එක දවසක් හැන්දෑවක…

කියන්න බොහෝ දේවල් හිත තුල පොදි ගැහිලා, එළියට පිටවෙන්න වචන හිත තුල නලියනවා. ජීවිතේ ගැන බොහොම සරලව හිතපු නිසා අහිමි වූ දේවල් විශාලයි.නමුත් ඒ ගැන කණගාටුවක් හිත තුල ඇත්තේම නෑ. වෙල් යායවල් නියර පිට දුවන්න ගිහින් මඩ නාගෙන, ඇලපාරවල් දිය කඳුරු දිගේ දිය බුං ගැහුව පුංචි සංදිය සිහි වෙද්දි හිතට දැනෙන්නෙ වචන වලින් විස්තර කළ නොහැකි තරම් කළ කිරීමක්. අපි විතරක් ඇයි ගමේ ඉන්නේ නැත්තේ පුංචි කාලයේ පටන් මගේ හිතේ තිබුනු ප්‍රශ්ණයක්.

ගොඩ කාලෙකට පස්සෙ ගඟ අයිනේ ඇවිදින්න ගියේ පොඩි කාලේ පුරුද්දට, පන්සල පෙනෙන දුරෙන් ගං ඉවුරේ අඩි සටහන් තියලා බලන් ඉන්න ඒ කාලෙ ඉඳන් පුදුම ආසාවක් තිබ්බේ. නිවාඩු දවසට නාන්න ඇවිදින් අම්මලා අරන් එන වතුර බොන කෝප්පෙකින් ඉවුර දිගට ඒ කාලේ මම කෝප්ප කෝම්පිට්ටු හදන්නේ මොන අරමුණකින්ද කියලා දැන්නම් හිතාගන්නවත් බෑ.

When the time’s right
A new moon shines
Torn Hearts heal
this, I believe

ගඟ වෙනදා වගේම දිය රැළි පදාසයකින් ඉවුර සරසං හිටියා හැබැයි වතුර බොර පාටයි. උඩහට වහින නිසා වෙන්න ඇති කියලා මට හිතුනා. අලුත් පාළමින් ටිකක් එහාට වෙන්න නාන තොටුපලක් වගේ තැනක ආච්චි අම්මෙක් නානවා. කාකි තොප්පියක් දාගෙන අරමුණක් නැතුව ඇවිදිමින් හිටිය මාව දැකලා අනුකම්පාවෙන් වගේ ඒ ආච්චි අම්මා “අයින දිගට ඇවිදින්න යන්න එපා හොර අරක්කු පෙරනවා ගඟ අයිනේ” කිව්වා. එතකොටයි මටත් හිතුනේ හිතට එන සෞන්දර්යාත්මක සිතුවිලි ක්‍රියාත්මක කරන්න කලින් කීප සැරයක් හිතන්න ඕනෑ පැති තියෙන විත්තිය.
ලෞකික ආශාවන් පසු පස දුවන දඟලන මිනිස්සු එක්ක ගැවසිලා හැමෝගෙම සිහින බලාපොරොත්තු අහගෙන හිටියම හිතෙනවා මම එහෙම නොවිච්ච එකත් මොන තරම් සැපයක්ද කියලා. දවස තිස්සෙම දඟලන නලියන දුවගෙන යන ලෝකෙක ඉඳලා මගේ ලෝකෙට ඇතුල්වෙද්දී මට දැනෙන්නේ අසපුවකට යනවා වගේ සහනයක්. ඒ සහනයත් කර පින්නගෙන කහට වැඩි කිරි තේක රහ බලන මේ සටහන ලියා නිම කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *