වැහෙන කතා

බිත්තරයක් රු 50ක් නේද ? අල්ල උඩ තබා බිත්තර කෙලින් කරලා පෙන්වන රූපවාහිනි වැඩසටහන දැක්කම මට මතක් වුනේ ළමා රෝහලේ දරුවන් වෙනුවෙන් ආහාර ලබා දීම සහ ප්‍රෝටීන් ඌණතා ඇති දරුවන් වෙනුවෙන් බිත්තරයක් ලබා දීම අපහසු බවට පල වූ ප්‍රවෘත්ති ය.

පොල් ගෙඩි කෙලින් කරනවා බිත්තර කෙළින් කරනවා… අනික කතා කරන්නෙම මෙලෝ තේරුමක් නැතිව. බොහොම ලේසියෙන් සියලු ප්‍රශ්න මග හරිනව. මොනවද මේ විහිළු වැඩ ? මට හිතෙන්නෙම මේ මිත්‍යාවේ බොරුව විහිළුව සමාජය තුළ පෙන්වන්න කරපු වැඩ සටහනක් කියලා. මිනිස්සු රූපවාහිනී වැඩසටහනට බැන්නට ඇත්තටම මෙවැනි මිත්‍යා විජ්ජා කරුවන්ගේ බොරුව හෙලි කිරීම ගැන රූපවාහිනී නිශ්පාදකට ස්තූති වන්ත වෙන්න ඕනෙ. මේ වගේම වැහෙන වැහිලා ලෙඩ හොඳකරවනවා කියනා ස්ථාන සහ පුද්ගලයින් බොහෝ ඉන්නවා. මට තේරෙන්නෙ නෑ හැබැයි එසේ ලොකු බලයක් තිබෙන අයත් අනුන්ගේ ලෙඩ හොඳ කරන බලගතු දෙවි දේවතාවුන් එක්ක ගනු දෙනු කරන අයත් ලෙඩ වුණාම තමන්ගේ ලෙඩ වලට ඉස්පිරිතාලේ එන්නේ ඇයි කියල.

ඉස්සර මම මනෝ වෛද්‍ය අංශයේ වැඩ කරද්දී වැහිච්ච අය ගෙන එනවා.

සූනියම් අප්පච්චි…කඩවර දෙයියෝ… පත්තිනි මෑණියෝ… තව ගොඩක් ගොඩක් කට්ටිය …

ඒ කතා මම ලියා තියෙනවා අනිත් කොන පොතේ…මේ සටහනේ අන්තිමට අනිත් කොන පොතේ කතාවකින් කොටසක් එකතු කරලා තියෙනවා.

එක දවසක් කොණ්ඩෙ හැඩ පළු ගෙතිච්ච ආච්චි අම්මා කෙනෙක් එව්වා වෛද්‍ය වාට්ටුවෙන් එයා කායික රෝග වලට ඇඩ්මිට් වෙලා තිබුනේ. මේ ප්‍රශ්නෙ එතනදි මතුවෙලා මනෝ වෛද වාට්ටුවට එව්වා ඒ ගැන බලන්න.

මේවා Dissociative disorders කියලා හඳුන්වන්නේ… මට මතකයි කවි කියාගෙන ඔලුව කරකවද්දීම මම කීවා ” මෙතන නැටුවොත් නම් ආච්චි ඇඩ්මිට් කරනවා ඉන්ජෙක්ෂන් එකක් දීලා” කියලා.

“හරි හරි දුවේ… අම්මා ගියා” කිව්වා.

ඒ අහපු සැනින් ඒ අය කොහොමද විගහින් ප්‍රකෘති තත්ත්වය ට පත් වෙන්නේ කියන එක පුදුමයි.

මේ ගැන පළවූ විද්‍යාත්මක විවිධ සාකච්ජා වලදී වැටහුනා ඒකම තමා වේවැල් අරගෙන කෑ ගහලා යකැදුරෝ කරන්නේ කියලා.

ඒ කාලේ mass hysteria තත්ත්වයක් යම් පිරිසක් අතර සිදුවුණා. ඒකත් එයාලා යුද්දෙන් පස්සේ පත්වුණු මනෝ ව්‍යාකූල දුක්බර තත්ත්ව එක්ක ජීවත් වෙද්දී. පසු කාලෙක උතුරු මැද උතුරේ පාසැල් ළමුන් අතර එක්තරා ක්‍රීඩාවක් නිසා දිවි නහගන්න සිදුවීමක් සඳහා රේඩියෝ ප්‍රෝග්‍රෑම් එකකින් අපේ ලොකු සර් ට කතා කරලා මට පරිවර්තන වැඩේ කරන්න උනා.

පහළ කොටස මාලියු අනිත් කොන පොතෙන් උපුටා ගත්තේ…

“ මීට ටික කලකට කලින් මහසෝනා වැහී මෙහි ආ අනෝමා මට සිහිවේ. මුලින් ඇය කායික රෝග වාට්ටුවට ඇතුලත් කරද්දී තනියම දොඩවන එකට අමතරව කෑ ගසමින් හූ තියමින් වාට්ටුව වටේ සහ අනෙක් වාට්ටු වලට දිවීමද, කෙස් බුරුතු පිටින් කඩා ඇද දත්මිටි කෑවායි ඒ වාට්ටුවල මිස්ලා මා හා කියුවා මතකය. ඇඳට බැඳ තබා තිබුනු ඇය අප වාට්ටුවට ගෙනාවේද අත් පා බැඳ සතෙකු විලසිනි. ඇයට නිතර නිතර වැහෙන්නේ මහසෝනා බවට ගමේ කට්ටඬි මහතා හඳුනාගෙන තිබුනාලූ තොවිල්ද නැටුවාලූ, කොහොම හරි අල්ලපු වැටේ ඉඩම් ප‍්‍රශ්නෙකට ගුරුකම් කරගෙන නඩු කියාගෙන කරදර විඳගෙන හිටිය ඇය එකපාරට මෙහෙම වෙද්දී ගමේ අයෙක් මෙහි ගෙන ඒමට කටයුතු කර තිබුණි.

මෙහි ගෙන එද්දී දත කට තද කර පියාගෙන අමුතු භයංකාර බැල්මෙන් අප දෙස බල බලා දිව එළියට දමමින් හූ තියමින් වෙව්ලමින් සිටි ඇයද සන්සුන් කිරීමට ඉන්ජෙක්ෂන් එකකින් බෙහෙත් ශරීර ගත කරන්නට සිදු විය. එක බෙහෙත් වඩියකින් පසු සිහි ගන්වා ගත් ඈ අත් වැඳගෙන පැවසූවේ. ”අනේ මට දැන් හොඳයි සහනයයි නෝනා මේ වාට්ටුවේ දවස් දෙකක් තුනක් ඉන්න දෙන්න” කියාය.

ඇගේ කතාවද ඉහත මා ලියූ කතා වගේමය. ඇයත් කර තිබෙන්නේ දේවාල කිහිපයකට ගොස් මුදල් සම්භාරයක් වියදම් කර තමන්ගේ හතුරු අය වෙත ගුරුකම් කිරීමයි. මෛත‍්‍රී, උපේක්ෂා වැනි ගුණාංග වෙනුවට ඔවුන්ගේ හිත්වල පැලපදියම් වී ඇත්තේ අනුන් තමන් වෙනුවෙන් නරක කරද්දී තමුන්ද එකටෙක කිරීම කල යුතුය යන තමන්ගේම විනාශයට අගතියට මුල පුරන වැරදි දෑය.

දින කිහිපයක් නොකඩවා බෙහෙත් ගත් අතර මහසෝනා ආයෙත් ඇය සොයා ආවේද නැත. අප උපදේශන සේවයේ උපදේශිකාවන් විසින් මොවුන්ට නිසි උපදෙස් දී හරි මගට යොමු කරන්නේ හිත් වල ඇති වැරදි වැටහීම් තේරුම් බේරුම් කර දෙමිනි. ගෙදර ගිය විටක මේ විස්තර කියද්දී මගේ අම්මා පවා බිය වී ” අනේ පුතේ බලාගෙන ඔය යක්කු වැහෙන අය ළඟට යන්නේ හොඳට බුදු ගුණ සිහි කරගන්න ”කියා කීවාය.

මහ රෑ දොළහට, පාන්දර, එකට දෙකට වාට්ටූවේ සිට අපේ නිල නිවාස වෙත තනියම යන අපිට නම් තවම කිසිම යකෙක් මූණට මුණ ගැසී නැත. සොහොන් පොළවල් අසලින් රාත‍්‍රියේ ගමන් කර ඇත්තෙමි. වාට්ටුවේ මහ ?, පාන්දර මිය ඇදෙන රෝගීන් අසළ හිඳ නැවත නිළ නිවාසයට පැමිණෙන්නේ තනියමය. මොන මළ යකෙක්වත් මුණ ගැසුණේ නැත. සියල්ල තියෙන්නේ හිත්වලය.

දැන් අනෝමා තනියම ඇවිත් අප සායනයෙන් බෙහෙත් රැගෙන යයි. මූණත් එළිය වී ඇත. දුව සමග සිටින ඇගේ සිතට ශාන්තිය ගෙන දුන්නේ අපේ මානසික සායනය මගිනි. ඒ ගුරුකම්. යක්ෂ පේ‍්‍රත වැනී බාහීර බලවේගයන්හි ඇත්ත ඔවුන්ට තේරුම් කර දීමෙනි.

දැනට මහසෝනා, මළ පේ‍්‍රත දීෂ්ඨි කීපයක් මෙන්ම රීරි යකාගේ සිට කඩවර දෙයියෝ දක්වාද පත්තිනි අම්මා, ජේසු තුමන්, මරියතුමී, බුදුන් වැනි ලෝක පූජිත චරිත තමන් යැයි කියාගන්නා අය මෙන්ම මේ ලෝකය විනාශ නොවී බේරාගැනීම සඳහා මෙහි පැමිණී අයද දැක හමුවී ඇත.”

(අනිත් කොන පොත, කතෘ බෝධිනී සමරතුංග)

අනිත් කොන පොත දැන් මුද්‍රණයේ නෑ. ඒත් ඉදිරියේ දි එය E Book එකක් ලෙස විද්‍යුත් කියවන මෙවලමක (e book reader) නැවත පල වේවි.

රූපවාහිනි වැඩසහනක් ඔස්සේ මනෝ වෛද්‍ය අංශයේ විශේෂඥ වෛද්‍යවරුන්ට සමාජය දැනුවත් කරන්න පුළුවන්නේ ද මෙවැනි දේ ගැන ?

© වෛද්‍ය බෝධිනී සමරතුංග

(කොපි කර නැවත බෙදාගන්න එපා ! මේ සටහන් ෆේස් බුක් එකේ Bodhini Samaratunga නමින් ඇති මගේ පිටුවෙන්ද බෙදාගෙන තියෙනව. ඉතින් මේවා නැවත නැවත කොපි කරමින් ඔබේ පිටු පුරවන්න එපා යැයි කාරුණිකව ඉල්ලා සිටිනවා. ඒත් ඔබට බෙදාගැන්මට අවශ්‍ය නම් මේ වෙබ් පිටුවේ ලින්ක් එක බෙදා ගන්න! )

Leave a Reply

Your email address will not be published. Required fields are marked *