උතුරු කොන සිට ජාත්‍යාන්තරය ජයගත් ක්‍රීඩා තරුව හමුවීම.

සුප්‍රසිද්ධ මලල ක්‍රීඩකයෙක් සහ ක්‍රිකට් ක්‍රීඩකයෙක් වූ එතිර්වීරසිංහම් මහතා තම දිවි සැරිය නිමා කොට තිබුණු බව පුවත දුටු වනම මේ ඔහුමයි කියා මට මතක් විනි. අවුරුදු 13 කළින් මගේ මතකය තුළ ඒ රුව හොඳින්ම සටහන් වී තිබුණද නම අමතකය. අපේ මනෝ වෛද්‍ය ඒකකයේ විශේෂඥ වෛද්‍යතුමන් සිවදාස් සර් ගෙන් සහ ජේෂ්ඨ වෛද්‍ය සුතාහරන් මහතාගෙන් ඇසූ සැනින් හැරෙන තැපෑලෙන් පිළිතුරු ලදිමි. මගේ මතකය නිවැරදිය. මා අනිත් කොන පොතේ ඔහු ගේ ආගමනය ගැන ලියූ සටහන මෙලෙස මෙහි අලවමි.

// පසුගිය දිනක හවස් වරුවේ අපි ඔවුන් බලන්නට ගියෙමු. ඔවුන් පාසැල් ඇරී පැමිණ සිටියේ අප එන බව අසා නිල ඇඳුම්වත් මාරු නොකර ය. අප එහි ගියේ අප විශේෂඥ වෛද්‍යතුමාගේ මිතුරෙක් වන ප‍්‍රසිද්ධ ක‍්‍රීඩා ශූරයෙක් සමග ය. ඔහු පැමිණ සිටියේ පිටරටක සිට ය. අපේ සර් මුණ ගැසීමට පැමිණි ඔහු, අප සමග යෑමට ලක ලැහැස්ති වූයේ ඉතා කැමැත්තෙනි. අප විශේෂඥ වෛද්‍යවරයා මේ දරුවන්ගේ මනස නිසි මගට ගැනීමට, සිත සෑදීමට ගන්නා වෑයම ප‍්‍රශංසනීය බව අපි ක‍්‍රීඩා තරුව හා පැවසීමු. ඔහු ගැන ඔවුන්ගේ පාසැල් පොත පතේ සඳහන් වන නිසා ඔවුනට ඔහූ සජීවීව දක්නට ලැබීම අපූරු අත්දැකීමක් වේවි යැයි අපටද සිතුණි.

මේ දරුවෝ දැන් පාසැල් යති. ඉගෙනීමේ වැඩවල යෙදෙති. බොහෝමයක් දෙනා සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ කරති. මුල් කාලයේ ඔවුන් සිටියේ බය බිරාන්තවය. අවශ්‍ය මොනවාදැයි ඇසූ විට කිසිවක් ඉල්ලූවේ නැත. නමුත් දැන් ඔවුන්ට අවශ්‍ය දෑ පවසතිි. පොඩි උන් ටික මෙ වර එක හඬින් ඉල්ලා සිටියේ ෆුට් බෝලයකි. ෆුට් බෝලයක් (පා පන්දුවක් ) පමණක් නොවේ, දැල් පන්දු, බැඞ්මින්ටන්, කැරම් සහ චෙස් බෝඩ් ද ඔවුන්ට මිලදීගෙන පැමිණෙන බව ක‍්‍රීඩා තරුව පැවසුවේය.

මේ ළඟදී පැවති ක‍්‍රීඩා උත්සව වලින් ඔවුන් ජය ලැබ ගත් කුසලාන සහ සහතික අපට පෙන්වීම සඳහා ඔසවාගෙන පැමිණෙතිි. ක‍්‍රීඩා තරුව කතා කරන දෙස දෑස් දල්වා බලා සිටී. ඔහුගේ හපන්කම් සහ කුඩා කාලය ගැන විමසති. ඔහු ද උස්මහත් වූයේ මේ අනිත් කොනේ දිළිඳු ගමක බව කියූ ඔහු දුක් විඳ ජීවිතය ජය ගත් අයුරු කියද්දී ඔවුන්ගේ බලාපොරොත්තු සහගත දෑස් දීප්තිමත් වේ. ඔවුනට ඔවුන්ගේ ළමා කාලය හිමි වීම තරම් භාග්‍යයක් තවත් කොයින් ද ? // උපුටා ගැනීම අනිත් කොන

ඒ ක්‍රීඩා තරුව නම් නාගලිංගම් එතිර්වීරසිංහම් මහතා ය. කිසිඳු නමක් සඳහනක් නොමැතිව ලියූ හෙයින් අනිත්කොන පොතේ නම සඳහන් නොවේ. එනමුත් වෙහෙස නොබලා ළමා නිවාස පහ හයකට ගොස් ඒ දරුවන් හා කතා බහ කරමින් බොහෝ කල් වේලා ගත කළ ඔහු කියූ කතා මට අදත් මතක ය. සපත්තුවත් නැතිව වෙල්වැටිතුරෙයි පාරවල්වල කැලෑ වල පුහුණු වූ හැටි ඒ ආගමන ගැන ඔහු කියද්දී මේ අසා සිටි දෙමාපියන් අහිමි, අවතැන් වූ දරුවන්ගේ දෑස් දැල්වෙනු මා දුටුවා. ඔහු උස පැනීමේ තරඟ වලින් ආසියාතික පදක්කම් දිනුවෙකි. ඔහුගේ සහෝදරයා ධාවන ශූරයෙකි. ඔහුගේ අනුග්‍රහයෙන් බොහො වැඩකටයුතු දියත් වුණු බව පසුව පවා විස්තර වල දුටුවෙමි. ඔහුට ඔහු පැතූ මෝක්ෂය හිමි වේවා !

වෛද්‍ය බෝධිනි සමරතුංග

පින්තූරය – Ceylon Athletics පිටුවෙන්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *