ආබාධිත ප්‍රජාව හා පුරවැසි වගවිම

ශ්‍රී ලාංකික ජනගහනයෙන් මිලියනයක් පමණ ප්‍රමාණයක් ආබාධිත යැයි සැලකේ !

මේ ලියැවිල්ලට මූලික වෙන්නේ බටහිර රටවල් තුළ මිනිස් සමාජය තුළ ආබාධ වලට ලක් වූ අය කෙරෙහි ඇති සංවේදී භාවය පිළිබඳ හැදෑරීමක් සහ සාකච්ඡාවකින් පසුව ය.

අපි මුලින් ආබාධිත පුද්ගලයා යනුවෙන් වර නගා ඇති පුද්ගලයා කවරෙක් දැයි විමසා බලමු .

දෘශ්‍යාබාධිත ශ්‍රව්‍යාබාධිත මන්ද මානසික හෝ ශාරීරික හෝ මානුෂික හැකියාවන්ගේ ඌනතාවයන්ගේ ප්‍රතිඵලයක් වශයෙන් ජීවිතයේ අවශ්‍යතාවයන් මුළුමනින්ම හෝ කොටස් වශයෙන් හෝ තමා විසින් තමා සඳහා ම ඉටු කර ගැනීමට නොහැකි තැනැත්තෙකි. ඒ ආබාධිත බව පිළිබඳ වු විද්‍යාත්මක විග්‍රහයයි.

එම විග්‍රහයට අනුව ආබාධිත භාවයේ ප්‍රභේදයන් අපි හඳුනා ගනිමු .

  • දෘශ්‍යාබාධිත/
  • ශ්‍රව්‍යාබාධිත/
  • සෙමෙන් මනස වැඩෙන / මන්ද මානසික / බුද්ධි ඌනතා
  • ශරීර අංගයන්ගේ හෝ ශාරීරිකව දුබලතා ඇති ප්‍රජාවන්

එවන් තත්වයක් යටතේ තිස් වසරකට අධික ව මෙරට පැවති සිවිල් යුද්ධය හේතුවෙන් විවිධ වු ආබාධයන්ට ගොදුරුවුවන් වත්මන වන විට වැඩිහිටි තත්වයට පත්වීම හේතුවෙන්, දෛනික ව ආබාධිත ප්‍රජාවට එක් වන ප්‍රතිශතය බෙහෙවින් වැඩිවීමක් පෙන්නුමි කරමින් පවතී.

එලෙස ආබාධිත තත්වයට පත්වන අය සේම උපතේ සිට ආබාධිත තත්වයට ලක්වූ ප්‍රජාව වත්මන් ආර්ථික හා දේශපාලනික අර්බුදයන් තුල වින්දිත ප්‍රජාවක් බවට පත්ව තිබීම සැලකිල්ලට බඳුන් කළ යුතු කරුණකි.

කරුණු එසේ වුවද අප රටේ උත්තරීතර නීතිය වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අනුව 1996 අංක 28 දරණ ආබාධිත තැනැත්තන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ පනතක් සම්මත ව ඇත.

එම පනත අනුව සහජයෙන් ම ඇතිවූ හෝ මෙම පනත ප්‍රකාරව ආබාධ සහිත තැනැත්තෙකුට හෝ තැනැත්තියකට තමාගේ ආබාධිත බව හේතු කොට ගෙන යම් අවස්ථාවකදි නීතියේ රැකවරණය අහිමිව යෑමක් සිදුවුවහොත් තම අයිතීන් උදෙසා ඉල්ලීමක් කිරීමට තමා පදිංචිව සිටින ප්‍රදේශයේ මහා අධිකරණයට ලිඛිත පෙත්සමක හා දිව්රුම් පෙත්සමක මාර්ගයෙන් අවස්ථාව හිමි කොට ඇත.

තවද මෙම පනත යටතේ පිහිටුවා ඇති ආබාධිතයන් පිළිබඳ ජාතික සභාව තුලින් ද ආබාධිත වූවන්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමට පියවර ගෙන ඇත. එමෙන්ම ආබාධිත සංවිධාන ලියාපදිංචි කිරීම ද මෙම පනත යටතේ සිදුවේ.

එලෙස කරුණු සැලකිල්ලට භාජනය කිරිමේදී ආබාධිත ප්‍රජාවන්ගේ සුබ සිද්ධිය තකා ජාත්‍යන්තර නීති අනුගමනය කරනු ලබන රාජ්‍යයක් ලෙස මෙරට ද පිළිගැනීමට බඳුන්ව ඇත.

පරිපාලනමය හා නෛතික කරුණු එසේ මෙරට තුල ස්ථාපිත ව පැවතිය ද අප රටෙහි ආබාධිත ප්‍රජාවන්ගේ ජීවිතය උදෙසා එම අණපනතෙහි අන්තර්ගත වරප්‍රසාදයන් ප්‍රායෝගික තලයෙහි ක්‍රියාත්මක වීමෙදි මන්දගාමී ස්වභාවයක් දක්නට හැක.

එලෙස ආබාධිතයන් ගේ අයිතිය හා පහසු ව උදෙසා නිති ක්‍රියාත්මක වීමේදී දැඩි දුර්වල බවක් මෙරට ප්‍රවාහන සේවය දෙස බැලීමෙන් දැකිය හැක. එනම් මාර්ග ගතව පිහිටුවා ඇති ඇති බස් නැවතුම්පලවල් රැසක් ආබාධිත ප්‍රජාව ගේ ශාරීරික අපහසුතාවයන් රැසකට අනුකූල නොවන පරිදි ඉදි කොට තිබීම ය.

මෙහිදි විශේෂිත බොහෝ නාගරික බස් නැවතුම්පලවල් වල ට හා දුමිරිය ස්ථානයන් වෙත ආබාධිත ප්‍රජාවන් ප්‍රවේශවීමට නිසි ප්‍රවේශ අවකාශ පහසුකම් පවතිනුයේ අතිශය අවම මට්ටමක ය.

එසේම මෙරට ධාවනයේ නිරත වන බස් රථ හා දුම්රිය සේවාවන් තුළ ද බහුතරයක් ම ආබාධිත මගීන් ඇතුල් කර ගැනිමට හා පිට ව යාමට උචිත නොවන තත්වයක පැවතීම අනෙක් දුර්වලතාවය ලෙස සඳහන් කල හැකිය. බොහෝ රටවල බස් රථ පදික වේදිකා තරමටම පහත් කළ හැකි ලෙස ද එසේ නොමැති නම් යම් පුවරුවක් මගින් බස් රථය හෝ කෝච්චිය තුළට පැමිණීමට හැකි ලෙසද සකස් කර ඇත.

එමෙන්ම අවසන් වශයෙන් පොදු ප්‍රවාහන සේවාවට අදාල වෘත්තික සේවා පාර්ශවයන් පොදුවේ ආබාධිත ප්‍රජාව හා පැවැත්විය යුතු සබඳතාවයන්ගේ සන්නිවේදන අංශය අතිශය දුර්වල තත්වයක පැවතීම බහුලව දැකිය හැකි තත්වයක් බවට පත්ව ඇත .

මෙහිදි පොදු ප්‍රවාහන ක්ෂේත්‍රය තුල සේවාවන්හි නිරතවන වෘත්තිකයන්ගේ වෘත්තිය ශාක්‍යතාවය උදෙසා ආබාධිත ප්‍රජාව පවත්වා ගත යුතු අන්තර් පුද්ගල සන්නිවේදන පුහුණු වැඩමුළු ඇති කිරීම අතිශය කාලෝචිත ය.

එසේම කුලි රථ සේවාවන් වලදි පවා බොහෝ රියදුරු පාර්ශවයන් විසින් ආබාධිත පුද්ගලයන් හට ස්වකීය සේවා පහසුකම් සසැපයීමට මැලි කමක් දක්වන බහුලව දැකිය හැක.

එහිදි එවන් වු අසාධාරණයට භාජනය වන ආබාධිත පාර්ශවයන්ගේ සුරක්ෂිත භාවය හා අයිතිය උදෙසා නව නීති කෙටුම්පත් සැකසීම පිළිබඳ අදාල නීති අංශයන්හි අවධානය යොමු වීම සිදු විය යුත්තකි.

තවද මෙම ආබාධිත ප්‍රජාව තවත් අසිරුතාවයනට මුහුණ දෙන ස්ථානීය අවකාශයක් ලෙස මෙරට පිහිටුවා ඇති නිදහස් උද්‍යාන හා විනෝද සේවා ස්ථාන හැඳින්විය හැක.

මෙහිදි නිදර්ශනයක් ලෙස දෘශ්‍ය අබාධිත පුද්ගලයන් වෙනුවෙන් උද්‍යානයන්හි මං පෙත් තැනීමේදී ඔවුන්ගේ දෘශ්‍යාබාධිත තත්ත්වය පිළිබඳ සංවේදී ගමන් මාර්ග පද්ධතියක් නොමැති කම නිසා ඔවුනට අන් අයගේ පිළිසරණ යැදීමට සිදුව ඇත.

එලෙස ම මෙම උද්‍යානයන්හි ආබාධිත ප්‍රජාවන් හට ආහාර ගැනීමේ පහසුකම් හා තම පරිශීලිත දෑ බැහැර කිරීම දක්වා වු ස්ව කාර්යයන්හිදි, එම අදාල බැහැර කිරීමේ ස්ථාන කරා පහසුවෙන් ප්‍රවේශයක් ගත හැකි නිදහස් හා දියුණු ඉඩ අවකාශයන් සැකසීම කෙරෙහි අදාළ අංශවල අවධානය යොමු විය යුතු ය.

එලෙස ම බොහෝ ආබාධිත ප්‍රජාවන්ගේ අධ්‍යාපනය උදෙසා ඒ ඒ පාර්ශවීය පුද්ගල අවශ්‍යතාවයන් ඉටු කොට ගත හැකි පුස්තකාල පද්ධතීන් ප්‍රධාන නගර වල හැරුණු විට වෙනත් නගරයන්හි ස්ථාපිත ව නොපැවතිම විශාල අඩුපාඩුවක් ලෙස දැකිය හැක.

බොහෝ විට නිදර්ශකයක් ලෙස දෘශ්‍ය ආබාධිත ප්‍රජාව උදෙසා අවැසි බෙල් ක්‍රමයේ පහසුකමි ප්‍රධාන නගරයන්හි පුස්තකාල හැරුණු විට අනිත් තැන් හි පවතිනුයේ අවම මටිටමකය. මෙහි දී ග්‍රාමීය පුස්තකාලයන් සඳහා ආබාධිත අයගේ අධ්‍යාපනික අවශ්‍යතාවයන් ඉටු කොට ගත හැකි දියුණු ක්‍රමවේදයක් ස්ථාපිත කිරීම කළ යුතු කාර්යයක් ලෙස හැඳින්විය හැක.

ඒ කාර්යයන් ඉටුකොට ගනු වස් රටෙහි ආබාධිත ප්‍රජා සාමාජිකයන් වෙනුවෙන් බහුවිධ සන්නිවේදන පද්ධතින් අදාළ පුස්තකාලයන් හි ස්ථාපනය කිරිම වත්මනෙහි අවශ්‍යතම කරුණකි.

තවද මෙරට සිවිල් ජන ජීවිතයෙහි මෙරට තුල ඇතිව තිබෙන සමාජ ආර්ථික දේශපාලන අර්බුදයන්හිදි වුවද ,ආබාධිත පුද්ගලයන්ගේ ආර්ථික සමාජීය ජන ජීවිතය අඩාල නොවන පරිදි ඔවුන්ගේ මුලික අවශ්‍යතාවයන් පෙරටු කොට ඉටුකර දෙනු වස් යම් තොරතුරු පද්ධතියකට ඔවුන් ප්‍රවේශ කිරීමට කටයුතු කිරීම වැදගත් කාලෝචිත යෝජනාවක් ලෙස හැඳින්විය හැක.

එසේම මෙරට සිවිල් නීතියට යටත් ව සිරගත වන ආබාධිත පුද්ගලයන් සඳහා ඒ ඒ බන්ධනාගාරවල හා පොලිස් නිල සිරමැදිරිවල පහසුකමි වැඩි දියුණු කිරීම පිළිබඳ ව සැලකිල්ලක් යොමු කිරීම ඉහල මානවවාදි සමාජයක් කරා යාම සඳහා අපට මහත් පිටිවහලක් සපයනු ඇත.

එසේම නූතන සන්නිවේදන මාධ්‍ය තුළ ආබාධිත ප්‍රජාවේ ගෞරවය හා තොරතුරු දැනගැනිමේ අයිතිය තහවුරු කිරිමේ වැඩසටහන් සඳහා වෙන් වන කාල අවකාශය පුළුල් මට්ටමකට පත් කිරීමට කටයුතු කිරීමද සිදු කළ යුතුය.

තවද සමාජයේ සමානයින් ලෙස අනෙක් ප්‍රජාව හා සමතැන්හි සිට ගනිමින් තම ක්‍රීඩා කලා හා දැනුම පිළිබඳ වු හැකියාවන් සමාජ ගත කිරීමට අවකාශ මාධ්‍ය මගින් සැලසිය යුතුය.

අවසන් වශයෙන් ආබාධිත ප්‍රජාව රැක ගැනීම සේම,ආබාධිත ප්‍රජාවේ සංඛ්‍යාත්මක ඉහළ නැංවීමට බලපානු ලබන සමාජ දේශපාලනික හා සංස්කෘතික හැඩතලයන්හි සියුම් ස්ථානයන් හඳුනා ගැනීම සිදුකිරීමේ කාලය එලැඹ ඇත.

එවන් වු දියුණු සංස්කෘතික සමාජ ආර්ථික හා දේශපාලනික පුරවැසි සමුදායක් ලෙස කටයුතු කිරිමේ මංපෙත් සකසනු වත් දියුණු මානව නිර්නායකයන් යටතේ කටයුතු අශ්‍යතාවය හා වගවිම නූතන සමාජ පරපුරේ අවධානය සදහාද යොමු විය යුතුම තත්වයකි .

එවන් වු තත්වයක් තුළ දී ආබාධ සහිත තැනැත්තන් දේශපාලන සමාජ ආර්ථික ප්‍රවාහය තුල සාමාන්‍ය මනුෂ්‍යයෙකු ලෙස නැගී සිටීමේ අයිතිය උදෙසා යමි සේ දායක වේද, එය නව මානව සංස්කෘතික පරපුරක නව්‍ය ප්‍රගමනයක් අත් විඳීමේ භාග්‍ය ලත් පුරවැසි සමාජයක කරා තබන සාධනීය පියවරක් ලෙස සඳහන් කළ යුතුයි.

සුසිත විජේමුනි / ඩිල්ෂිකා රාජපක්ෂ / බෝධිනී සමරතුංග

Leave a Reply

Your email address will not be published. Required fields are marked *