කිරි මිරිකන නහය අදින ආච්චිලා…

“මළ කෝලම් මේ අලුත උපන් දරුවාගේ පාට අහ ගෙන ආවා”

වැඩිහිටි මීඩ් වයිෆ් මිස් කාටදෝ දෝස්මුරයක් දෙමින් ප්‍රසුතිකාගාරයට ඇතුල් විය.

“ඒ මොකෝ ” මම කුතුහලයෙන් විමසීමි.

“අර ඇදේ අම්මගේ නැන්දම්මා. ඉපදුණු බබා කලුද සුදුද අහනවා. මං කීවා මේ අම්මේ අපිට නම් ඉපදෙන බබාලා ඔක්කොම රෝසපාටයි” කියලා.

බබාගේ පාට කුමක්දැයි මගෙන් ද වාට්ටුව අතරින් ප්‍රසුතිකාගාරය වෙත එද්දී ආසා තිබේ. ඉපදුණු දරුවා සුවෙන් සිටි ද කියා ප්‍රශ්න කිරීම් සාමාන්‍යයෙන් අසනා නමුත් මෙවන් විහිළු සහගත ප්‍රශ්න ද ආසයි.

රෝසම රෝස පාටයී…. අපි කියද්දී ඔවුන් වීමතියට පත් වේ.

ආසියාතික රටවල මෙන්ම ලෝකයේ බොහෝ තැන්වල හමේ පාටට තියෙන සැලකිලි මේ වයස්ගත ඇත්තන්ගේ ප්‍රශ්න වලින් වැටහේ.

අප සායනයට අවුරුද්දක පමණ දරුවෙක් රැගෙන මවක් පැමිණියා. ඇය අත තිබූ බාහිර රෝගී අංශයෙන් එවන යොමු කරන කොළයේ සටහන් වුනේ ” මුක්කන් නහයක් නිසා දරුවා මන්ද බුද්ධික යැයි කරදරෙන් ” යන්න ය.

” මොකක්ද ප්‍රශ්නෙ අම්මේ” මගේ සුපුරුදු ප්‍රශ්නය හමුවේ ඇය ඇගේ කතන්දරය දිග හරින්නට විය.

” දරුවගේ නාහෙ මුක්කන් කියලා හැමෝම කියනවා. මගෙත් මහත්තයාගෙත් එහෙම නෑ. එයාගේ අම්මා කියන්නේ මන්ද් බුද්ධික ළමයිගෙ මෙහෙමයි කියලා ” ඒ අම්මා කියන්නේ බරපතල කාරණාවකි.

“එතකොට තව ළමයි ඉන්නවද ?”

ඔව් එක්කෙනෙක් ඉන්නවා අවුරුදු පහක”.

එහෙම මුක්කන් බවක් මා හට දකින්නට නොලැබිනි. ඉන්පසු මා දරුවාගේ වර්ධනය සම්බන්ද ප්‍රශ්න කීපයක් ඇසුවේ කායික සහ මානසික වර්ධනයේ දුර්වලතා ඇත්දැයි දැන ගැනීමටයි. දැන් ඒවාත් එසේ නොවන බවත් දරුවා සාමාන්‍ය වර්ධනයක් සහිත බවත් වැටහෙද්දී ඇගේ ඇස් වල කඳුළුත් පිරී තිබිනි. මෙය මීට වඩා දරුණු ලෙසින් ඇයට මේ ගැටළුව බලපා ඇතැයි මට සිතිනි.

“කෝ අනිත් බබා. මහත්තයත් ආවද ? එන්න කියන්න” යැයි ඔවුන් ගෙන්වා ගත්තෙමි. මේ කුඩා දරුවාගේ නහයට සමාන නහයක් ඔහුටද පිහිටා තිබිනි. ඒ තාත්තා සමග වැඩිහිටි ගැහැණු කෙනෙකුත් පැමිණියාය. ” මගේ අම්මා ” අර සැමියා වහා පැවසුවේය.

