කතන්දරම කියා දෙන්න කියන්නේ ඒකයි !

මට හිතුනා ළමා සාහිත්‍යය සහ ළමයින්ව සාහිත්‍යයට යොමු කිරීම කියන අපට තියෙන ප්‍රබලම අභියෝගය ගැන කතා කළ යුතුයි කියලා.

අපේ රටේ මේ වෙනකොට සංවේදී මිනිස්සු දකින්න ලැබෙන්නේ හරි අඩුවෙන්. අනෙකාගේ අමාරුකම් කෙරෙහි හෝ අනෙකාගේ දුබලතා, දුර්වලතා කෙරෙහි සංවේදී වෙන මිනිස්සු අපිට නැති වෙලා තියෙනවා. මේ අපේ සමාජයේ රටේ පැවැත්මේ තියෙන ප්‍රබලම මරු පහර ලෙස අපි දකින්නේ මෙන්න මේ දේ.

අපි කුඩා කාලයේ නම් අපි එතරම් ජන මාධ්‍ය හෝ තාක්ෂණික මෙවලම් සමග ගැටුණු පිරිසක් නෙමෙයි නමුත් අද දරුවන්ට පහසුවෙන් මාධ්‍යය සහ ඒ ආශ්‍රිත උපාංග පහසුවෙන් ළඟා කරගැනීමේ හැකියාව තිබෙනවා එහෙත් ඔවුන් සෞන්දර්‍යාත්මක , සංවේදී මිනිසුන් බවට පත් වීම අඩු වෙලා තියෙනවා.

එහෙම අපි කතා කරද්දී ඇමෙරිකාව එංගලන්තය වගේ රටවල් පර් යේෂන කරනව අපේ ළමා පරපුර මේ ගැටළුවෙන් මුදවාගන්නේ කියලා, උදාහරණයකට කිව්වොත් අපි කොහොමද නිර්මාණශීලී දරුවෝ මේ ලෝකෙට බිහි කරගන්නේ කියලා. සමාජයේ සාර්ථක මිනිසුන් ලෙස වැඩදායක මිනිසුන් ලෙස වගකීම් දරනවිට නිර්මාණශීලි බව මෙන්ම සහකම්පනය සහවේදනය සංවේදී වීම කියන කාරණා වැදගත් වෙනවා.

ඒක සහජ කුසලතාවය හෝ ඉබේ එන දෙයක් කියලා ලඝු කරලා පැත්තකට කරන්න බෑ. විශාල වගකීමක් තියෙනවා අපේ වැඩිහිටි පරම්පරාවෙන් විශේෂයෙන්ම අම්මට තාත්තට , දරුවන් මේ කෙරෙහි උනන්දු කරන්නට.

ජෝන් එස්. හටන් කියන ළමා රෝග විශේෂඥ වෛද්‍යවරයා පර් යේෂනයක් ප්‍රකාශයට පත් කරනවා. (ලින්ක් එක පහළ ඇත). ඔහු මේ සඳහා යොදා ගන්නා දරුවන් 19 දෙනාගෙන් 40% අඩු ආදායම් ලාභී දරුවෝ. ඒ දරුවොන්ට ඔවුන් සුරංගනා කතා කියද්දී ඒ දරුවොන්ගේ මොළයේ ඇති වෙන වෙනස්කම් ඔවුන් බලලා තියෙනවා මේ පර් යේෂනයෙන් , දෙමාපියන් කුඩා කල සිට කතන්දර කියලා දෙනවානම් ඒ දරුවොන්ගේ මොළයේ වෙනස් කම් ඔවුන් මෙහිදී පැහැදිලිව දැකලා තියෙනවා.

දරුවෙක් අකුරක් කියවන්න ඉගෙන ගන්න කළින් සංඥාවක් රූපයක් හෝ ඉගෙන ගන්න කළින් ඉඳන් දෙමාපියන් දරුවෙක්ට කියාදෙන දේ තුලින් දරුවන්ගේ මොළයේ විශාල බලපෑමක් ඇති කරනවා කියලා ඔවුන් පරීක්ෂණ වලින් හොයාගෙන තියෙනවා.

අපේ රටේ අපේ අම්මලා තාත්තලා අත්තම්මලා සීයලා ඔවුන්ගේ ආභාෂයෙන්, දරුවන්ට ගහකොළ මල් පෙන්වලා කවි කතන්දර කියලා දරුවන්ට කුඩාකාලයේ ඉඳන් සෞන්දර් යය විඳින්න හුරු කළා. ඒත් අද අම්මලා තාත්තලා දරුවොන්ගෙන් ඈත්වෙලා මෙවලමක් අතට දෙනවා. මම මේ හට්න් ගේ පරීක්ෂනය මෙතැනදී කියන්න හේතුවුනේ, ළමා සාහිත්‍යයක්, ළමයින්ව කියවන්න ලියන්න පුරුදු කරන්න අවශ්‍ය බව කියන නිසයි.

නිර්මාණකරනයේ යෙදෙන්න පරිකල්පන ශක්තිය කියන දේ අවශ්‍යයි. පොතක් පතක් කියවද්දී අකුරු කියවද්දී, ළමා මනසේ පරිකල්පන ශක්තිය වැඩිවෙනවා කියන එක කියනවා. පරිකල්පනය තුලින් තමා සොඳුරු සෞන්දර්‍යාත්මක වටිනාකමින් යුත් නිර්මාණ කරන මිනිසුන් බිහිවෙන්නේ. එහෙම මිනිසුන් විනාශයක් ළඟා කරන්නේ නෑ කියා ඔවුන් කියනවා. එතකොට අපි ඇත්තටම කලාකරුවෝ කියා හඳුනාගත් පිරිස් අන් අය කෙරෙහි සංවේදී සොඳුරු මිනිසුන් විය යුතුයි නේද ?

පොඩි කාලේ ඉඳන් අම්මලා තාත්තලා තමන්ගේ දරුවන්ට සුරංගනා කතා කියලා දෙන විට දරුවන්ගේ මොළයේ තිබෙන රූප ශබ්ද භාෂා කියන මේ තැන් ගැන වගකියන කොටස් ඉතා දැඩි දීප්තියකින් පෙන්නුම් කරලා තියෙනවා ඒකෙන් කියන්නේ ඒ තැන් ක්‍රියාත්මකයි හෝ වැඩ කරනවා කියන එක. එතකොට මම මෙතනදි මුලින්ම කියන පණිවිඩය තමයි නිර්මාණශීලී දරුවෝ බිහිවෙන්නනම් ඔබලාගෙන් සියයට සියයක් ඔබේ සහය අවශ්‍යයි. මේ දරුවන්ගේ දක්ෂතා වැඩි දියුණු කරන්න ඔවුන්ව සංවේදී දරුවෝ කරන්න , ඔවුන්ට හැකි තරම් කතන්දර කියන්න. තිර වලින් , ස්ක්‍රීන් එකෙන් මුදවන්න කියන එක.

අයින්ස්ටයින් කියා තිබෙනවා ඔබට ඔබේ දරුවා බුද්ධිමතෙක් කරන්න උවමනානම් සුරංගනා කතා කියවන්න කියන එක

ළමා පරපුර තමයි මතු දාක වැඩිහිටියන් ලෙස සමාජය බාර ගන්න ඉන්නේ. ඔවුන් සෞන්දර්‍යාත්මක චින්තනයන්ගෙන් ඈත්වෙලා ස්ක්‍රීන් එකක් ඉස්සරහ ගාල නොවිය යුතුයි කියලා වෛද්‍ය විද්‍යාත්මක හේතුත් සමග පැහැදිලි කළ පර්යේෂන ඕනෑ තරම් අන්තර්ජාලය තුලින් හමුවෙනවා.

ඒත් අපේ දෙමාපියන් ලේසියට තමන්ගේ ජංගම දුරකථනය දරුවාට දෙනවා. මොළයට ඉන් සිදුවන හානිය යම් මත්වන ද්‍රව්‍යවලින් සිදුවන ඇබ්බැහිය හා සමානයි.

නිර්මාණකරනයේ යෙදෙන්න පරිකල්පන ශක්තිය (Imagination) කියන දේ අවශ්‍යයි. අන්න ඒ පරිකල්පන ශක්තිය කෙනෙක් තුල ඇතිවෙන්නේ , කුඩා කළ සිටම තියුණු වූ, හැඩගැස්වීමට ලක් වූ, නොයෙක්, සමාජීය සෞන්දර්යාත්මක දෙයින් පෝෂණය වූ මනසක් තුලින්.

දරුවෙක්ට පොතක් කියවීම තුලින්, කතන්දරයක් කීම තුලින්, ලැබෙන විඳීම සහ සංවේදනා , තිරයක් මත කාටූන් එකකින් හෝ චිත්‍රපටයකින් ලැබෙන්නේ නැතිව යනවා. ඒක වෙන්නේ මෙහෙමයි. අපේ මොළේ කියන්නේ බොහොම සංකීර්ණ දෙයක්. නිරන්තරයෙන් ඉගෙනීමට සහ මතක තබා ගැනීමට ලක්වෙනවා. සමාජයේ අසන දකින දේවල් වලින් පෝෂනය වෙනවා. පොතක් කියෙව්වම, ඒ අකුරු ඔස්සේ දරුවා හිතේ කතාව හදා ගන්නවා, දරුවෙක්ගේ හිතේ චිත්ත රූප මැවෙනවා, ඒ අකුරු ඔස්සේ මොළය තුල රූප මවාගෙන කතාව කියවනවා.

