරු වෙලා නැහැ. කොහොම වුනත් ඒ කාලයෙත් ඒ නිදහස තිබ්බෙ වැඩිහිටියන්ට පමනයි.

මෑත අතීතය සැලකූ විට රුසියාවෙ කර්තෘ ලෙයො ටෝල්ස්ටොයි (Leo Tolstoy) ගෙ 1860 දශකයේ පටන්ගත්ත යස්නායා පොල්යානා (“Yasnaya Polyana”) පාසල ප්‍රජාතන්ත්‍රික ලෙස සැලකෙනවා – ළමයින්ට පංති වලට සහභාගි වෙනවාද නැද්ද කියලා තීරණය කරන්න නිදහස තිබ්බ නිසා. හැබැයි ඒක ප්‍රගතිශීලී ක්‍රමයෙ සීමිත නිදහස ද කියලත් සැකයක් තියෙනවා.

පෝලන්තයේ කර්තෘ යානුෂ් කොර්චක් (“Janusz Korczak”) 1912 ආරම්භ කල Dom Sierot ළමා නිවාසය ප්‍රජාතන්‍ත්‍රික ලෙස හැඳින්වීමට ඊට වඩා සාක්ෂි තියෙනවා. නිවාසය සම්බන්ධ තීරණ සේවය කරන වැඩිහිටියන් සහ ළමයි එකතුවෙලා ගත්තා. නිවාසයේ “උසාවිය” ක්‍රියාත්මක කරෙ ළමයින්. විශේෂයෙන්ම යානුෂ්ගෙ ළමා අයිතිවාසිකම් පිළිබඳ දුරදර්ශි දැක්ම ළමා අයිතිවාසිකම් සම්මුතියටත් සෘජුව බලපෑවා. අවාසනාවකට නාසි රාජ්‍යය යානුෂ් සහ ළමයින් සියලු දෙනාම 1942 දී ට්‍රෙබ්ලින්කා කඳවුරෙ ඝාතණය කරනවා.

දැනට ක්‍රියාත්මක වන ප්‍රජාතන්ත්‍රික පාසල් වලින් පැරැණිතම එක එංගලන්තයේ සම(ර්) හිල් (Summer Hill)  පාසලයි. 1921දී ආරම්භ කල විට එහි නිර්මාතෘ ඒ. එස්. නීල් (“A. S. Neill”) ළමා අයිතිවාසිකම් ගැන ප්‍රකාශ කල අදහස් විප්ලවකාරි යැයි සැලකුනා. මේක නේවාසික පාසලක් වන්නෙ ඒ වකවානුවෙ ගෙවල් වල ළමයින්ට ආරක්ෂිත පරිසරයක් නොතිබුනු නිසා.

මීට අමතරව 1965දි (මේ වෙද්දි නේවාසික පාසලක් ලෙස පිහිටන්න අවශ්‍යතාවයක් තිබ්බෙ නැහැ.) ඇමෙරිකා එක්සත් ජනපදයෙ ආරම්භ කල සඩ්බරි වැලී පාසලෙන් (“Sudbury Valley”) ලොකු බලපෑමක් තියෙනවා – ඒ ආකෘතිය අනුගමනය කරන සඩ්බරි නම යොදාගන්න ගොඩාක් පාසල් ලෝකය පුරාම තියෙනවා.

තව විශේෂ උදාහරණයක් තමයි ඇමෙරිකාවෙ Circle School පාසල. ඒක ආරම්භ කරන්නෙ ප්‍රගතිශීලී පාසලක් විදිහට, පස්සෙ ප්‍රජාතන්ත්‍රික පාසලක් වෙනවා. මෙතනදී මතක් කරන්න ඕන “ප්‍රජාතන්ත්‍රික පාසල්” නම භාවිතය පටන්ගන්නෙ 1987දි ඊශ්‍රායෙලයෙ යාකොව් හෙච්ට් (“Yaacov Hecht”) ආරම්භ කරන Democratic School of Hadera පාසලෙන්. එය රජයට අයිති රජය විසින් නඩත්තු කරන පාසලක්. එස්ටෝනියාවෙ උදාහරණයක් තියෙනවා රජයේ පොදු පාසලක් ඇතුලෙම පවත්වාගෙන යන ප්‍රජාතන්ත්‍රික පාසලක්, නම සුවෙමැඑ (“Suvemäe”).

“ප්‍රජාතන්ත්‍රික පාසල්” නම අලුත් වීම ඇතුලුව විවිධ හේතූන් නිසා සමහර ප්‍රජාතන්ත්‍රික ලෙස මෙහෙවයන පාසල්වල “ප්‍රජාතන්ත්‍රික” වචනය නමේ නොතියෙන්නත් පුළුවන් – Sudbury School, Free School යනාදි නම් තියෙන්න පුළුවන්. සමහර විට “පාසල” කියන වචනයත් නොතියෙන්න පුළුවන් (Agile Learning Center වගෙ), “අපි පාසලක් නොවේ” කියලා ස්ථාවරයක් ගන්නත් පුළුුවන් (Liberated Learners වගෙ).

මේ සියල්ල සලකා බලා ගන්න පුළුවන් නිගමන:

  1. ඒ අධ්‍යාපන ක්‍රමයේ ස්වභාව රඳාපවත්නෙ ඒ සමාජයෙ ගති ස්වභාවයන් පිටය” කියලා කන්නන්ගර වාර්තාවෙත් තිබ්බා වගෙ සන්දර්භය සහ විශේෂයෙන්ම නීති පද්ධතිය මත ප්‍රජාතන්ත්‍රික පාසල්වල ක්‍රියාකාරිත්වය විවිධාකාරයි. සමහර රටවල්වල අකමැති වුනත් රජයෙ අනුමත විෂය මාලාව සහ විභාග ක්‍රමය අනුගමනය කරන්න සිදුවෙනවා.
  2. ළමයාට අයිතිවාසිකම තියෙන්නෙ අධ්‍යාපනයට – පාසලකට ගිය පළියට එ් අයිතිවාසිකම ඉටුවෙනවා කියලා නිගමනය කරන්න බෑ. ඒ අයිතිවාසිකම ඉටු වීමට “පාසල” කියල අපි හඳුනන නිශ්චිත ස්ථානයක්, ගොඩනැගිලි, ව්‍යුහ, නීති රීති තියෙන්න අත්‍යවශ්‍ය නැහැ.
  3. නමෙන් බලලා ප්‍රජාතාන්ත්‍රික ද නැද්ද කියලා කියන්න බැහැ – ප්‍රධාන නිර්ණායකය වෙන්නෙ ළමයාව අයිතිවාසිකම් වලට හිමිකම් තියෙන පූර්ණ මනුෂ්‍යයෙක් හැටියට සලකනවාද නැද්ද අනුව. (“child is respected as a full human being who is the subject of Rights”)
  4. ලංකාවේ මේක අළුත් දෙයක් වුනාට ශතවර්ෂයකට එහා ගිය ඉතිහාසයක් තියෙන නිසා මේ ක්‍රමයට බයවෙන්න අවශ්‍ය නැහැ.
Image credits – Kinder Republic

2 වෙනි කොටසෙන් හමුවෙමු …. To be continued

පෙරදිග සටහන් වෙනුවෙන් ප්‍රශ්නාවලිය වෛද්‍ය බෝධිනී සමරතුංග විසිනි, පිළිතුරු සැපයූවේ දිලීපා මානවඩු සහ සිෆාන් සවාහීර් – Kinder Republic

https://www.facebook.com/kinderrepublic.school Kinder Republic face book page

Leave a Reply

Your email address will not be published. Required fields are marked *