“මේ දරුවගේ මුක්කන් ගතියක් නෑ. මේ බලන්න මේ දරුවො දෙන්නගෙම නාහේ එක වගේ.. මේ අම්මගෙ නහයත් පොඩි කාලේ මෙහෙම තියෙන්න ඇත්තේ. ලොකු වෙනකොට හරි යයි අම්මේ” යැයි ඔවුන් අස්වසද්දී අර නැන්දම්මා පැවසුවේ ” අපේ පැත්තේ කාටවත් මෙහෙම නහයවල් නෑ.. ” යනුවෙනියි.

ඉන්පසු මගේ පැහැදිලි කිරීම් හමුවේ ” කොහෙද මේ අලුත් තාලේ එය දරුවන්ගේ නහයවල් ඇදලා හදන්නේ නෑනේ” යැයි කීවාය.

ප්‍රශ්නය තිබුනේ කාටදැයි දැන් පැහැදිලිය. කෙනෙකුගේ හැඩරුව තීරණය වෙන්නේ ජාන වලින් යැයි අපි දනිමු නමුත් ලංකාවේ ආත්තම්මලා නහය කට කකුල් සියල්ල එහෙ මෙහෙ කරමින් ඇද හදන්නේ එහෙම නොවුනොත් මහ විශාල විනාසයක් සිදුවෙනවාක් මෙනි. ආත්තම්මා කෙනෙකු නහයක් ඇද මිරිකා, දරුවාට හුස්ම ගැනීමට නොහැකිවී ජංජාලයක් සිදුවූ කතාවක් මතකයට නැගේ. මගේ කුඩා දරුවා නහවද්දී ගම් ගොඩේ කවරෙක් හෝ සිටයහොත් කිරි මිරිකන්නේ නැද්දැයි අසයි…කකුල් බකල යවන්න යැයි පවසයි. ඒවා කර දෙන්නත් ඉදිරිපත් වේ. වෛද්‍ය මතය පැහැදිලි කර දුන් පසු කර බාගෙන සිටී.

පොත් පත් වල හැටියට ළමයි හදනවා යැයි.. ඉන්ටනෙට් එකෙන් බලා ළමයි හදනවා යැයි ඇනුම් පද ද ඇසේ…

නොනවත්වා හඬන කිරි දරුවෙක් සමග ඇය අප වාට්ටුව වෙත එවා තිබිනි. “මොකද උනේ අම්මා” අපේ ප්‍රශ්න හමුවේ ඇය දරුවා හැඳ සිටි කුඩා බබා ගවුම ගලවා දරුවාගේ පපුව අපට පෙන්නුවාය. මේ දින පහක් වයසැති ළදරුවාගේ කුඩා පපු පෙදෙස ඉහළට එසැවී රතු වී තිබිනි.. බැලූ බැල්මට ආසාදනයක ලක්ශන මෙන්ම ඇතුලේ සැරව පිරී ඇති අයුරුත් දකින්න ලැබිනි. මසකට කීප වරක් මෙලෙස ඉදිමුනු කුඩා පපු පෙදෙස් සහිත ළදරුවන් රැගෙන එන මව්වරු බොහෝය. ඒ හැමෝගෙම ඇත්තේ එකම කතාවකි.

මුලදී මා කෙලින්ම අසන්නේ ” කවුද කලේ ඇයි කලේ වශයෙනි.” එවිට ඔවුන් බිය වී “නෑ අපි නම් ඇල්ලුවේවත් නෑ “යයි පවසති.

නමුත් මගේ හිතවත් හෙද සොයුරියක් පැවසුවේ “ඩොක්ටර් ඔහොම අහලා බෑ. අහන්න ඇයි අම්මා කිරි මිරිකුවේ නැද්ද ? ” කියලා, එතකොට පැනලා උත්තර දෙයි.. යනුවෙනි.

මා ඒ ක්‍රමය අත් හදා බැලුවෙමි. හැමෝම හරි හරියට ඔවුන් කළ දේ පවසයි.

” ඔව් ඩොක්ටර් මිරිකලා ඇරියා”

” කවුද එහෙම කරන්න කීවේ ?”

” අපේ අම්මා/ ආච්චී/ නැන්දම්මා” යනුවෙන් බොහෝමයක් උත්තර දේ.

කුඩා ළදරුවන් නහවද්දී, අපේ ආච්චිලාට හරි හරි වැඩ තිබේ. පියයුරු පෙදෙස මිරිකා කිරි ඉවත් කිරීම ඉන් එකකි, කකුල් වල බකල යැවීම, නහය ඇද ඇද මුක්කන් යැවීම තව එකකි, පෙකනියට , පිරිමි දරුවන්ගේ වෘශණ කෝෂ වලට ගම්මිරිස් පිබීම තව එකකි. මේවායේ ප්‍රති විපාක අප අඩුවැඩි නැතිව විඳින බව පමණක් මට පෙනේ. කිරි මිරිකූ ආච්චිලා පෙරටු කොටගෙන පැමිණෙන අම්මලා ට එසේ නොකරන ලෙස උපදෙස් දෙන්නට වෙන විට දරුවාට සිදුවිය හැකි කරදර සියල්ල සිදුව අවසානය.

පෙර කල පටන් පැවති මේ සිරිත මෙසේ කරන්න එපා යැයි දැන් කොතෙකුත් අවවාද දුන්නද පැරැන්නෝ ඒවා ඒ අයුරින් කරන්නට තතනති. අවසන කුඩා ළදරුවන්ගේ පියයුරු පෙදෙස් ආසාදනයට ලක්ව, කැපුම් කෙටුම් සැත්කම් කරන්නට සිදුවේ.අලුත උපන් බිළිඳුන්ගේ මෙලෙස පියයුරු වලින් කිරි පැහැති ශ්‍රාවයක් ගැලීම සාමාන්‍ය තත්වයක්. මෙය රෝගයක් නොවේ. මවගේ තියෙන හෝමෝන දරුවාට යන නිසා මෙවැනි තත්වයන් ඇතිවේ. අපේ රටේ මේ ආච්චි අම්මලා ඒවා මිරිකා ඉවත් කරන්න ගිහින් අර කුඩා කිරිසප්පයා ආසාදන රැසකට ලක් කරයි. සනීපාරක්ෂක ක්‍රම හරි හැටි භාවිතයක් නොමැති, පිරිසිඳුකමක් නැති වෙනවිට ආසාදන සෑදෙන්න මග සැලසෙනවා.

එතකොට ඒ ගැන දෙන්න තියෙන උපදෙස තමයි ” එතැන අල්ලන්න එපා… බබා නහවා, පිරිසිඳුව තියන්න. මොකුත් වෙන්නේ නෑ. ඉදිමී ඇත්නම් හෝ බලන් ඉන්න බැරිමනම් වෛද්‍යවරයෙක්ට පෙන්වන්න. කිසිවෙකුට මිරිකන්න දෙන්න එපා”

මේ කියවන ඔබ බුද්ධිමත් බව දන්නෙමු. එනිසා පාරම්පරික යැයි කියා එවන් දේ කිරීමෙන් වැළකී සිටින්න.

📷 ද සොයිසා කාන්තා රෝහලේ මව් කිරි ප්‍රතිස්ථාපනය කිරීමේ ඒකකයේ බිත්තියක ගසා තිබුණි. කථාව ඇත්තනේ ?

වෛද්‍ය බෝදිනී සමරතුංග

This image has an empty alt attribute; its file name is 272686993_330858145714466_7636422645983035306_n-1024x725.jpg

Leave a Reply

Your email address will not be published. Required fields are marked *