අනුන් නිසා තමන් නැසීම…

මේ සටහන මම ලියා තිබෙන්නේ වෛද්‍ය ශිෂ්‍ය අවධියේ… ඒ කාලේ මම බොහොම අත්දැකීම් අඩු කෙනෙක් ඒත් මා වටේ සිටි වැඩිහිටියන් ගුරුවරුන් ඔවුන්ගේ අත්දැකීම් නිරන්තරයෙන් අප සමග බෙදාගත්තා. ඒවන් අත්දැකීම් මට ලැබෙන්නේ දැන් ය.

විටෙක ඉවසා දරාගමි… විටක කළ කිරීම දුක ඉහවහා ගොස් හඬා වැටෙමි. අසීරුම කාලවල මා දරාගන්න සොයුරු සොයුරියන්ට වැඩිහිටියන්ට පින් දෙමි.

2008 ඔක්තෝම්බරයේදී….

සාමාන්‍යයෙන් ඕනේම සැත්කමකට පෙර එම සැත්කමේ ස්වභාවය සහ එහි , හොඳ සහ නරක ප්‍රතිඵල ගැන රෝගියා දැනුවත් කිරීම සිදුකරනවා. එහෙම කරලත් රෝගීන් ඇතැම්විට තමන්ට අවශ්‍ය ප්‍රතිඵල නොලැබුනු විට වෛද්‍යවරුන්ට දොස් කියනවා.

අපිට ඉගැන්වූ මහාචාර්‍යවරියක් තමන්ට සිදුවූ අකරතැබ්බයක් විස්තර කරමින් කියා සිටියේ, එක්තරා රෝගියෙක් ඇයට එරෙහිව නීති මාර්ගයට පිවිසීමට පවා තැත් කරමින් රෝහල් අධිකාරියට පැමිණිලි කර තිබුනේ, තමන්ව සැත්කමට භාජනය කරන විට වෛද්‍යතුමිය බොහෝ වෙහෙස මහන්සිව සිටිය බවක් කියමිනි. එනිසා සැත්කම අසාර්ථක වූ බවක් පවසමින් අවුරුදු ගාණක් මේ රෝගියා වන්දි ඉල්ලා නොයෙක් සංවිදාන ඔස්සේ පවා ඇයට කරදර කර තිබුනා. අවුරුදු ගණනාවක් තිස්සේ වරින් වර මෙලෙස තමන් පසු පස පන්නපු රෝගී කත අවසන මිය ගිහින් තිබුනා ඇයට ඇතිවී තිබූ පිළිකා තත්ත්වයෙන්.

ඇය අවසානයේදී පැවසුවේ

” මේ රෝගියා නිසා මම අප්‍රමණ ලෙස කරදරකාරී අවස්ථාවන්ට මුහුණ දුන්නත්, මගේ රැකියාව පවා අහිමිවීමේ අවධානමට ලක් වුනත් අවසානයේ මගේ නිවැරදිබව සියලු අවස්ථාවල ඔප්පු වුනා.

මේ රෝගියා, පිළිකාවකින් පෙලෙන්නියක්. ඒවගේම ඉතා පහත් ආර්ථික මට්ටමක් හිමි තැනැත්තියක් , ජීවිතේ අපමණ දුක් ගැහැට විඳින ඇතැමුන් හට අනුන් පෙලීමෙන් සහනයක් ලැබෙනවා.

තමන්ගේ කරදර අනුන් මත පැටවීමෙන්, තමන්ට සිදු වුන අකරතැබ්බ අනුන් නිසා සිදු වුන බව පැවසීමෙන් ඔවුන් ජීවිතයට සහනයක් ලබා ගන්නවා එනිසා ඇයට මෙවැනි දේවල් ඔස්සේ ජීවත් වෙන්න අරමුණක් ගොඩ නැගෙනවා. “

මහාචාර්‍යවරියගේ ඒ වචන සියල්ල මගේ සිත බොහෝ දුර සිතන්න යොමු කලා. එය කොයි තරම් ඇත්තක්ද කියලා මට හිතුනේ, හැම තිස්සෙම තමන්ට සිදු වුන දෑ, අනුන් නිසා සිදුවුන බව පෙන්වමින්, අනිත් අයට දෝස්මුර දමන අය මටත් නිතර මුණගැසී ඇති නිසාවෙනි. එදිනෙදා ජීවිත තුල අපටත් කොයි තරම් නම් මෙවැනි අවස්ථා වලට මුහුණ දෙන්න සිදු වෙනවාද ?