අද සමාජයේ තියෙන ආකල්ප නිසා අපේ දරුවෝ සෞන්දර්‍යයට , නිර්මාණකරනයට යොමු කිරීම අපහසුම කාර්යයක් වෙලා තියෙනවා.

අපි එකිනෙකාගේ අප තුල තියෙන අපට කරන්න පුළුවන් ප්‍රමාණය වෙනස් අපේ හැකියාවන් වෙනස්. ඒවා එක්ක ඉදිරියට යන්න අපේ දරු පරපුරට අපි උදව් වෙමු. ඒවගේම අපේ මාධ්‍ය ඔස්සේ ඔවුන්ට ඉඩකඩ ලබා දීලා ඔවුන් හට නිර්මාණකරනයේදී ලැබිය යුතු සහය ලබා දීම වැඩිහිටි පරම්පරාවේ වගකීම බවත් මතක් කළ යුතුමය.

සමාජයට වැඩ දායක සංවේදී සොඳුරු නිර්මාණකරුවෙක් සොඳුරු මිනිසෙක් බිහි කරන්නට, දරුවා තුල තිබෙන සහජ කුසලතා හඳුනාගන්නට, මේ හැල්මේ දිවයන අධ්‍යාපන තරඟයෙන් මදකට මිදෙන්නට අවකාශයක් ලබා දෙන්නට හැම අම්මෙක්ටම තාත්තෙක්ටම හැකි වේවා යැයි පතමි.

වෛද්‍ය බෝධිනී සමරතුංග

(කොපි කර නැවත බෙදාගන්න එපා ! මේ සටහන් ෆේස් බුක් එකේ Bodhini Samaratunga නමින් ඇති මගේ පිටුවෙන්ද බෙදාගෙන තියෙනව. ඉතින් මේවා නැවත නැවත කොපි කරමින් ඔබේ පිටු පුරවන්න එපා යැයි කාරුණිකව ඉල්ලා සිටිනවා. ඒත් ඔබට බෙදාගැන්මට අවශ්‍ය නම් මේ වෙබ් පිටුවේ ලින්ක් එක බෙදා ගන්න! )

එම පර් යේෂණ පත්‍රිකා –

Hutton, J. S., Horowitz-Kraus, T., Mendelsohn, A. L., DeWitt, T., Holland, S. K., & C-Mind Authorship Consortium. (2015). Home reading environment and brain activation in preschool children listening to stories. Pediatrics136(3), 466-478. https://doi.org/10.1542/peds.2015-0359

John S. Hutton, Kieran Phelan, Tzipi Horowitz-Kraus, Jonathan Dudley, Mekibib Altaye, Tom DeWitt, Scott K. Holland,. Shared Reading Quality and Brain Activation during Story Listening in Preschool-Age Children,
The Journal of Pediatrics, Volume 191, 2017, doi: 10.1016/j.jpeds.2017.08.037

Hutton, J. S., Dudley, J., Horowitz-Kraus, T., DeWitt, T., & Holland, S. K. (2020). Associations between screen-based media use and brain white matter integrity in preschool-aged children. JAMA pediatrics174(1), e193869-e193869. doi:10.1001/jamapediatrics.2019.3869

One thought on “කතන්දරම කියා දෙන්න කියන්නේ ඒකයි !

  1. මේ කියන දේවල් එක්ක 100% එකඟයි. අපි ලමයි පොඩි කාලේදි මැටිඅනන්න, වැලි එක්ක සෙල්ලම් කරන්න කියනවා, ඒ ලමයිගෙ ඇඟිලි වල චලන හැකියාවන් වැඩි දියුණු වෙන්න. ඒත් දැන් කාලේ ඒවට ඉඩ දෙන්නෙ නෑ වැඩිහිටියන්ම්..ඒ වගේම ටිවී ෆොන් දිහා බලන් ඉදලම දැන් කාලේ ලමයි කතා කරන්න ගන්නෙත් පහු වෙලා කියලා මට හිතෙනවා…ලමයින්ගේ හැගීම් ප්‍රකාශ කිරීම දුර්වල වේගෙන යනවා..

    ආපසු හැරිලා බලද්දි මට දැනෙන දෙයක් තමයි වැඩිහිටියෙකු වශයෙන් මා තුල තියෙන ඇතැම් ගුණාංග වලට හේතුව පොඩි කාලෙදි අහපු දැකපු දේවල් කියලා…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *