ඉතින් මං මොකටද මැරෙන්නේ ?

“ආදර සම්බන්ධතාවයක් බිඳෙනවා කියන එක තරුණ වයසෙදි දරාගන්න ටිකක් අමාරුයි තමයි” මගේ ඉදිරියේ හිටිය තරුණියට මම කිව්වා.

“ටිකක් නෙමෙයි ගොඩක් අමාරුයි doctor “

ඇයට අපි දිසා කියමු. දිසාගේ කතාව ටිකක් වෙනස්. දිසා මානසික සායනයට යොමු වුණේ සියදිවි නසාගන්න ගිහිල්ලා නෙමෙයි එහෙම හිතපු දවස්වලවත් නොවේ. කාලයක් ම විශාධියට පත් වෙලා… එහි අන්තෙට යනකොට එයාගේ ඔළුවට වැදෙනවා මරු පහරක්. Physically නෙමේ එක මනසට වැදෙන මරු පහරක් !

“මට මැරෙන්න හිතිල තියෙන්නේ ඇයි මට මෙහෙම කරන්නේ මං මැරුනොත් ඉන්න පුලුවන්ද ?”

ඇය අහන්නේ තමන්ව අත හරින පෙම්වතාගෙන් …

මේ වගේ ගොඩක් දුක් වේදනා දැනුනු ඒ අත හැරීම් එක්ක ඒ කිසිත් නෑසෙන හදවතකට කියමින් හඬමින් ඇය කාලේ ගත කරා. ඇය ඔහු රඳවා ගන්න සෑහෙන කාලයක් උත්සාහ කරලා තියෙනවා.

“මට මැරෙන්න හිතිලා තියෙන්නේ” ඇය කියනවා

“ඉතින් මැ.රි.යං !”

එහෙම තමයි අනෙක් පසින් ප්‍රතිචාර ලැබුණේ.

“ඒ වචන දෙකත් එක්ක මාව වහගෙන හිටපු කළු මහා ගණ අන්දකාරයෙන් මිදිලා එකපාරට සිහිය ආවා වගේ දෙයක් මට වුණා. මනුස්සයෙක්ට එහෙම කියන්න පුළුවන්ද තව කෙනෙක්ට. එහෙම කියන මනුස්සයෙක් වෙනුවෙන් ඇයි මම මගේ ජීවිතේ නාස්ති කරගන්න යන්නේ ජීවිතේ කියන්නේ දුකම විදින්න ඕන දෙයක් නෙමෙයිනේ..

මම තේරුම් ගත්තා මාව වටින තැන් වල මම නවතින්න ඕනේ කියලා. වටින්නේ නැති තැන් වල අතාරින්න ඕනි කියලා”

ඉතින් ඇය හිත හදාගන්න මන්තර අහගන්න ප්‍රාදේශීය මහා රෝහලේ මනෝ වෛද්‍ය සායනයට ආවා.

ඇය ඒ කියූ දේවල් වලට මම එකතු කරනවා මගේ අදහස් ටිකකුත් !

අපි මේ යන ගමනේ කෙළවර අපිවත් දන්නේ නෑ අපි ආවේ කොහෙන්ද යන්නේ කොහෙටද මේ කිසිවක් අපි දන්නේ නෑ හැබැයි අපි ඒ ආවෙ තනියම වුණත් යන්නේ තනියම වුණත් ඒ ගමනේ අපි එක්ක විටින් විට පිරිවෙර සේනා එකතු වෙනවා. හැබැයි ඒ කාගෙවත් ළඟ නෙමෙයි අපේ සතුට තියෙන්නේ.

අපේ සතුට තියෙන්නේ අපි ළඟ එනිසා දිසා කිව්වා වගේ තමන්ට නොගැලපෙන තමන් නොවටින තැන්වල රැඳෙන්න එපා !

ඒ තැන් අමතක කරන්න ටිකක් අමාරුයි තමයි. හැබැයි පුළුවන් ! කාලය මේ හැම දේම විසඳන ඖෂධයක්.

ඒ එක්කම මනෝ උපදේශනයට යොමු වෙන්න පුළුවන්. දරාගන්න අමාරු ඕනෙම වෙලාවක 1926 අනේ මෙන්න මේකට කතා කරලා කතා බස් කරන්න අහන්න පුළුවන් එහෙම නැත්නම් ඔබේ ගෙවල් ළඟම රෝහලේ මනෝ වෛද්‍ය සායනයට ගියොත් මනෝ වෛද්‍ය අංශයෙන් විශේෂ පුහුණුව ලබපු මනෝ වෛද්‍යවරුන් මනෝ උපදේශකයන් හමුවෙන්න පුළුවන් ඔබේ ගමේ හෝ ඔබට කිට්ටු නගරයේ රෝහලට යන්න අකමැති නම් ලංකාවෙ ඕනම රෝහලකට යන්න පුළුවන් ඒ කිසිම තැනකින් ඔබ එලවා ගන්නේ නැහැ.

ඉතින් මේ වගේ සමාජයක් රටක් වශයෙන් මෙච්චර අමාරු කාලයක් ගත කරනකොට හිත හරියට සතුටින් හෝ කම්පාවට පත් නොවී තියාගන්න සෑහෙන අමාරුයි ඒ වෙලාවට අපි මොකක්ද කරන්න ඕනේ කියලා නොයෙක් උපදේශකයන්, මනෝවෛද්‍යවරු ඒ වගේම ජීවිතය පිළිබඳ motivation කතා කියන අය එකතුකරන දේවල් සොයා විමසා බලන්න.

තමන්ගේ ලෝකේ වෙනත් කෙනෙකුගේ අතේ රඳවන්න එපා තමන්ගෙ ලෝකෙ තමන් ගොඩනගා ගන්න ! ඔයාගේ ලෝකය තුළ ඔයාට කැමති, ආසා දේවල් කරන්න චිත්‍ර අදින්න, පොත් කියවන්න නාට්‍ය බලන්න, සින්දු අහන්න, පුස්තකාලයට බැඳෙන්න, එතකොට ලොකු මුදලක් වැය වෙන්නේ නෑ පොත් කියවන්න. ඒ වගේම තමයි හැමතිස්සෙම තියෙන පොත් එළිදැක්වීම් කලා උළෙලවල් බොහෝවිට නොමිලේ පවත්වන්නේ ඒවට ඇතුළුවීමේ ගාස්තු නෑ. ඒවට සහභාගි වෙන්න. කලාව වගේ මාධ්‍යයකට යොමු උනහම තමන් කරන වෘත්තිය මොකක් වුණත් හිතට මහා සැනසීමක් දැනෙනවා. අපි සර්ව සම්පූර්ණ මිනිස්සු නෙවෙයි මේ අපිටත් තරහ යනවා දුක දැනෙනවා කම්පා වෙනවා රැවටෙනවා අතහැරෙනවා අත්හරිනවා …

ඉතින් මොනවද කරන්නේ ? ලෝකේ කොයි අත පෙරලුනත් අචල අකම්පිත මනසක් හදාගන්න ඕනේ. තමන්ගේ කියලා එළිය ඇති ලෝකයක් තමන්ට හදාගන්න ඕනේ. ඔබට පේනවා ඇතිනේ මේ මම පේජ් එකක් ලියනවා පොත් ලියනවා ජීවිතේ කතා ලියනවා. ඒ විතරක්ද රෝහලේ කතන්දර ආශ්‍රිතව මම සෞඛ්‍ය ගැන විවිධ පාඩම් කියා දෙනවා.

කිසිම මනුස්සයෙක්ට දුකක් නොදෙන්න කිසිම මනුස්සයෙක් රවට්ටන්නේ නැති වෙන්න කිසිම කෙනෙක්ව කම්පා නොකරන්න. කිසිම මනුස්සයෙක් ගේ මානසික අවපීඩනයට හේතුවක් නොවන්න අපේ හිත හදාගන්න පුළුවන් නං ඒකත් හොඳයි නේද ? ඉතින් දිසාගේ ඒ කතාවත් එක්ක ගොඩක් දුර කතා කරගෙන කරගෙන ආවා.

මං හිතනවා මං මේ හදිසියේ ලියලා දමන්න සටහන මේ වෙලාවේ යම්කිසි කම්පාවකින් ඉන්නවා නම් කවුරුන් හරි ඔවුන්ට සහනයක් වේවි කියලා

වෛද්‍ය බෝධිනි සමරතුංග

Leave a Reply

Your email address will not be published. Required fields are marked *