හිත් බිඳි පැංචන් පැංචියන් !

ඔබ ඉන්නා නිවස සුරක්ෂිත වෙන්නට ඇති. ඔබ හැදී වැඩුණු නිවස සුරක්ෂිත වෙන්නට ඇති කොටින්ම ඔබ දැන් සිටිනා රට සුරක්ෂිත රටක් වෙන්නට ඇති. එහෙත් හැමෝටම එහෙම නොවෙනා බව ඔබ දන්නවාද ? මේ ඉතා ප්‍රෞඩ ඉතිහාසයක් සංස්කෘතියක් ඇති රටක් යැයි පාරම්බාන්නෙමු. එහෙත් අඳුරු අහුමුලුවල හඬාවැටෙන දුවා දැරියන් පවසන්නේ ඔය හානිවෙනවා යැයි කියන සංස්කෘතියේ අසංවේදී පාඩම ය.

ඉතා කුඩා වයසේදිම බරපතල ලිංගික අපචාරවලට ලක්වුණු දරුවන් දැරිවියන් මට හමුවෙන්නේ රෝහල් වාට්ටු තුළදී. අසල්වැසියන් නෑයින් සහ තමන්ගේම පියා අතින් දූෂණය වූ අපචාරයට ලක්වූ දරුවන් දැරියන් මට හමුවී තිබේ.

අසරණ කුඩා පිරිමි ළමයින්ව බලා කියා ගන්නවා කියමින් ළමා නිවාසයක් මුවාවෙන් ඔවුනට ලිංගික අපයෝජන කළ චීවරධාරීයෙක් අත් අඩංගුවට ගන්න බොහෝ කල් බලා ඉන්න සිදුවුණු සිදුවීමක් අපේ වෘත්තිය ජීවිතයේ තිබේ. දරුවන්ගේ සාක්ෂි වෛද්‍ය පරීක්ශණවල සාක්ෂි මේ සියල්ල තිබුනත් නීතිය ඔහුට විරුද්ධව ක්‍රියාත්මක වූයේ නැත. මා උතුරෙන් මෙහි ආ පසුත් අවුරුදු ගණනාවක් ගිය තැන මේ චීවරධාරියා හිරේට නියම කළ පුවත එහි සිටි සහෝදර වෛද්‍යවරයෙක් මට ලියා එවා තිබිණි.

නංගිගේ බඩ ලොකු වෙනවා යැයි පවසමින් භාහිර රෝගී අංශයට පැමිණි අක්කා නගෝ දෙදෙනා ප්‍රසව හා නාරිවේද වාට්ටුවට යොමු කර තිබිණි. ඒ දැරියගේ වයස අවුරුදු 13 කි. අක්කා ගෙදර ගොස් නංගිගේ බඩේ සති 20 ක කළලයක් වැඩෙමින් පවතින බව පැවසූ විට පියා ගෙල වැලලාගෙන දිවි නසාගෙන තිබුණි. මව මැදපෙරදිග ගිහින් ය. අම්මාගේ ගවුම ඇඳගෙන තමා ළඟ නිදියන්න එන්න යැයි තාත්තා පවසන බව ඇය කීවාය. තාත්තා තමන්ට සිදු කරන්නේ කුමක්ද ඇය නොදැන සිටියාය. තාත්තා මරාගත්තේ අප යැයි ඇය බැන වැදුනාය. ඒ ඇයට තාත්තා කළ.සංහදියේ තරම මේ ළපටි දැරියට නොතේරුණු නිසාය. මේ කතාවේ ඇගේ ඉරණම අනිත්කොන පොතේ ලියා තැබුවා ඔබට මතක ඇති. මේ දැරියට දරුවා ලැබෙද්දී වාසනාවකට මගේ නිවාඩු දවස වූයෙන් ඒ හිත සසල කරන සුළු කෑ ගැසීම් දැඟලීම් මට දකින්නට ලැබුනේ නැත.

මා දුටුවේ හවස පහට ඇඳ උඩ ඉඳගෙන වාට්ටුවේ රූපවාහිනය දෙස හැරී කාටූන් බලන දැරිවියකි.

අවුරුදු 12 ක දැරියක අප හමුවට පැමිණියේ කඩේ මුදලාලි නොයෙක් තෑගි දෙමින් ඇයට කරන ලද සෙල්ලම නිසාය. ඇය ඒ ලොසින්ජර ටොපි ටිපි ටිප් පැකට් එකට ඇය සමග කරන සෙල්ලම කුමක්දැයි නොදැන සිටියා මෙන්ම එය ඉවසා සිටිය බව පැවසුවාය. ඇය යුද්ධය අවසානයේ ඉතිරි වූ මිත්තණිය සෙවනේ සිටි අතර කිසිවෙකුට මේ ගැන පවසා තිබුණේ නැත. එහෙම වුනාම මෙහෙම වෙනවා ? බබාලා එන්නේ එහෙමද ? කියමින් ඇය සසල වූවාය.

ඇය ප්‍රසව වේදනාවෙන් කෑමොර දුන් හැටි මට අදටත් මතක ය. මොකද එදින මාගේ වැඩ දවසකි.

2012 දී ලෝක විනාසය වෙනවා යැයි පැතිරුණු ආරංචියකි. ඒ එක්කම අප හමුවට ගෙන ආ නව යොවුන් වියේ දැරියන් කිහිප දෙනෙකි. වැඩිහිටි පිරිමි ළමෝ මෙය විනෝදයක් බවද ලෝක විනාශය වෙන්න කලින් මේ විනෝදය ලැබිය යුතු බවද පවසා ඔවුන් පාළු නිවසක් වෙත රැගෙන ගොස් තිබිණි.

ඔවුන් කිසිවෙක් මේ කරන්නේ කුමක්ද කියාවත් දැන සිටියේ නැත.

තාත්තා විසින් අපචාරයට දූෂණයට ලක් කෙරුණු අක්කා නංගී දෙදෙනෙක් අප වෙත ගෙන ආවේ ප්‍රජා සෞඛ්‍ය නිලධාරිනිය සහ පොලිසිය මැදිහත් වීමෙනි. 13 වියැති අක්කගේ කුසේ ඒවනවිටත් තාත්තා දුන් තිලිණය වැඩෙමින් තිබුණි. අක්කා මේ ගැන කාටත් නොකියූ නමුදු නංගීටත් ඒ දෙයම කරන්නට වූයෙන් ඇය අසල්වැසි කාන්තාවක හරහා මිඩ්වයිෆ් මිස්ට දන්වා පොලීසියට දන්වා තිබිණි. මව විදේශගතවය.

පියා නිසා බෝවූ ලිංගාශ්‍රිත රෝගයක ලක්ෂන දෙදෙනාගේම මෞත්‍ර ලිංගික පද්ධතිය ආශ්‍රිතව පැතිරී තිබුණු සැරව බිබිලි දද වලින් දැක ගත හැකි විය.

බොහෝ විට උතුරු කොනේදී දැරිවියන්ට ලිංගික අධ්‍යාපනය ගැන කියා දෙන්නට සිදුවුණේ අපට ය.වයස 16 සිට එක්ව ජීවත් විය හැකියැයි කියනා රටක එසේ ඉක්මනින්ම දරුවන් ලබා තනිවූ දැරියන් ගැන කතන්දර රැසක් මට කියන්නට හැක.

පල්ලියේ පසුපස පඩිපෙළේ හිඳගෙන “මා අපිරිසිඳුයි…ඔයාලා කන්‍යා සුරංගනාවියෝ..” කියමින් හඬා වැටුණු දැරිවියකගේ මතකයක් මගේ හිත රිදවමින් තවමත් දවමින් තිබෙන්නේ ඇය කියන කිසිවක් අපට නොවැටහීම නිසාය. දහය වසරේ සිටි අප කන්‍යාභාවය හෝ ලිංගික ක්‍රියා ගැන නොදැන සිටියා යැයි ඇසුවහොත් ඔබ පුදුමයට පත් වෙනවාද ? විද්‍යා විෂයේදී ශුක්‍රාණුවක් ඩිම්බයක් සංසේචනය වන හැටි සහ විවිද අවදි ගැන කියා දුන්නද ඒක වෙන්නේ අහවල් දේ අහවල් විදිහට වුනාම යැයි කියා දෙන්නට කෙනෙක් සිටියේ නැත. පිරිමි අය ළඟට යන්න එපා අල්ලන්න දෙන්න එපා කියා උපදෙස් ලැබුනද මේ දේවල් වෙන්නේ කොහොමද ඇයිද යන්න පැහැදිලි වුණේ උසස් පෙළට බයෝ කරද්දී යෙහෙළියක විසින් බයොලොජි ලැබ් එකේ ලයිබ්‍රරියෙන් සොයාගත් වෛවර්ණවත් ඇනැටමි ඇට්ලස් එකෙන් මිසක ඒ වනතෙක් එය නොදැන සිටි ඒ ගැන වගේ වගක් නොකළ පිරිමි ළමුන් කෙරෙහි කෙසේවත් ආකර්ෂණයක් නොවූ අප සමහරෙක් ඒ ගැන කෙසේවත් නොසෙවූ නිසා ය.

ඉතින් ඒ දැරිය හඬා වැටෙද්දී ඒ ගැන අප කට අයාගෙන අසා සිටියේ මේ කියන්නේ කුමක්දැයි නොදැනය.

ඇගේම ගෙදරදී ඇගේ මාමා කෙනෙකු ඇයට ලිංගික අපචාර සිදුකර තිබුණු අතර ඇගේ මව සිටියේ විදේශගතවය. පාසැලේ ගුරු මවුන් මැදිහත්ව ඔවුන්ට සහනයක් ගෙන ආ බව මතකය.

ඉතින් ළමයින්ට මේවා කියා දිය යුතු වයස කවරක්දැයි ඇතැමෙක් අසයි.

නාන්න ළිඳට ගෙන ගිය තාත්තා තමන්ගේ අඟපසඟ අතගෑ බව අවුරුදු පහක දැරිවියක අප හමුවේ පැවසුවේ ඇය අම්මාත් සමග රෝහල්ගතකර ඇති අවස්ථාවේදීය ඒ තාත්තා ඇයට කල ලිංගික අපචාරවලට එරෙහිව මව පොලිසී ගිය නිසාය.

කණ රිදෙනවායැයි ඇඩ්මිට් කළ දරුවා පසුව කීවේ විදුහල්පති කණට ගැසූ බවත් පන්තියට පැමිණ මහත දරුවන්ගේ බඩ පස්ස මිරිකන බවත් තමන්ගේ බඩ මිරිකූ බවත් ය. මේ සම්බන්දයෙන් පොලීසියට අමතරවඇතැම් අවස්ථාවලදී මාධ්‍ය හෝ නීතිවේදී මිතුරන්ගෙන් උපදෙස් ලබා ගත්තෙමි. නීතිවේදීන් විසින් මෙහෙයවන ළමා ආරක්ෂන බලකාය නිරන්තරයෙන් මගේ කරදරකිරීම් උදව් ඉල්ලීම්වලට ලක්වේ.

බාලවයස්කාර දැරියන් දරුවන් බස් රථ තුළදී හිංසනයට ලක්වේ. ජැක් ගැසීම ගැන මා දැන ගත්තේ බස් රථයේ එලෙස හේත්තුවන්නට ආ මිනිසෙක් නිසාය. මේ සමජයේ අමනයින් දරුවන් පෙලා දමන්නන්, ලිංගික අප්චාර කරන්නන් බහුලය. ඔවුන් නිදැල්ලේ සිටී. අපචාරයට ලක්වන දරුවා හෝ දැරිය නැවත ඒ පාපතරයා සිටින ගෙදරටම ඇතැම්විට බාරදෙන්නට හෝ යැවීමට සිදුවන හරි අපූරු යාන්ත්‍රණයක් මේ සිරි ලංකාවේ තිබේ. බොරුනම් පොලීසි සමග අත් දැකීම් ඇති නීති මිතුරන්ගෙන් අසා දැන ගන්න.

තමන්ගේ සීයා රෑට ඇවිත් නයිටියට යටින් අත දැම්මා කියා මවට ගොස් කියූ දැරියකට අම්මාගෙන් ලැබුනේ අපූරු පිළිතුරකි. ” ආ ඒ කාලේ අපිටත් ඔහොම තමා” නමුත් වාසනාවකටඇය තම ගුරුතුමිය හමුවේ එය පැවසූ නිසා ඇයට උදව් ලැබුනේ පාසැලෙනි. මේ ඛේදවාචක එකක් ගානේ මට මතක් වේ. සමාජයක් වශයෙන් මේ සැඟවුණු ප්‍රශ්න ගැන කතා කරන්නේ කවදා ද ?

අප ජීවිත කාලය තුළ හමුවන අනන්තවත් මෙවැනි කතා ලියා ඔබ හමුවට ගෙන එන්නේ කැඩී බිඳී යන හිත හදාගෙන රාජකාරිය විතරක් කරන්න කියන බලපෑම් මගහරිමිනි.

අපේ දරුවන් ආරක්ෂා කිරීම සඳහා අපි යමක් කරමු. ඔවුන් දැනුවත් කරමු.

ස්ත්‍රී/ළමා දූෂකයින් ගැන වෙන රටවල තිබෙන්නාක් මෙන් registry අපේ රටේ තිබෙනවාද ?

මෙවන් අධමයන් වෙනුවෙන් අප කළ යුත්තේ සමාජ විරෝදයක් ගෙන ඒමය. එහෙත් ඒ වෙනුවට අපේ රටේ ඉන්නේ එවැන්නන් ඔසවා පාර්ලිමේන්තුවට යවන අපූරු මිනිසුන් ය.

දරුවන්ට නිසි ලිංගික අධ්‍යාපනයක් සකසන්නට ඒ පොතට මුලික වශයෙන් කරුණු කාරණා ගොනු කරන්නේ විශේෂඥ ප්‍රජා වෛද්‍යවරුන් ඇතුළු කණ්ඩායමකි. ඒ වුණාට දැන් පොත හොර පාරෙන් හකුලා ගන්නට යන හේතුව ගැන හෝ සඳහනක් නැත.

පාසැල් ගුරුවරියන් බහුතරයක් මේවා කියා දෙන්නේ නැත. එනිසා එවැනි දෑ වෛද්‍යවරුන් මගින් පාසැල් දරුවන් දැනුවත් කිරීමේ ක්‍රමවේදයක් සකසන්නට කාලය පැමිණ ඇතැයි සිතේ.

ඔවුන් ආරක්ෂාකරගන්නට ඔවුන්ව දැනුවත් කළ යුතුමය.

වෛද්‍ය බෝධිනි සමරතුංග

Leave a Reply

Your email address will not be published. Required fields are marked *