දරුවෝ දරුවෝමය… කුඩා බඩගෙඩි ඔසවාගෙන මාතෘ සායන වෙත ආ දරුවන් මතක්වේ…බෝනික්කන් මෙන් සරසා දරුවන් උස්සාගෙන සායන පැමිණි උන් මතක් වේ. දරුවාගේ අම්මා අක්කා යැයිද මිත්තණිය අම්මා යැයිද සිතමින් හඬ නගා ඇමතූ වේලාවන් මතක් වේ.
අපි අපේ රටේ පවතින සාමාජීය ප්‍රශ්න ගැන කතා කරන්න ඒවායේ වෙනසක් ඇති කරන්න මේ මොහොත වුවද පාවිච්චි කරමු.
2014 ලියා අගුළු දැමූ සටහනක් ඔබ වෙත ගෙන එමි.
“මගේ රාත්‍රී වැඩමුරය මහා ඛේදවාචකයක්, ටීනේජ් හෙවත් නව යොවුන් වියේ දැරිවියකට සීසේරියන් සැත්කමක් කළ පසු දරුවා පෙන්වූ විට “ඊයා” යැයි පැවසුවා. ඇයගේ දරුවා හුස්ම ගත්තේ අමාරුවෙන්. කෘතිම ශ්වසන මෙවලමට සම්බන්ද කර දැඩි සත්කාර ඒකකයකට මාරු කළා. ඇයට දරුවාගේ තත්ත්වය පවසන්න මම දරුවා රැගෙන මහ රෝහලට යන බව කියන්න ගියවිට ඇය මට ඇගේ කැනියුලාව රිදෙන බවත් එය බලන ලෙසත් පැවසූවා.දරුවා ගැන මා කියූ කිසිවකට ඇය ප්‍රතිචාරයක් නොදක්වා ඉවත බලා සිටියා. මට දුකයි ඉතා කුඩා කාලයේ අම්මලා වන මේ දැරිවියන් සහ ඔවුනට දාව ඉපදී දුක් විඳින මේ කුඩා ජීවිත ගැන. කිසි ආදරයක් නැතුව හැදෙන්නට වෙන මේ කුඩාබිළිඳුන් ගැන මට කණගාටුයි”
ඒ මගේ අගුළු දැමූ සටහන ය. මේ දැරිය අපයෝජනයට ලක්වී තිබිණි. පාලමක් යට නිවස්නය කරගත් අනාරක්ෂිත පරිසරයක වැඩෙන ඇය වැනි දරුවන් කොපමණ මේ රටේ සිටිනවා ද ?
“එයාගේ තාත්‍තා මරාගත්තා කියලා අපිට බනිනවා. බලන්න නංගී මේ දරුවාට එයාට වෙච්ච දේ තේරෙන්නෙ නැති හැටියක් !”
අප වෙත රවමින් බණිමින් කඳුළු සලමින් සිටියේ 14 හැවිරිදි දැරිවුයකි. ඇයට දෙමළෙන් ලොකු දේශනාවක් දී පැමිණි ජ්‍යේෂ්ට වෛද්‍යවරයා එසේ කීවේ, එදින උදෑසන සිදුවූ සංහදිය යලි මතක් කරමිනි. (2010)
අනිත්කොන පොතේ මේවා මුද්‍රණය වුණා ඔබට මතක ඇති. එහෙත් නොකියවූ බොහෝ අය වෙනුවෙන් ලියා තබන්නෙමි.
නංගීගේ බඩ ලොකු වෙනවා යැයි පැවසමින් අක්කෙක් සමඟ පැමිණි මේ දැරියගේ කුසෙහි සති 20 පමණ වැඩෙමින් තිබෙන ජීවයකි. මාස ගණනාවක් තිස්සේ පියා අතින් අපයෝජනය වූ බව පවසයි. එය සාමන්‍ය දෙයක් සේ පවසයි. අසා සිටින අපගේ හදවත් කෑලි කැඩී සායනය පුරා විසිරී ලේ ගලමින් තිබුණු බව මේ පොඩි දැරියට නොතේරුණි. රෝහල්වල අප විනිසුරුවන් නොවන්නෙමු. යුක්තිය අයුක්තිය සෙවීම පොලිසියට බාරවිණි.
සවස ආරංචි වූයේ ඇගේ පියා දිවිනහගෙන තිබුණු බව ය. පියා මරාගත්තේ අප යැයි සියල්ලන් වෙත දොස් පවරමින් සිටී. එහෙත් ඇගේ ජීවිතය තලා පෙලා මරා දැමූයේ පියා බව ඇගේ ළපටි මනසට නොතේරේ.
(ඇස් හිස් මොළ නැති පිසාචයන් මැද – අනිත් කොන)
වෛද්‍ය බෝධිනී සමරතුංග