තුන්පනේ බැලුවා …

ටෙලි නාට්‍යය බලන්න වෙලාවක් හම්බ වෙන්නේ නැතිම තරම් හැබැයි හොඳ දෙයක් දැක්කොත් මතකේ තියාගෙන ඉඳලා අනිවාර්යෙන්ම බලලා, හොඳටම හිතට දැනුනොත් ලියන්නත් අමතක කරන්නේ නෑ. නාට්‍යය බැලීමි… හිත ගිය නිසා, සත්‍යය දුටු නිසා , නාට්‍යයක සමාජ කර්තව්‍යය දුටු නිසා ලීවෙමි…

Social function of a teledrama ! යනු කුමක්දැයි කියවා ගතිමි.

ප්‍රථමයෙන් මෙහි අධ්‍යක්ෂක සහ තිර පිටපත් රචක සුපුන් රත්නායකට සුභාශිංසන පිරිනමනවා. මොකද, පවතින පාරෙන් පිට පනින්න උත්සාහ කරන පිරිස හරි අඩුයි. එහෙම එඩිතරකමක් තිබ්බත් ගොඩක් අය කැමති නෑ ඒ වගේ දේවල් වලට යොමු වෙන්න, මේවා ‘documantry ටයිප්’ වෙයි කියලා. නාට්‍ය කලාවේ සමාජ කර්තව්‍යය යෙහි හැඩ තල මේ නාට්‍ය තුළින් පෙනෙන්න ගන්නවා.

මට මේ නාට්‍ය ගොඩ නැගීමේදී සාරවත් පර්යේෂණ ගොඩක් සිද්ධ වෙලා තියෙනවා කියලා හිතනවා. ගොඩක් research කරලා කරන නාට්‍ය හරි සාර්ථකයි.

අපේ රටේ බොහෝ දේවල් වලට වග කියන්න ඕනේ දේශපාලන නරා වළ තුළ අපි දකින්න උත්සාහ කරන වෙනස මේ තුළින් දකිනවා. එම නාට්‍යය තුළ ඉලක්ශ නම් තරුණ මාද්‍යවේදියාගේ චරිතය පුදුම වෙහෙසක් දරනවා පෙනෙනවා ඒ වෙනස කරන හැටි කියලා දෙන්න. ඔහු අලුත් පක්ෂයක් හදාගෙන අලුතෙන් හිතන්න අලුත් වෙනසක් කරන්න යන ගමන, අපි අද විවිධ කණ්ඩායම් තුළින් දකිනවා හැබැයි ඒ වත්මන් යථාර්ථය තුළ ඉන්නා පිරිස ඒ නිසි තැනට ආමන්ත්‍රණයක් කරනවද ? නැත්නම් පවතින ක්‍රමයේම අතකොලු වෙලා ද ?

අන්න ඒකයි ප්‍රශ්නය !

ඒ නාට්‍ය ඇතුලෙ අපිට මනුස්සකම ගැන දේශපාලනය ගැන සමාජය ගැන හරි ප්‍රබල ආමන්ත්‍රණයක් හමු වෙනවා. ඒක ටෙලි නාට්‍යයක් තුළ හරි අඩුවෙන් දකින්න ලැබෙන දෙයක්. හැමෝම මිනිසුන්ගේ වින්දනය ගැන පමණක් හිතන කොට, සමාජ සුභසාධනය සමාජ වෙනස් කිරීමකට ලක් කිරීම ලක් කිරිමකට හැකි දර්ශනය හෙවත් philosophy කතා කරන ටෙලි නාට්‍ය හරි අඩුයි.

ටිකෙන් ටික බලාගෙන යනකොට මේ කුණුවෙලා ඕජස් ගලන තුවාලයක් වගේ වෙච්චි සමාජයේ එක පැත්තක්ම නිරාවරණය කරන්න මේකේ තිරපිටපත් රචකයාට හැකි වෙනවා. එකම දේ හෝ අභව්‍ය දේවල් කරන්නැතුව යථාර්ථය ඉස්මතු කරන්න ඔහුට හැකි වෙනවා. මේ දේවල් අපි එහෙම තියනව කියල දන්න දේවල් හැබැයි හැමෝම මේ දේවල් ආමන්ත්‍රණය කරන්නේ නෑ. ඒ වෙනුවට අපි දකින්නේ ආදරය අනියම් සබඳතා අසල්වැසි වෛරය ඔය වගේ පොදු මාතෘකා ටිකක් ඔස්සේ ගලා යන කතන්දර. ඉතින් තුන්පනේ විශේෂ වෙන්නේ මේ දෙබස් ඇතුලේ ඔබ්බවලා තියෙන සමාජ දර්ශනය නිසා.

ඒවගේම අපි දකිනවා කුඩා කාලේ ඉඳන්ම නිදහස් නිවහල් චින්තන ක්‍රමයක හුරු නොවූ පුද්ගලයන් කොතරම් ලේසියෙන් වෙනස් වෙනවද කියලා. ඒ වගේම බලය ලැබුනහම මේ මජර ක්‍රමයේම ගොදුරු වෙනව කියලා අපි අත්දකිනවා. ඒ යථාර්ථය දැන් මම මෙහි අවසාන කොටස් තුළ දකිනවා. එහි සමහර දර්ශන, හරි විශාල ලෙස පැතිරුණු ඉතාම දුගඳ අප්‍රිය දේශපාලන සංස්කෘතිය පෙන්වා දෙන කැඩපතක් වගේ. මේක අපේ වත්මන් සමාජයට හොඳ ආමන්ත්‍රණයක්.

මම දිගටම කලා දේවල් බැලුවේ නැති හින්දා මේ නාට්‍යය ‘හිට්’ වුනාද කියලා දන්නේ නෑ. හැබැයි මේ වගේ වෙනස් දර්ශනයක් වාදයක් ගොඩ නංවන මිනිසුන්ට හිතන්න පුරුදු කරවන නාට්‍ය අවශ්‍යයි කියලා මට හිතෙනවා. ඒත් අභාග්‍යයකට 8:30 ට රූපවාහිනිය ඉස්සරහ ඉදගන්න මිනිස්සුන්ගෙ ඔලු පුරවන්නේ අනවශ්‍ය කුණුකන්දල් වලින්. ඒවාගේ වින්දනයක් තියෙන පුළුවන් හැබැයි ඒකද අපිට අවශ්‍ය ?

මේ මොහොතේ පුරවැසියා යනු කවරෙක්ද කියා මුල සිට ප්‍රශ්න කරන්න කියා දෙන්න මතක් කරන්න සිද්ධ වෙන සමාජයක අපි ජීවත් වෙන්නේ. තමන්ට උපතින්ම හිමි මානව හිමිකම් ගැන වත් දැනුවත්භාවයක් නැති මිනිසුන්, ‘තමන්ගේ කර්මය, තමන් ලබා උපන් හැටි’ කියලා හිත සනස ගන්න හදන හෙම්බත් වුණු, මානව ධර්ම බංකොලොත් වුණු කාලයක් මේ. ඉතින් කලාවට සමාජ කාර්යභාරයක් තිබේද ඒ කුමක්ද ? කියලා අපි ප්‍රශ්න කරන්න ඕනේ.

“ඕගොල්ල හිතන් ඉන්නවනම් මෙතනින් පස්සේ මේ පුද්ගලයන්ගේ දේශපාලන පක්ෂ වල දේශපාලන දිශානතිය ලංකාවේ වෙනස් වෙයි කියලා. ඒක තරම් මිත්‍යාවක් තවත් නෑ. මිනිස්සු වෙනුවෙන් මිනිස්සු හැර, පාලකයා නැගී සිටියි කියලා හිතනවා නම් එය තරම් මිත්‍යාවක් මේ ලෝකේ තවත් නෑ කියන එක ඕගොල්ලෝ ඉතාම හොඳින් අවධාරණය කර ගන්න. මිනිස්සු වෙනුවෙන් මිනිස්සු නැගී සිටින දවසක් එනකම්…..” කියන දෙබස නැවත නැවත මතුරන්න ඕනේ කියලා හිතෙන දවස් ගතවෙනවා.

හිතන්න බොහොම කාරණා ඉදිරිපත් කරලා නාට්‍ය සමාප්ත වෙනවා…දේශපාලන නාට්‍ය කොතෙකුත් නරඹා තිබුනාට මෙය වෙනස්ම ආකෘතියක නාට්‍යයක් බව කීව යුතුමයි.

වෛද්‍ය බෝධිනී සමරතුංග

මේ නාට්‍යය යූටියුබ් එකේ හමු වෙනවා ඉතින් අවශ්‍ය කෙනෙක් ඉන්නවනම් අනිවාර්යෙන්ම බලන්න.

මෙන්න ලින්ක් එක 👇👇👇

https://youtu.be/5N-e2ewcBl0

#thunpaneteledrama#thunpane#එළියකතා

One thought on “තුන්පනේ බැලුවා …

  1. මමත් එච්චර ටෙලිනාට්‍යය බලන්නේ නෑ………. නමුත් කොරොනා කාලේ ඉදන් යුට්යුබ් එකෙන් බලන්න පුරුදු උනා….තුන්පනේ බලලා නෑ. බලන්න හිතා ගත්තා.

    මම කැමති ටෙලිනාට්‍ය තමයි කුඹියෝ, චෙස්, කොඩි ගහ යට, වීරයා ගෙදර ඇවිත්, තණ්මල්විල කොල්ලෙක්….දැන් ඉතා පරණ ටෙලිනාට්‍යත් යූ ටියුබ් එකට ලගකදි ඉදන් දානවා..ලා හ්රිඋ දහසක්, යශෝරාවය, දිමුතු මුතු, පලිගු මැනිකේ වගේ ඒවා…එවත් හොදයි

Comments are closed.