කිරි ප්‍රශ්න

අලුත් රාජකාරියේ කොටසක් විදිහට රෝහලේ අනෙකුත් වාට්ටු වල ඉන්නා, වෙනත් අසනීප වලට ප්‍රතිකාර ගන්නා එහෙත් මානසික ප්‍රතිකාර/උපදේශනය අවශ්‍ය රෝගීන් වෙත කරන යොමු කිරීම් හෙවත් ‘රිෆරල්’ බලන්නට යන්නට සිදුවෙනවාය. ඒ අතර ළඟදී දරුවන් ලැබූ අම්මලා ඉන්නා පසු ප්‍රසව වාට්ටු වලින් සිදු කරනා යොමු කිරීම් සෑහෙන ගණනක මූලය ‘කිරි ප්‍රශ්න’ ය.

බිළිඳාට දෙන්නට ඇති තරම් කිරි නැති වීම, කිරි තිබුණද බිළිඳා කිරි ප්‍රතික්ෂේප කිරීම හා සමහර විට පුහුණුවක් නැතිකම නිසාවෙන් දරුවාට කිරි පොවාගන්නට අපහසු වීම නිසා හැඬූ කඳුලෙන් පසුවන මව්වරුන් ගණනාවක් සීමාවාසික සමයේ සිට මේ වන තුරු දැක ඇත්තෙමි.

තමන්ගේම සෛලයකින් වැඩීම ඇරඹී මාස නවයක් තිස්සේ තමන්ගේම ශරීරයේ කොටසක්ව හැදුණ දරුවා හට පෝෂණය ලබා දෙන්නට පෙර කී ශරීරයම අසමත් වීම අලුත් මව් කෙනෙකුට විශාල මානසික පීඩනයක් ඇති කරන්නේය.

‘අයිඩියල් වර්ල්ඩ් එකක’ හෙවත් සියල්ල අකුරටම සිදු වන ලෝකයක නම් කුස තුල සිටින මාස නවය ඇතුළතදී හරියටම කිරි බොන්නේ මෙහෙමයැයි කියා දරුවාටද, දරුවාගේ අවශ්‍යතාවයනට මුහුණ දෙන්නේ මේ විදිහට යැයි අම්මාටද ට්‍රේනින් එකක් ලැබිය යුතුය.

එහෙත් මේ ලෝකය තියෙන්නේ අයිඩියල් ලෝකයකින් බොහෝ ඈත් වන්නට නිසා තැත වරද ක්‍රමය හරහා දරුවාට අම්මාත්, අම්මාට දරුවාත් හුරු වන්නට, එකිනෙකාගෙන් ඉගෙන ගන්නවා හැරෙන්නට වෙන ක්‍රමයක් නැති වේය.

දරුවාට කිරි මදි වීම තමාගේ පුද්ගලික වරදක් ලෙස දකිමින් පසුතැවිලි වන, ඒ තැවිල්ල විශාදය දක්වා දිවෙන මවුවරුන් ඇතිවෙන්නේ තම දරුවා වෙනුවෙන් වූ ආදරයෙන් මෘදු වූ හදවත ඉහත කරුණ තේරුම් ගන්නට ප්‍රතික්ෂේප කරන විටය.

. මේ ‘mom guilt’ එකට වයසක්, අධ්‍යාපන සීමාවක්, බුද්ධි මට්ටමේ වෙනසක් නැති බවය මාගේ පෞද්ගලික අදහස. පාසලේ ප්‍රාථමිකයට පමණක් ඉගෙන ගත් අම්මලා මෙන්ම මාගේ උගත්, වෛද්‍ය මිතුරියන් සැලකිය යුතු ගණනක් ඔය කී කිරි ප්‍රශ්න නිසා පීඩාවට පත්වනු දැක ඇත්තෙමි.

මව් කිරි ප්‍රවර්ධනය කිරීම සඳහා විශේෂ වැඩසටහන් මාලාවක් අප සෞඛ්‍ය සේවය තුළට අන්තර්ග්‍රහණය වී ඇත. ඒ හරහා ලෝකයේ මව්කිරි වලට මුල් තැනක් දෙන රටවල් අතර මුල් තැනක රැඳෙන්නට ශ්‍රී ලංකාව සමත් වී සිටියි. තම පෞද්ගලික වාසි තකා පිටි කිරි ප්‍රවර්ධනය කරනා බහුජාතික සමාගම් බොහොමයක අතපෙවීම් මැද්දේ කුඩා රටක් ලැබූ ඒ ජයග්‍රහණය සුලුකොට තැකිය නොහැක.

එහෙත්, බොහෝ හොඳ දේවල් වාගේම මව් කිරි ‘ඕනෑවට වඩා ලොකු කර ගන්නා විට’ ප්‍රශ්න ඇතිවන බැව් මට හෙමින් වැටහෙන්නට පටන් ගෙන තිබේ. තම දරුවාට මව් කිරි දීමට හැකිවීම තමා ලද පෞද්ගලික ජයග්‍රහණයක් ලෙසටද, විවිධ හේතූන් නිසා එසේ තම කිරි දරුවාට දෙන්නට බැරි වෙන මව්වරුන් පරාජිතයන් ලෙසටද දකිනා පරපුරක් ඇතිවීම එහෙම එක් පරාජයකි.

“හපෝ, කිරි නැද්ද? මට නම් පුතා හම්බුණ දවසෙ ඉඳන් ඇති වෙන්න කිරි එරුණ..”

“බබාගෙ බර අඩු වෙලා නේද? කිරි දෙන්නෙ නැද්ද?”

“හපෝ ඒ කෙල්ලට ළමයට කිරි ටික දීගන්න තේරෙන්නෙ නෑ”

ඔය විදිහට අන්තයට ගිය ඈයින්ගේ මුවෙන් පිටවෙන්නට පුලුවන් වචනය.

දරුවෙකු ලැබීමේ හා ඔහු බලා කියා ගැනීමේ අතිශය ශාරීරික හා මානසික වෙහෙස මතට ඉහත විදිහේ ප්‍රකාශයක් ඇසුණවිට එය කෙතරම් මානසික පීඩනයක් විය හැකිදැයි මදකට උපකල්පනය කර බලන්න.

ඔබ කෙතරම් පිළිගන්නට අකමැති වුවද දරුවෙක් දෙන්නෙක් හෝ පස් දෙනෙක් හදා කිරි දුන් පමණින්ම කෙනෙකු දරුවන් සම්බන්ධ සියලු මාතෘකා පිළිබඳ expert කෙනෙක් නොවන බැව් මෙය කියවන හුදී ජනයාට ආදරයෙන් මතක් කරන්නට කැමැත්තෙමි.

කිරි මදි හෝ කිරි එන්නේ නැති නම් ඒ සඳහා බොහෝ පිළියම් මා අර මුලදී කියූ මව්කිරි ප්‍රවර්ධන වැඩසටහන් හරහා අප සෞඛ්‍ය පද්ධතිය තුළ ලබා දී තිබේ.

ඔබ රෝහලෙන් පිටවී ගිය පසුව වුවද දරුවාගේ කිරිබීම ගැන සෑහීමකට පත් නොවේ නම් තම ප්‍රදේශය බාර පවුල් සෞඛ්‍ය සේවා නිළධාරිණිය වෙත දුරකතන ඇමතුමක් ලබා දීමෙන් ඇගේ උපකාරය ඔබට ලබාගන්නට හැකිවනු ඇත. එසේම මව් කිරි දීම පුහුණු කිරීම සඳහා විශේෂ lactation management centers හා ඒ සඳහා පුහුණු නිළධාරීන් වෙත ආපහු එන්නට රෝහලේ දොරටු ඔබ වෙනුවෙන් විවෘතව පවතී. සියලු ප්‍රතිකර්ම අවසනත් දරුවාට කිරි ප්‍රමාණවත් නැතිනම් පරීක්ෂා කටයුතු වලින් පසුව ආරක්ෂාකාරී සුදුසු කිරි ආදේශකයක් වෛද්‍යවරයා විසින් ඔබේ දරුවා වෙත නියම කෙරෙනු ඇත.

දරුවාට මව් කිරි අජීර්ණ හෝ ආසාත්මික වන අවස්ථා , මව දැඩි සත්කාර ඒකකයේ සිටීම හෝ විශේෂ ඖෂධ ලබාගැනීම, adoption process එකකදී ආදී අවස්ථා මෙසේ කිරි ආදේශක ගන්නට සිදුවන වෙනත් අවස්ථා විය හැකිය. ඒ මව්වරුන් සිය කිරි දරුවාට ලබා දෙන මව්වරුන්ට වඩා තත්වයෙන් පහල බැව් එයින් අදහස් නොවේ.

ඉදින් කිරි ප්‍රශ්නයක් නිසා පීඩාවට පත්ව ඉන්නා මවක මුණ ගැසුණහොත් ඉහත ආකාරයේ ප්‍රකාශ සිදු කොට තැලී ඇති ඇගේ හිත තවත් නොතලා ඇයට ආදරය කරුණාව දෙන්නටත්, ඇයට සුදුසු උපදෙස් ලැබෙනා සෞඛ්‍ය පද්ධතිය වෙතට ඇයව යොමු කරන්නටත් කියා ලියා තබන්නෙමි. Make sure that the new mom knows that she is loved too, while giving love to the new baby!

එහෙම වුවහොත් හෙට දවසේදී ගඟේ ගිය කිරි මුට්ටිය ගැන හිතමින් වැළපෙන අම්මාවරුන් හා කිරි නැතිව කුසගින්නේ නැළවෙන්නට වෙන දරුවන් ගණන කිහිපයකින් හෝ අඩු වෙනවාට සැකයක් නැත.

වෛද්‍ය උදාරා පුන්නමි අමරසිංහ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *