එන්නත් ගැහුවම මොනවාද වෙන්නෙ ?

සෞඛ්‍ය සේවකයෝ හැටියට අපි ශිෂ්‍ය අවදියේ ඉඳන් එක එක එන්නත් ගන්නවා කියන එක සමහර විට සමාජය නොදන්නා දෙයක්. අපට මුලින්ම එහෙම එන්නත් ලබා ගන්න වුනේ සායනික පුහුණු පටන් ගැනෙන තුන්වන වසරේ ඉන්නකොට, කැපුම් ඇනුම් තුවාල සිදුවිය හැකි නිසා, රෝගින්ගෙ රුධිරය සහ තරල සමග ගැටෙන්න සිදුවන නිසා ඩිප්තීරියා සහ ටෙටනස් යන රෝග වලට එරෙහිව නිපදවූ එන්නත සහ හෙපටයිටිස් බී වෛරසයට එරෙහිව නිපදවූ හෙප් බී එන්නත ලබා ගත්තා මතකයි. ඒවගේම අවුරුදු පහකට සැරයක් බූස්ටර් හෙවත් යලි ක්‍රියාත්මක කිරීමේ මාත්‍රා ලබා ගත්තා මතකයි. ඒ වගේම තමා මම යුරෝපයෙදී මෙහෙ ලඳු කැලෑ වනාන්තර ආශ්‍රිතව සිටිනා මැක්කන් විශේෂ නිසා ඇතිවන  මාරාන්තික මොළයේ ආසාදන තත්ත් ව වලට ප්‍රතිදේහ නිපදවීම සඳහා නිපදවූ එන්නත(Tick Borne Encephalitis)  ලබා ගත්තා . ඒකට හේතුව අපි බොහෝ වෙලාවට බස් එකේ හෝ මෝටර් රථයේ යනවා වෙනුවට කැලෑ අස්සෙන් වැටුණු පාරවල් මං මාවත් දිගේ ඇවිදගෙන බොහෝ විට රෝහල් හෝ  විශ්ව විද්‍යාලය වෙත යන්නේ. ඒ රෝගය මාරාන්තික නිසා එම එන්නත ලබා ගත්තා. ඉන්ෆ්ලුවෙන්සා වෛරස සඳහා එන්නතක් වසරක් පාසා නිපදවෙනවා. එම එන්නත පවා අපට ලබා ගන්නට කියනවා. අප එම එන්නත ලංකාවේදී කිහිපවරක් ලබා ගත්තා මතකයි. මොකද මා එවකට වැඩ කළේ පෙනහළු ආසාධන බහුල වාට්ටු වල. එන්නත් සඳහා දැඩි විරෝදයක් සහ ප්‍රතිරෝදයක් ඇති කාලයක මම හිතුවා එන්නත් ගැන මගෙ අත්දැකීම් ලියන්න මොකද සමහර රෝග තියෙනවා එහෙම සමස්ත සමාජයක් එන්නත්කරණය මගින් රෝග කාරකයන් ට ඉන්න තැනක් නැතිව සම්ප්‍රේශණය නැවතුනු. පෝලියෝ, වසූරිය, ටි. බි. මෙනිංජයිටිස් …. ඒවගේ ගොඩක් ඒවා තියෙනවා අපිට දැන් දකින්නවත් නොලැබෙන. 

අපේ අම්මලාගේ අත් වල වසූරිය එන්නත කැළැල හරි ලොකුවට තියෙනවා. අපේ ළමා වෛද්‍ය විශේෂඥ වරිය වරක් අපිට පැවසුවේ tb meningitis රෝගය එයාලා වෛද්‍ය ශිෂ්‍ය කාලේ දැක්කට පස්සේ දැකලම නෑ කියලා. 

ඉතින් මමත් දැකලම නෑ. ඒක ඇතිවෙන්නෙ නව ජන්ම බිළිඳුන්ට, ඔබේ වම් අතේ දකින්න ලැබෙන රවුම් කැළැල එම රෝග තත්ත්වය වැලැක්වීම සඳහා බිළිඳුන් ඉපදුණු පසුව එන්නත් කරන BCGඑන්නත කියා අප අහලා තියෙන එන්නතෙ සලකුණු. එනිසා ලොව පුරා මේ තත්ත්වය සීග්‍ර ලෙස පාලනය වුණා. 

