සුවපත් වෙන්න ඉඩ අරින්න…

තුවාල වෙච්ච මිනිස්සුන්ට පාඩුවේ සුවපත් වෙන්න අපි ඉඩ අරින්න ඕනේ. 

මේ බව මට හිතුණේ ගෙවී ගිය දින කිහිපය තුළ මුහුණු පොතේ දැකපු එක්තරා සිදුවීම් ද්විත්වයක් නිසා. ඉන් එකක්, මහා සිදුවීමක්. අනික, විශාලමත් නොවුණු නමුත් එතරම් කුඩාත් නොවුණු සිදුවීමක්. සිදුවීම් දෙකේ අලගිය මුලගිය තැන් ගැන විස්තර කරන්න මම සූදානම් නැහැ. මොකද එවැනි විස්තර කිරීමක් අවශ්‍යත් නැහැ. අවශ්‍ය වන්නේ මෙපමණයි…

“තුවාල වෙච්ච මිනිස්සුන්ට පාඩුවේ සුවපත් වෙන්න අපි ඉඩ අරින්න ඕනේ.” කියන පාඩම වටහා ගැනීම පමණයි. 

රූස්ස ගස් වගේ ජීවත් වෙලා හිටි හැටියේම කඩාගෙන වැටෙන්න සිද්ධ වෙන මිනිස්සුන්ට තමයි ඛේදනීයම තුවාල හිමි වෙන්නේ කියලා මම හිතනවා. ඉතාම ශක්තිමත් මනෝභාවයක් සමඟ දිගු කලක් පුරා ජීවිතයට ජයග්‍රාහීව මුහුණ දීලා හදිසියේම දරුණු මානසික බිඳ වැටීම්වලට ලක් වෙන මිනිස්සුන්ට තමයි වේදනාත්මකම තුවාල හිමිවෙන්නේ කියලා මම විශ්වාස කරනවා. මුළු ලෝකයම ඔවුන්ව දැකලා තියෙන්නේ ඉතාම ධෛර්‍යසම්පන්න පෞරුෂත්ව දරන්නන් විදිහට. ඒ නිසාම, තමන්ගේ දුර්වලතම හෝරාවන් ලෝකයට නිරාවරණය කරන්න ඔවුන් දුර්මුඛ වෙනවා. ඔවුන් තුළ තියන අභිමානය ඔවුන්ව වළක්වනවා. ඒ නිසාම තමන්ගේ වියවුල් සමඟ හුදෙකලා වීම ඔවුන් අතින් අනායාසයෙන්ම සිද්ධ වෙනවා. මනස අභ්‍යන්තරයෙන් මුළුමනින්ම ඇද වැටිලා හිටියත් ලෝකය ඉදිරියේ ශක්තිමත්ව පෙනී සිටින්න ඔවුන් උත්සාහ කරනවා. මේ කර්තව්‍යය හරිම දුෂ්කරයි; වෙහෙසකරයි. 

අභිමානවත් ජීවිත ගතකරපු මෙවැනි මිනිස්සු අන්ත අසරණභාවයට පත් වෙලා තිබෙන බව සමහරවිට අපිට පෙනෙන්නේ නැහැ. නමුත්, තවත් සමහර වෙලාවට අපිට ඒ බව ඉතාම සියුම් ලෙස පෙනෙන්න ගන්නවා. ඔවුන්ගේ හැසිරීම් රටා සහ ඔවුන්ගේ කතාබහ තුළ තිබෙන සියුම් වෙනස්කම් අපිට ගෝචර වෙනවා. සමහරවිට ඔවුන් පෙරට වඩා නිහඬ වෙනවා. සමහරවිට ඔවුන් පෙරට වඩා ඝෝෂාකාරී වෙනවා. තවත් සමහරවිට ඔවුන් තමන් තුළ තිබෙන මානසික පීඩාව විටින් විට ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරනවා. නමුත් ඒ අතරම තමන්ගේ සුපුරුදු ශක්තිමත්භාවය නිරූපණය කරමින් ජීවත් වෙනවා. 

මේ ආකාරයට තුවාල වෙලා ඉන්නේ අපේ ආදරණීයයෙක් නම්, ඔහු/ඇය පියවි තත්වයට ගන්න අපි ස්වාභාවයෙන්ම ඇප කැප වෙනවා. ඔවුන්ව සුවපත් කරගන්න අපි අපට කළ හැකි ඕනෑම දෙයක් සිදු කරන්න පෙළඹෙනවා. ඔවුන්ට සවන් දෙනවා. ඔවුන් ගැන සොයා බලනවා. ඔවුන්ව හුදෙකළා නොකරන්න වග බලා ගන්නවා. කොටින්ම, ඔවුන් ගැන පරීක්ෂා වෙනවා. මෙන්න මේ සුවිසල් හැඟීමට අපි ‘ආදරය’ කියලා කියනවා. 

නමුත්, සිත් තැවුලකට ලක් වෙලා ඉන්නේ අපේ වෛරයට හෝ පිළිකුලට බඳුන් වෙච්ච කෙනෙක් නම්? ඔහු/ඇය අතීතයේදී අපට කොතෙකුත් අරියාදු කරලා තියනවා නම්? ඔවුන් නිසා අපි අන්ත දුෂ්කර කාල පරිච්ඡේද ගෙවලා තියනවා නම්? ඔවුන් ඉතාමත් නිර්දය විදිහට අපව මානසික පීඩාවට පත් කරලා තියනවා නම්? ඔවුන්ගේ පැරණි හැසිරීම් රටාවල ගැබ් වුණු අහංකාරය සහ ආත්මාර්ථය අපව රිදවලා තියනවා නම්? ඔවුන්ගෙන් අපි ලබපු නින්දා, අපහාස, සමච්චල් නිසා අපි තුළ තවමත් නොමැකෙන තුවාල කැළැල් ඉතිරිවෙලා තියනවා නම්? අතීතයේදී අන්න ඒ ආකාරයට හැසිරුණ පුද්ගලයෙක් වර්තමානයේදී අඳුරු මානසික ඝට්ටනයක හිර වෙලා සිටින බව අපට පෙනෙනවා නම් අපි කළ යුත්තේ කුමක්ද? 

සරලයි… 

අතීතයේදී අපව තුවාල කරපු සහ වර්තමානයේදී තුවාල වෙලා ඉන්න මිනිස්සුන්ට පාඩුවේ සුවපත් වෙන්න අපි ඉඩ අරින්න ඕනේ. ඔවුන්ගේ තුවාලවලට එක ලුණු බිඳුවක්වත් අපේ අතින් නොවැටෙන බවට අපි වග බලා ගන්න ඕනේ. ඔවුන්ගේ තුවාල තව තවත් පෑරෙන වචනයක් හෝ ක්‍රියාවක් අපේ අතින් නොවෙන්න අපි ප්‍රවේශම් වෙන්න ඕනේ. ඔවුන්ව වැළඳගන්නවත්, ඔවුන්ව සිඹ සනසන්නවත් හැකි තරමට අපේ හදවත් විශාල සහ උණුසුම් නොවුණාට කමක් නැහැ. නමුත්, ඔවුන් අප තුළ ඇති කළ ගැඹුරුතම තුවාලයේ හිලව්වට පවා අපේ අතින් කුඩාම කෙනිත්තීමක් හෝ ඔවුන්ට නොවෙන තරමට අපේ හදවත් විශාල සහ උණුසුම් වෙන්න ඕනේ. මෙන්න මේ සුවිසල් හැඟීමට අපි ‘කරුණාව’ කියනවා. 

අපට තුවාල නොකරපු මිනිස්සු තුවාල වුණාම ඔවුන්ට සුවපත් වෙන්න සහය වීම ශ්‍රේෂ්ට මානව ගුණයක්. නමුත්, අපට තුවාල කරපු මිනිස්සු තුවාල වුණාම ඔවුන්ට සුවපත් වෙන්න සහය වීම වඩාත් ශ්‍රේෂ්ට මානව ගුණාංගයක්. 

විශ්වාස කරන්න… 

බිඳ වැටුණු කොකෙක් ඉදිරියේ තමන්ගේ වාරය ලබා ගන්න උත්සාහ කරන තිත්තයෙක් වෙනවාට වඩා යහපත් ජීවිතයක් අපිට ගෙවන්න පුළුවන්. 

-අමාවි සිල්වා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *