යකඩ වැඩි වීම

තැලසීමියාව ගැන සරලවම කිව්වොත්….

තැලිසීමියා රෝගයේදී වෙන්නේ රුධිරයේ ඇති හිමෝග්ලොබින් නැමැති රතු සෛල මගින් ඔක්සිජන් ප්‍රවාහනය කරන සංඝටකය ක්‍රමාණුකූලව නිෂ්පාදනය නොවන එක සහ ඉක්මනින් රතුරුධිරානු බිඳී යෑමයි. අපේ සිරුරේ හැම දෙයක්ම තීරණය වෙන්නේ ජාන නිසා බව ඔබ දන්නවා ඇති. මවගෙන් සහ පියාගෙන් උරුම වෙන ජාන යුගලය බැගින් අප සෛල වල තිබෙනවා.  ඇතැම් ජාන මගින් අපේ සිරුරේ ක්‍රියාකරිත්වය පවත්වා ගැනීම තීරණය කරන අතර ඇතැම් ජාන වල මේ ක්‍රියාකාරිත්වය මැඩ පවත්වන විදිහට ඒ ලක්ෂනය හීන වී පවතිනවා. එවැනි ජාන නිලීන ජාන ලෙස හැඳින්වෙනවා. නිලීන ජාන යුගලක් ඇතිවිට මේ යාන්ත්‍රණ නිසි ලෙස සිදු වෙන්නේ නැහැ. තැලසීමියා රෝග තත්වයද අපේ සිරුර තුල ඇති රුධිරයේ හිමෝග්ලොබින් සෑදීම නිසි ලෙස සිදු නොකරන,  නිලීන ජාන හෙවත් රෝගී ජාන යුගලක්  නිසා සිදුවෙනවා. සාමාන්‍යයෙන් අපට සක්‍රිය ජාන දෙකක් අම්මාගෙන් සහ තාත්තාගෙන් උරුම විය යුතුයි. නමුත් නිලීන ජාන දෙකක් උරුම වුනෝතින් තැලිසීමියා රෝගය ඇතිවෙනවා. නිරෝගී එක් ජානයක් සහ නිලීන ජානයක් ලැබුනොතින් ඔවුන් තැලසීමියා වාහකයෙක් බවට පත්වෙනවා. මේ ජාන බෙදීම් සහ රෝගය සම්ප්‍රේශනය වන ආකාරය පහත රූප සටහනේ දක්වා තිබෙනවා.

ඉතින්  රූප සටහනේ ලෙස, මේ ජාන යුගල වලින් තනි ජාන බෙදෙනවිට එය අහඹු ලෙස සිදුවන නිසා වාහකයන් දෙදෙනෙකු අතර ඇති වන විවාහයෙන් තැලසීමියා රෝගී දරුවෙක් බිහිවෙන්න 25% ඉඩකඩක් තිබෙනවා. සම්පූර්ණ නිරෝගී දරුවෙක් මෙන්ම රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන වාහක තත්වය ඇති දරුවන්ද ඇති වෙන්න පුළුවන්.

වාහකයන් හට නිරෝගී ජාන යක් මෙන්ම රෝගී ජානයක්ද තියෙන නිසා ආයේ ජන්මානු හදනකොට (ඩිම්බ සහ ශුක්‍රානු) 50% කට නිලීන හෙවත් රෝග තත්වය ඇති වීමේ ජාන සම්ප්‍රේශනය වෙන්න හැකියි. ඉතින් තමන්ගේ සහකරුවාද වාහකයෙක්නම් දරුවන්ගෙන් 50% කට රෝගී හෙවත් නිලීන ජාන සම්ප්‍රේශනය වී මහ තැලසීමියාව ඇති දරුවෙක් සෑදීමේ සම්භාවිතාවය පහත රූප සටහනේ ලෙස 25%ක්.

දරුවෙක් රෝගී වීම නිසා මුළු ජීවිත කාලයම ඒ දරුවා මෙන්ම දෙමාපියන්ද බොහෝ දුක්ඛදායී තත්වයකට පත්වෙනවා. 

ඈත අතීතයේදි නම් මේ රෝගයට ලක්වූ දරුවන් ජීවිතේ පළවෙනි අවුරුද්ද දෙක ඇතුලත මරණයට ලක් වුනා. නමුත් දැන් රුධිර පාරවිලයනය හෙවත් ලේ ශරීරගත කිරීම නිසා මේ දරුවන් බොහෝ කල් ජීවිතය අත්විඳිනවා. ඔබ දන්නවාද බොහෝ පවුල් වලට සිටින්නේ තමන්ගේ රෝගී දරුවා පමණක්ම කියා. මන්ද මෙය ජානමය තත්වයක් නිසා එවැනි පවුල් වලට ඉපදෙන්නට වඩා ඉඩ ඇත්තේ රෝගී දරුවන් මේ හේතුව නිසා දෙමාපියන් ඊළඟට ඉපදෙන දරුවන් මෙවැනි ඉරණමකට ගොදුරු වේ යැයි බියෙන් තම එකම රෝගී දරුවා රැක බලාගෙන සිටිනවා.

  ජාන මගින් මහ තැලසීමියා රෝගය ඇතිවුනු කෙනෙක්ට තම ජීවිත කාලය පුරාම රුධිරය සහ ශරීරයේ යකඩ අඩු කරන බෙහෙත් එන්නත් මගින් ශරීරගත කරගන්න වෙනවා , දවසක් ගානෙම. මොකද එහිදී හිමෝග්ලොබින් අඩු නිසා ජීවිත කාලය පුරාම  රුධිරය ශරීරගත කරගත යුතු වෙනවා , මේ  නිසාද රතු සෛල ඉක්මනින් බිඳ වැටෙන නිසා ද ශරීරයේ යකඩ මට්ටම ඉහළ නගිනවා. ඒවා විවිධ ඉන්ද්‍රිය තුල තැන්පත් වීම නිසා එම ඉන්ද්‍රිය අකර්මණ්‍ය වෙනවා. ඉතින් මේ වැඩිවන යකඩ අඩු කරන්න ඖෂධ එන්නත් කරගන්නම වෙනවා. ඔබ හිතන්න හැමදාම එන්නත් කටු අතේ පයේ ගහගෙන බෙහෙත් විදගන්න උනොත් පොඩි වයසේ ඉඳන්ම ඒක කොයි තරම් නම් දුකක් ද ? මේ කුඩා දරුවන් එන්නත් කටු වලට බයේ මුල් කාලයේදී හඬා වැටුනත් පසුව ඔවුන්ට මෙයින් තොර ජීවිතයක් නොමැති බව තේරුම් ගත් පසු බොහොම අමාරුවෙන් ඒ දුක ඉවසන අයුරු දුටුව විට අපිටත් ඇති වෙන්නේ දුකක්.

මේ රෝගය වලක්වාගත හැකිද ?

ඔව් පුළුවනි. ඒ තැලසීමියා රෝගය ජාන මගින් උරුම වෙන නිසා. මෙය උරුම වෙන්නේ රෝගකාරක ජාන දෙකම මවගෙන් සහ පියාගෙන් දරුවෙකුට උරුමවුනොත් නිසා මවගේ සහ පියාගේ ජාන ගැලපීම මගින් මේ රෝගය ඇති දරුවෙක් ඇතිවීම වැලැක්විය හැකියි. ඒසඳහා අවශ්‍ය ජාන තාක්ෂනික පහසුකම් අපේ රටේ තැලසීමියා රෝගය සම්බන්දයෙන් ප්‍රතිකාර කරන රෝහල් වල ඒකක සහ මධ්‍යස්ථාන වලින් නොමිලේම මේ සඳහා පහසුකම් සැපයෙනවා. තැලසීමියා පොරොන්දම ගලපනවා කියා දෙයක් අද සමාජයට එකතුවී ඇත්තේද මේ නිසාය. විශේෂයින් ලේ නෑයින් අතර විවාහ වලදී මෙන්ම, මෙවැනි රෝගයක් නිර්ණය කරගත් කෙනෙක් ඔබේ පවුල් වල දුරින් නෑදෑ කෙනෙකු හෝ ඉන්නවනම් ඔබේ රුධිරය පරීක්ෂා කරගැනීම නුවණට හුරුයි. කොහොමත් මේ රෝගය බහුලවම ඇති ප්‍රදේශ වල විවාහ වලට ප්‍රථම තැලසීමියා රෝග කාරක ජාන පරීක්ෂාව කරන්නට අද වෙන විට බොහෝ අය දැනුවත් වී තිබෙනවා.

එනිසා තැලසීමියා රෝගය ඔබේ හෝ පවුලේ කෙනෙකුට ඇති නම්, හෝ වාහක තත්වයක් ඇති බවට කලින් නිර්ණය කර ඇතිනම් අනිවාර් යයෙන් ඔබේ ලේ පරීක්ෂා කරගත යුතුය. ඔබේ ප්‍රියයාගේ හෝ විවාහ අපේක්ෂකයාගේ තත්වයත් පරීක්ෂා කර ගත යුතුයි. නිලීන ජාන මතුවීමට ඉඩ නොදීම මගින් මේ රෝගය හෙවත් මහ තැලසීමියාව වලක්වාගත හැකියි. 

මේ කියවන ඔබට මේ ගැන වැඩි විස්තර හෝ, තමන්ට තැලසීමියා රෝගී ජාන ඇති දැයි පරීක්ෂා කරගැනීම සඳහා පහත සඳහන් ඒකක වලට යොමු විය හැකියි. 

කුරුණෑගල මහ රෝහල, තැලසීමියා ඒකකය
මහ නුවර ශීක්ෂණ රෝහල, තැලසීමියා ඒකකය
අනුරාධපුරය ශික්ෂණ රෝහල , තැලසීමියා ඒකකය
රාගම – උතුරු කොළඹ ශික්ෂණ රෝහලේ මහර, පිහිටි හේමාල්ස් තැලසීමියා සහන පියස 
බොරැල්ල MRI හෙවත් වෛද්‍ය පර් යේෂන ආයතන 
ඕනෑම රජයේ රෝහලක් හරහා මේ ගැන උපදෙස් ලබා ගත හැකියි.

ඉහත සඳන් තැලසිමියා ඒකක මගින් ඒ ගැන  පරීක්ෂණ නොමිලේ කර ගත හැකියි.

රටේ තැලසීමියා රෝගයෙන් පීඩා විඳින නමුදු ගත සිත සවිමත් මේ තරුණ ප්‍රජාවගේ එකමුතුවෙන් සැදුණු ජාතික තැලසීමියා සංවිධානය ඔවුන්ගේ රෝගී ප්‍රජාවගේ සුබසාධනය වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා. රෝගය වළක්වාගැනීම පිළිබඳ සමාජය දැනුවත් කිරීමේ කටයුතු සිදුකරයි

මේ පිටුව වෙත ගොස් තවත් දැනුවත් විය හැකියි. https://www.facebook.com/NTOofficial

-වෛද්‍ය බෝධිනි සමරතුංග

Leave a Reply

Your email address will not be published. Required fields are marked *