යකඩ නෑ !

“දැන්ම ටිකට් කපන්න බෑ අම්මා ඔයාගේ හිමෝග්ලොබින් තත්ත්වය හොඳටම අඩුයි. ඒක ඔයාගේ මේ මාස හතක්වන කුසේ වැඩෙන දරුවාටත් බලපානවා.”

මේ උතුරු කොන රෝහලේ ප්‍රසව වාට්ටු වලදී නිතර ඇහෙන කතාවකි. දීර්ඝ කාලයක් තිස්සේ ත්‍රස්තවාදී කලබල සහ යුද කිහිපයකට මැදිව අවතැන්ව තැන තැන ගිය මේ පිරිසගේ ජීවිත මේ ආකාරයෙන් රැකී තැබීමද පුදුමයකි. සියල්ල අහිමිවූ ලොවක අතරමංවූලෙස සිටින මේ පිරිස නිරන්තරයෙන් කායික මෙන්ම මානසික රෝගාබාද රැසකට මුහුණ දෙමින් කෙසේ හෝ දිවි ගැටගහ ගනිති.

නීරක්තිය , රක්තහීනතාවය යන මේ නම්වලින් හඳුන්වන මේ තත්ත්වය රුධිරයේ ඔක්සිජන් ප්‍රවාහනය කරන රුධිර සෛලවල ඇතිවන අසාමාන්‍ය තත්ත්වය හෝ ප්‍රමාණයන් නිසා උද්ගතවන රෝගයකි. එයට විවිධවූ කාරණා රැසක් තිබේ.

“ලේ අඩුයි කියන්නේ මොකද්ද ඩොක්ටර්”

“අම්මා අපේ ලේ වල කුඩා සෛල තියෙනවා හිතන්නකෝ වාහන වගේ ඒවායෙන් රතු රුධිර සෛල කියලා තියෙන ඒවයෙන් තමා මේ අපි හුස්ම ගන්න වාතයෙන් ඔක්සිජන්, අපේ මේ ශරීරය පුරාම අරගෙන යන්නේ රතු සෛල. ඒවා ඇතුලේ හිමෝග්ලොබින් කියලා දෙයක් තියෙනවා. ඒක මනින්නේ ඒ තුලින් අපිට මේ තත්ත්වය තියෙනවාද නැද්ද කියලා මූලික වශයෙන් වැටහීමක් ගන්න පුළුවන්! අම්මාට තේරුණාද ?”

“ඔව් ඩොක්ටර් මම අටේ පන්තියට යනකම් ඉගෙන ගත්තා එතකොට බඳින්න වුනානේ ඊට පස්සෙ ගියේ නෑ”

මේ අම්මා කියන කතාව යුද්ධයේ දුක්ඛදායී අතුරු ප්‍රතිඵලයකි. ත්‍රස්තවාදී සංවිධානයට කුඩා දරුවාගේ සොට බඳවාගැනීම සහ බලෙන් පැහැරගෙන ගොස් හෝ ඔවුන් එක සංවිධානයට බඳවා ගැනීම සිදු කර තිබුණි. සමහර දෙමාපියන් මේ දරු අහිමිවීම වලක්වා ගැනීමට ඔවුන්ගේ අවුරුදු 13, 14 වන විටම තම දරුවන් නෑයින්ට හෝ බන්දලා දීලා ඔවුන් ගර්භනී තත්ත්වයට පත් කිරීම එකල සුලභව සිදු වුණි. මේ මව දැ විසි පස් වියේ සිටි අතර ඇයට දරුවන් තිදෙනෙකි. මේ ලැබෙන්නට යන්නේ හතරවැනි දරුවාය. ඇගේ හිමෝග්ලොබින් මට්ටම 3.6 කි. හිමෝග්ලොබින් මට්ටම 10 වඩා අඩුවීමම අවධානමකි, ඉතින් ඇය 4ටත් අඩු මට්ටමක් සමග මෙලෙස ගේ දොර වැඩකටයුතු පවා කරගනිමින් කිසිඳු මහන්සියකින් තොරව මෙසේ කෙලින් සිටීම පවා පුදුමයකි.

ඇය මෙහි සායන ආවේද මුල්වරට ය. මෑතදී තම ගම් බිම් කරා පදිංචියට ගිය ඒ ඇය ඉන්නා ප්‍රදේශයට ගිය පවුල් සෞඛ්‍ය සේවිකාව විසින් ඇය සුදු මැලි නිසාද මුල්ම වාරයේ ගියායින් පසු සායනයකට සහභාගී නොවන නිසාද අප වෙත යොමු කර තිබුණි.

සුදු මැලි ස්වභාවය මුල් අවධියේ හැමෝම තුළින් දකින්නට නොලැබෙන නමුත් අධික මහන්සිය, ශක්තිය මදි කමක් දැනීම, නිතර ඇතිවන ක්ලාන්ත ගතිය, හදවත වේගයෙන් ගැහෙන බව දැනීම, හිසරදය, දරුවන්ගේ වර්ධන ඌනතා මෙහි ලක්ෂන ලෙස දැක්විය හැක.

නීරක්තිය හෙවත් රක්තහීනතාවය සඳහා හේතුසාධක බොහෝය. යකඩ සංඝටකය ශරීරයේ අඩු වීම මෙයට ප්‍රධානම හේතුවකි. ගැහැණුන් බොහෝ සෙයින් මේ තත්ත්වයට ගොදුරු වෙන්නේ අධිරුධිරවහන තත්ත්වයනට මාස් ශුද්ධිය , දරු ප්‍රසූතිය, ගබ්සාවීම් යන අධිරුධිර වහන සිදුවීම් සහ ගර්භනී තත්ත්වයේදී ඇතිවන අධි පරිභෝජන තත්තවයන් නිසා ස්ත්‍රීන් අතර එම තත්ත්වය බහුලය. හේතු සාදක අනුව, අධික රුධිර වහන තත්ත්වයන්, එනම් හදිසි අනතුරු, ශල්‍යකර්ම ආදීයේදී , ශරීරය විසින් අසාමාන්‍ය රතුරුධිර සෛල නිපදවීම, හෝ රතු සෛල ඉක්මනින් විනාශ වී යෑම යන හේතූන් තුනකට බෙදා දැක්විය හැක. රතු රුධිර සෛලවල ව්‍යහයේ වෙනස්කම් ඇතිවීම ජානමය රෝග තත්ත්වයන් නිසා ද ඒවා නිපදවීමේදි ඇට මිදුළුවල ඇතිවන රෝග තත්ත්වයන් නිසාද සිදු විය හැක.

රක්තහිනතාවය හඳුනාගැනීම සඳහා රක්තවේදය පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන් වෙත යොමු කරනු ලැබේ. ඔවුන්ගේ උපදෙස් මත යකඩ ඌනතාවය ඇත්නම්, රුධිරය හෝ යකඩ අඩංගු ඖශධීය දියර ශරීරගත කරනු ලැබේ. මේ අම්මාටද රුධිර පැකට් කිහිපයක් දින ගණනක් පුරා දීමට තීරණය කළේ ගර්භණී අවසන් අවධියේ සිටි හෙයිනි. ඔක්සිජන් අඩුවෙන් සැපයීම නිසා ගැබ තුළ වැඩෙන කළලයටද එය දරුණු ලෙස බලපාන අතර විවිධ සංකූලතා රැසක් ඇතිකරති.

“මගේ දරුවෝ තුන්දෙනාට කෑම කටක් දෙන්න කෙනෙක් නැ ඩොක්ටර්, ලයිටුත් නෑ ඉතින් දැනටමත් බයවෙලා ඇති.. මම ගිහින් එන්නම් ?”අම්මා බෑගෑපත් වේ.රජයේ රෝහල්වකට එන බහුතරයක් මිනිසුන් දරිද්‍රතාවය නිසා බොහෝ දුක්ඛදායී ජීවිත ගත කරන්නන් ය.

” ඒ බබාලා තුන්දෙනාම ලොකුයිනේ, තාම එළිය දැක්කේ නැති මේ බබාව නිරෝගිව ගන්න ඕනේ නේද ?”

කොළ පළාවර්ග මුහුදු මාළු බහුල නමුදු පෝෂණ ඌනතා නිසා මේ තත්ත්වයන්ට මුහුණ දෙන පිරිසද බොහෝ ය.

රුධිරය හෝ යකඩ ඖෂධය ශරීරගත කරද්දී අසාත්මිකතා ඇතිවිය හැක. ඉතින් මේ මවට රුධිරය හෝ ඖෂධය ලබාදී නිවෙසට යවන්නට ද නොහැකිය. මේ මොහොතේ ඇයගේ නිවසේ සිටින දරු තිදෙනා ගැන අපට මැදිහත් වීමක් කළ හැක්කේ කෙසේදැයි මිඩ්වයිෆ් මිස් හෙවත් පවුල් සෞඛ්‍ය සේවිකාව හා සාකච්ජා කළෙමු. ඇය ඉන්නා ප්‍රදේශයේ ඉන්නා පවුල් සෞඛ්‍ය සේවිකාව දැනුවත් කිරීමෙන් හවස් වන විට ඇගේ සැමියාද දරු තිදෙනාද ඇය බැලීමට සහ ඇයට නැවතීමට අවශ්‍ය ඇඳුම්ද රැගෙන එහි ආවෝය. අප සැමියාට මේ තත්වය පැහැදිලි කළෙමු. වෛද්‍යවරුන් ලෙස රෝග නිර්ණය සහ බෙහෙත් දීම පමණක් නොවේ. රෝගියාගේ පවුල් සමාජ ප්‍රශ්න සියල්ල් කෙරෙහි අප සංවේදී විය යුතුය. එවිට ඔවුනට ඇත්තටම සහනයක් සැලසිය හැක.

වෛද්‍ය බෝධිනී සමරතුංග (පුවත්පතටලියූ කතන්දර)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *