කොයි දරුවත් දරුවෙක් !

ළමා දිනයට නොලියූ ලියුම

මා අභියසට පැමිණි අවුරුදු 8 ක් වයසැති කුඩා පැංචාගේ අතේ තිබුනේ ගෙදර මිදුලෙන්(වෙරළෙන්) අහුලා ගත් සිප්පි කටු ගොඩක් සහ චිත්‍රයකි… “මේ බලන්න ඩොක්ටර් මේවයේ එක එක රටා තියෙනවා…” සිප්පිකටු ගොන්නත් චිත්‍රයත් මට බව කියයි. චිත්‍ර ගැන කියා දී , ඝනකම් කොළ සපයා,ඔහුගේ උනන්දුව වැඩි කරපු මට ලැබුනු තෑගිය. “ඩොක්ටර්ට ගෙනියන්න කියලා දවස් ගාණක් තිස්සේ චිත්‍ර ඇන්දා” මව කිවාය.

ඔහුගේ පියාද දක්ෂ චිත්‍ර ශිල්පියෙකි නමුත් කරන්නේ මුහුදු යෑමයි.ඒ පවුලේ දරුවන් කිහිපදෙනෙක් තැලසීමියා රෝගයෙන් පෙළේ. ඉතින් මේ අම්මා මාසයක් පතා ඔවුන් ඉපදී මාස කීපයක් ගිය තැන සිට රෝහලට මේ දරුවන් සමග ලේ දෙන්න, යකඩ අඩු කරන බෙහෙත් ගන්න පැමිණේ.

“ඇයි චිත්‍ර වලින් ආදායමක් එන දෙයක් කරන්නේ නැත්තේ ? “

“එහෙම කොහොමද හොඳ ආදායම් ගන්නේ” ඔවුන් ට ඒ ගැන නිසි අවබෝදයක් නැත. යන්තම් ලොකු මහත් වෙද්දීම දෑතේ කර්මාන්තයක යෙදෙන්නෝය.

ඔවුන්ගේ ආර්ථික ප්‍රශ්ණ වලට සහනයක් ලෙස මේ ඒකකයේ තැලසීමියා රෝගීන්ගේ අරමුදලෙන් මාස් පතා මුදලක් පවා ලබා දෙන නමුත්, මුහුදු යෑම ස්ථාවර රස්සාවක් නොවන නිසා ඔවුන් අප අභියස දිග හරින ඔවුන්ගේ දුක් අඳෝනා අසාගෙන විඳගන්නත් වෙන්නේ අපටම ය.

රටේ උතුරු ප්‍රදේශයේදී මට හමුවුන සුභාෂන් ( අනවර්ථ නමකි) මතක් වේ. (සුභාෂන්ලාගේ කතාව පෙර කලෙක ලීවා) ළමා සොල්දාදුවන් ලෙස යුද්ධයට මැදි වූ ඔවුන් යන්තම් දිවි ගලවාගත්තේ ය. යුද්ධය හමාර වූවාට පසු පුනුරුත්ථාපන කඳවුරේ සිටි ඔහු, එහි උපදේශන සේවාව සැපයු අපට නිතර මුණ ගැසිනි, සුභාෂන් චිත්‍ර ඇඳීමේ දක්ෂ දරුවෙකි. තමාටත් වඩා බර ගිනි අවිය දී ඔහුගේ සියලු කුසලතා හැකියාවන් ඒ මතින් විනාශ කර තිබුනේය. නමුත්, පාට පැන්සල්, පාට තීන්ත පින්සල් ලැබ බොහෝ අලංකාර ලෙස අප ඒකකයේ බිත්ති පුරා චිත්‍ර ඇන්දේය. අති විශාල බොහොම හොඳ , ලස්සන චිත්‍ර ! ඔවුන් ලියූ කවි සියල්ල විශේෂඥ වෛද්‍යතුමන් අතට පත්කරේ බොහොම ලොකු සතුටකින්. ඒ කවි අතර , “අපට නව ජීවිතයක් ලැබුනා” යන අදහස තිබුනා. ඒ කවි පසුව පොතක් වුණා.

රටේ අනිත් කොනේදී මට හමුවූ සුභාෂන් ද, රටේ මේ කොනේ රෝහලේ හමුවූ කුඩා පැංචාද බොහෝම දක්ෂ දරුවන් ය. සුභාෂන් බැට කෑවේ ආයුධ යුද්ධයෙනි, කුඩා පැංචා බැට කන්නේ ආර්ථික යුද්ධයෙනි. මට දුක මේ දරුවන් ඔවුන්ගේ දක්ෂතාවයන්ගෙන් ප්‍රයෝජන නොගෙන දෙමාපියන් සේ කුළී වැඩ කරන්නට පෙළඹුනොත් කියාය.

අනිත් කොනේ දී හැම මසකදීම මානසික ඒකකයේ සායන වලදී හමුවූ ගැහැණු ළමුන් දෙදෙනා මට මතක් වේ. ඔවුන් දෙදෙනාම මානසික ආතතියට ලක්ව අප සායනයෙන් බෙහෙත් ගන්නා අයවලුන් විය. එක් අයෙක් උපතින්ම මානසික අබාධිත තත්වයට පත්වූ අයෙක් වන අතර ආදරයෙන් රැක බලාගන්නා මවගේ උත්සහයෙන් ජීවත් වේ. තවත් අපට ඇසෙන බොහෝ කතන්දරවල මෙන් ඇගේ පියා ඇයව නොසලකා හැර ඇත.

“ඩොක්ටර් මේ මම මහපුවා ” පිළිවෙලක් නැති මුත් මසා ඇති කොට්ට උර අප වෙත ගෙන එමින් ඈ පවසයි.

ඉතා උස දේහදාරී ඇය සුවයෙන් සිටියානම් නෙට්බෝල් බාස්කට්බෝල් වැනි උස ප්‍රයෝජනයට ගත හැකි ක්‍රීඩාවක යෙදෙන්නට තිබුනි. ” තාත්තා මට ආදරේ නෑ. මං දිහා බලන්නෙවත් නෑ ” හැමදාම එකම චෝදනාවය.

” ෂා දැන් හරි ලස්සනයිනේ… ගෙදරදි තරහා ගත්තේ නෑ නේද මේ මාසේ…” මගේ ප්‍රශ්න කිරීම් හමුවේ ඇගේ මුහුණ ප්‍රසන්න හිනාවකින් පිරී යයි. ඔවුන්ට උවමනා අගය කිරීම් ය. පැසසුම් ය. මුළු දිවියම දුක්බර වුනු ඒ දරුවන් හට අපෙන් එවැනි සහනයක් ලැබේනම් ඒ කොයිතරම් හොඳයිද මට සිතුනා. ඒ මැහුම් ඈ ආසාවෙන් කරන දේ නිසා අපි හැම ඇයට ප්‍රශංසා කෙරුවෙමු. “දුව ගොඩක් දුකෙන් ඉන්නේ, තාත්තා මේ දරුවා නොසලකා හැරිනවා” ඒ අම්මා හඬා වැටේ.

කොයි දරුවත් දරුවෙක් ! අපේ සමහර වැඩිහිටියන් හැම දරුවෙක් කෙරෙහිම එකම සෙනෙහසින් ක්‍රියා කලද බොහෝ අය එසේ නොවේ. තමන්ගේ දරුවන් පමණක් යෙහෙන් සිටියොත් ඇතැයි සිතන මිනිසුන් අනන්තවත් හමුවේ. ඔවුන්ගේ ක්‍රියා හමුවේ අනෙක් දරුවන් වෙත දුක් වේදනා පැමිණේ.

අවුරුද්දකට සැරයක් ලෝක ළමා දින සැමරුම් වලදී දරුවන්ට ටොපි චොකලට් තෑගි දෙන සමාජසේවා ආයතන වලින් උනත් මීට වඩා යමක් දරුවන් වෙනුවෙන් කළ හැකියි කියා මා සිතනවා. සෑම ගමකම , නගරයකම ප්‍රජා සෞඛ්‍ය සේවා ආයතන මගින් දරුවන්ගේ මානසික වර්ධනය මෙන්ම ඔවුන් ජීවත් වෙන වටපිටාවෙන් දරුවන්ට එල්ලවන බාධා අනතුරු පිළිබඳ සොයා බැලුවොතින් කොයි තරම් හොඳ ද?

අපේ කතාත් ලියන්න කියා කියූ පොඩ්ඩන් වෙනුවෙනි.

වෛද්‍ය බෝධිනී සමරතුංග

Leave a Reply

Your email address will not be published. Required fields are marked *