කුඩා දරුවන්ට ලබා දෙන එම එන්නත් මගින් සිරුරේ ඇති කරන්නේ ප්‍රබල බෝවෙන රෝග කිහිපයකට එරෙහි ප්‍රතිශක්තියයි. ඒ ප්‍රතිශක්තීකරණය නැති වූවා නම් සිරුරට ඇතුල් වන රෝග කාරක ක්ෂුද්‍රජීවීන්ට නවාතැන් සපයනවා මෙන්ම, රෝගී වීම, ළදරු කාලයේදීම මියයාම, සංකූලතා වලට ලක්වීම මෙන්ම රෝග පැතිරීමද ඒ නිසා සිදු වෙනවා. ඒවගේම අපේ සමාජයේ  ප්‍රතිශක්තිකරණ එන්නත් ලබාගන්නට බැරි අය, ඒ කියන්නේ තමන්ගේ ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල අය ඉන්නවා. නොයෙක් ජාන ගත ප්‍රතිශක්තී ඌණතා තියෙන අය, පිළිකා රෝගීන් වගේ අය එවිට රෝග පැතිරීම තුලින් අගතියට පත්වෙනවා. 

අපි එකිනෙකාගේ සිරුරේ හැටියට යම් රෝග ලක්ෂණ වෙනස් වෙනවා වගේම රෝග යේ හැසිරීම වෙනස් වෙනවා. ඒක ඉතින් ජාන සැකැස්ම. ඒවගේම මේ වෛරස වල තව උපක්‍රමයක් තමා එයා නිතර තමන්ගේ ජාන සැකැස්ම වෙනස් කරගන්නවා. මේ කොවිඩ් 19 වෛරස ව්‍යාප්තියෙදි ඔබට විවිද නම් ඇහෙන්න ඇති. ඇල්ෆා, ඩෙල්ටා, ඕමික්‍රොන් වගේ නම්. ඒ මේ සැකැස්ම වෙනස් කරගෙන තමන්ගේ ව්‍යාප්තිය වගේම හානිකර මට්ටම් වෙනස් කරගෙන ඉන්න වෛරසය නිසා. 

දැන් අපි කුඩා කාලේ ලබා ගත් එනන්ත් ප්‍රමාණය වගේම, සෞඛ්‍ය අංශවල සේවකයො ලබාගන්නා එන්නත් වගේ දේවල් ගැන සමාජ විරෝදයක් නොතිබුන ද අවුරුදු දෙකකට කලින් ඇති වුණු කොවිඩ් 19 වෛරස ව්‍යාප්තියත් සමග ඉන් වසරකට පමණ පසු නිපදවූ එන්නත් සඳහා දැඩි විරෝදයක් අපෙ රටේ පවා දකින්නට ලැබුනා. මට මතකයි කොවිඩ් 19 පැතිරෙන්න පටන් ගත්තු මුල් කාලයේ අප සෞඛ්‍යායතනයේ පැවති සාකච්ජාවකදි ඇසූ ප්‍රශ්නයක් ! “මේ වසංගතයෙන් මිදෙන්නේ කොහොමද ?” කියන එම ප්‍රශ්නයට බහුතරයකගෙ පිළිතුරු වුණේ එන්නතක්  කියන එක. ඇතැම් අය තර්ක කළා ප්‍රබලයා ජීවත් වෙයි දුබලයා මිය යයි කියන ස්වභාවික වරණය නම් සිද්ධාන්තය ගැන. එහෙත් මෙතරම් විද්‍යාව සහ තාක්ෂණය දියුණුය කියා අප හිතා ඉන්නා කාලෙක වුනත් වෛරසයට විරුද්ධව එන්නතක් නිපදවාගන්න වසරක් පමණ ගත වූ අතර එම එන්නත ලබා ගන්නට ඇතැම් රටවල්වල තවමත් දුෂ්කරතා තිබෙනවා. 

අපේ රටේ නම් ගොඩක් අයගේ පොදු තර්කය තමා වැක්සින් ගැහුවත් නොගැහැව්වත් මැරෙනවා කියන එක. හැබැයි ඔවුන් නොදන්නා හෝ නොසිතන දෙය තමා වසංගත පාලනය ගැන විද්‍යාත්මක පදනම. 

යුරෝපයේ ඇතැම් රටවල් කවදාවත් සංචරණ සීමා පනවලා නැහැ. එහෙත් සමස්ත ජනගහනයෙන් 70%  වඩා එන්නත අරගෙන ඇති බව පෙන්වනවා. සමහර ස්කැන්ඩිනේවියානු රටවල රෝග පැතිරීම වැඩි වුනාට මරණ ප්‍රමාණය සීග්‍රයෙන් අඩුවෙලා තිබෙනවා. ඒ වගේම තමා මාස්ක් දමන එකත් තමන්ගේ කැමැත්ත අනුව කරගන්න කියන ගමන්ම පොදු ප්‍රවාහන සේවා වලදි මාස්ක් පළදින්න්න කියා කියනවා. එන්නත ලබාගෙන ඇති අය සහ එන්නත් ලබාගෙන නැති අය වෙන් වෙන්ව වෙනස් විදිහට සමාජයේ හැසිරෙන්න නීති තියෙනවා. 

එකල එනම් එන්නත්කරණය සිදුවෙමින් පැවති කාලයේ සිනමාහලකට ගිය ඉන්දියානු යහළුවෙක්ට කොවිඩ් 19 එරෙහි එන්නත් ලබාගත් කාඩ් එක නොමැති වීම නිසාත් ඒවා එයාගේ රටේදි ලබාගත් නිසා මෙහෙ දත්ත ගබඩාවල ඒ විස්තර නැති වුණ නිසා එයාට එන්නත ගත්තේ නැති අය එක්ක සිනමාපටය නැරඹීමට සිදුවෙලා. එනිසා එයා චිත්‍රපටය එපා කියා ගෙදර ඇවිත්. එහෙමයි නීතිය.

දැන් වුනත් අපේ රටවල් වල එන්නත නිසා අතුරු ප්රතිඵල බිල්ලෙක් මවනවා… ඒත් රෝගය හැදුණොත් විය හැකි දේ අතුරු ප්‍රතිඵල ඊට වඩා වැඩි බව වටහා ගන්නේ නෑ. 

 කොරොන වයිරස් එන්නත් වල ඇති අමුද්‍රව්‍ය අපි කුඩා කාලයේ ලද ළමා එන්නත් සහ අනෙකුත් එන්නත්වල භාවිතා කරන අමුද්‍රව්‍ය වලට බෙහෙවින් සමාන යි. එන්නත කල් තබා ගන්න සහ එහි ක්‍රියාකාරිත්වය නිසි ලෙස තබා ගන්න එහි යොදා ඇති අමුද්‍රව්‍ය අපි භාවිතයට ගන්නා සමහර සකස්කරන ලද ආහාරවල ද බහුලව අන්තර්ගත වෙනවා. අපේ සිරුර තුළ සහ අපිත් බහුලව ලබා ගන්නා ලුණු සහ ජලය වැනි දේත් එන්නත තුල ඇතුලත්.  කිසිම ප්‍රශ්න කිරීමකින් තොරව අපි භාවිතා කරන ලුණු වුනත් වැඩිපුර පරිභෝජනය හොඳ නෑනේ. ඉතින් මේ එන්නත් තුළ වුනත් මේ  අමුද්‍රව්‍ය ඉතා සුළු වශයෙන් පවතින්නේ, ඒ කියන්නේ සිරුරට හානි දායක නොවන ආකාරයට.

ඒවගේම වෛරසයේ වගතුග ගැන අඩංගු ප්‍රතිදේහ ජනක හෙවත් ඇන්ටිජන් කොටස් මෙහි අන්තර්ගත වෙනවා, එය රෝග ඇති නොකරන්න තරම් ජාන සකස් කළ වෛරස mRNA කොටසක් හෝ එම වෛරසය කොටසක් ( spike glycoprotein) විය හැකියි. එය වෛරසයට විරුද්ධව සටන් කරන්නට ශරීරයේ ප්‍රතිශක්තීකරණ පද්ධතියට අවශ්‍ය ප්‍රතිදේහ නිපදවීමට උපකාර වෙනවා. 

මේ ගැන විද්‍යාත්මක කරුණු පැහැදිලි කිරීම් බොහෝ වෙබ් අඩවි වල සඳහන් වෙනවා. එනමුත් තවමත් මේ එන්නත් පිළිබඳ බොරු භයානක කමක් මවා පතුරා බොහෝ පිරිස් මුලා කිරීමක් දකින්නට ලැබෙනවා. එනිසා මේ ගැන වඩා හොඳ වැටහීමක් සහිතව අප විද්‍යාත්මක ක්‍රමය සහ එහි දැනුමෙන් සන්නද්ධ වෙමු, මිත්‍යාවට තිත තබමු.

වෛද්‍ය බෝධිනී සමරතුංග

(කොපි කර නැවත බෙදාගන්න එපා ! මේ සටහන් ෆේස් බුක් එකේ මගේ පිටුවෙන්ද බෙදාගෙන තියෙනව. ඉතින් මේවා නැවත නැවත කොපි කරමින් ඔබේ පිටු පුරවන්න එපා යැයි කාරුණිකව ඉල්ලා සිටිනවා. ඒත් ඔබට බෙදාගැන්මට අවශ්‍ය නම් මේ වෙබ් පිටුවේ ලින්ක් එක බෙදා ගන්න! )

One thought on “එන්නත් ගැහුවම මොනවාද වෙන්නෙ ?

  1. මං හිතන්නේ සමාජයක් වශයෙන් අපි එන්නත්කරණය එක්ක හිට ගන්න ඕනේ…මොකද හර්ඩ් ඉමියුනිටි එක එමගින් ලැබෙන නිසා. එය පෞද්ගලිකව තමන්ට විතරක් නෙමේ මුලුමහත් සමාජයටත් එය තල්ලුවක් වන නිසා. මෙය කොවිඩ් වසංගතයත් එක්ක හැමෝටම තේරිච්චි දෙයක් – Mayya –

Leave a Reply

Your email address will not be published. Required fields are marked *