“ඔයා නිසයි / අරයා නිසයි/ මෙයා නිසයි – මට මෙහෙම උනේ…” කියලා අපි උනත් කියන අවස්ථා කොයිතරම් තියෙනවාද?

තමන්ට අවාසි සහගත යමක් සිදුවුන කල්හී බැණ වැදීමත්, එතෙක් මිතුරුව සිටි සියල්ලන් හට දොස් නැගීමටත් මිනිසුන් පෙළඹෙන්නේ කෙසේද කියා මට හිතා ගන්නවත් බෑ.

මම කිසිවෙක්ට එල්ල නොකරන තරම්, බොහොම ද්චේෂ සහගත චෝදනාවක් එල්ල වුනහම, ඉස්සරනම් එක පාර කලබල වෙන හිත දැන්නම් ටිකක් neutral.

මට කලින් ලියන්න අමතක වුණු කොටස තමා නැවත ඒ ස්ත්‍රියගෙන් තමන් ට වෙච්ච මානසික වෙහෙස ට කීර්ති නාමයට වෙච්ච නිගරුව ට නඩු දමන්න හැකි වුණත් මහාචාර්යවරිය ඒ කිසිත් නොකර ඒ ස්ත්‍රියට සමාව දෙනවා.

කර්ම කාරණා දිගින් දිගට පවත්වාගෙන යන්න එපා. එතනින් අත් හරින්න. ඔබ ඔබට කරගත්තා මං මට කරගත්තා කියලා අත් හරින්න. ඒ ක අමාරුම දෙයක් ඒත් හිතට සහනයක් !

මේ මධ්‍යස්ත ස්වභාවය ගැන මට වඩාත් හොඳින් වටහලා දුන්නේ මගේ දෙමාපියන් සහ වැඩිහිටි පිරිස. ඒ වගේම මම ඉහත සඳහන් කල කතාව සහ බුදු දහමේ අපට ඉගැන්වෙන මනා දහම් කරුණු ඇතුලත් බුද්ධ චරිතය ආශ්‍රිත පුවත් මේ හැම එකක්ම ජීවිතයට අපි ළං කරගත යුතු දෑ වශයෙන් මට වැටහෙනවා.

ඊළඟට මතක් වෙන්නේ රඩ්‍යාඩ් කිප්ලින්ග් ගේ IF නැමැති කාව්‍යයේ පළමු පද පෙල

“ඔබ අවට සියලු දෙන තමන්ගේ හිස අවුල් කරගෙන එහි දොස් ඔබට පවරද්දී ඔබට තම හිස අවුල් නොකරගෙන සිටිය හැකිනම්…”

“The body is a wisdom tree – the mind a standing mirror bright
At all times diligently wipe it – and let no dust alight ” ~ Shen Hsiu (verses from zen Buddhism)

ඔව්, එල්ලවන බාධක මම දකින්නේ, මගේ සිත පරික්ශාවට ලක් කරන, අවස්ථාවන් හැටියටයි. වඩා දුෂ්කර අවස්ථාවන් වලදී සිත නිරවුල්ව තබාගෙන නොනැවතී ඉදිරියට යාමට අවැසි ශක්තිය නිරතුරුව ලැබෙන්නේ එහෙයිනි.

ගොරව ගොරවා වැසි වැටෙයි
ඒත් මගෙ හිත නිශ්චලයි
මහ තදින් සුළඟත් හමයි
නිශ්චලයි සිත නිශ්චලයි
රුදුරු වදනින් මට තලයි
නේක ගර්ජන මට එවයි
ඒ කිසිත් මා නොම දකියි
සැදුනු සිත ඉවසයි දරයි !

-බෝධිනී සමරතුංග

වෛද්‍ය බෝධිනි සමරතුංග (වෛද්‍ය ශිෂ්‍ය කාලයේ ලියූවකි…)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *