වෛරස් උණට බෙහෙත් මොනවද ?

කොරේ පිටට මරේ වගේ කොරෝනා පිටට ඩෙංගු උණ හිස ඔසවන මේ කාලයේ ඒ ගැන එක්කම පොදුවේ වෛරස් ගැන ලියූ කතන්දර එකතුවක් මේ. පසුගිය දවසක හරිම දුක්ඛදායී ආරංචියක් ආවා සෞඛ්‍ය පරීක්ෂක මහත්මයෙක් ඩෙංගු උණ වැළඳී මෙලොවින් සමුගත් බව. දැන් සැරින් සැරේ වැටෙන වැහිත් එක්ක පරිසරය ගැනත් උනන්දුවුනොත් හොඳයි නේද ? කියා හිතුනා. මේ 2017 පමණ ලියූ සටහනක්. අද නම් සමාජය වෛරස ගැන එදාට වඩා දැනුවත් !

වෛරස් උණට බෙහෙත් තියෙනවද ? නෑ ! එහෙම උත්තරයක් ලැබුනොත් ඔබ මොකද හිතන්නේ.

“වෛරස් උණ වගේ තමා පේන්න තියෙන්නේ.. “

ලේ රිපෝට් එකක් ගැන ඇසූ මවකට මා පැහැදිලි කර දුන්නා.

” මේ සුදු රුධිරානු, මේ තියෙන්නේ ලිම්ෆොසයිට් කියන සෛල වර්ගය… ඒක වැඩී නේ. සුදු රුධිරාණු අඩු වෙනවා වෛරස් උණ වලදී” එහෙම පැහැදිලි කරද්දී අම්මලා බලන් ඉන්නේ විද්‍යා පාඩමක් කියලා. සමහරු තේරෙනවා වගේ ඉන්නවා. ඔව් ඔව් කියලා ඔළුවත් වනනවා. නමුත් අප රෝහල්වලට එන ඔවුන් සමාජයේ අඩුම ආර්ථික තත්වයන් යටතේ ඇති දැඩි වුන , වසර පහ හෝ හයට වඩා පාසැල් නොගිය අය එහෙම නැත්නම් ලාබාල මව්වරුන්.

“ඉතින් ඩොක්ටර් බෙහෙත් දෙනවනේ ” එහෙමත් අහනවා අම්මලා.

” මේක වෛරස් උණක්නේ , වෛරස් වලට ලෝකේ කොහේවත් හරියටම බෙහෙත් නෑ අම්මා”කියලා කීවට පස්සේ….

“මොනවා මගෙ දරුවාගෙ ලෙඩේට බෙහෙත් නෑ” ඔන්න ඔහොම එක අම්මෙක් ඉහ අත් බදා වැලපෙන්න තියා ගත්තයින් පසු එක පාරම ඔය වගේ කතා කියන්නේ නෑ.

මම අහනවා “වෛරස් කියන්නෙ මොනවද කියලා දන්නවනේ අම්මා… බැක්ටීරියා වගේ නෙමේ. වෛරස ඉතින් ඇඟෙන්ම සටන් කරලා ප්‍රතිශක්තිය ඇති කරන් ඇඟෙන්ම අයින් වෙන්න ඕනෙ ” වගේ තේරෙන විදිහකට කියලා දෙනවා.

නැත්නම් සමහර විට මේ කියන දේවල් පත්තර වල ගිහින් හරි ජංජාලයක් වෙන්නත් තිබුනා. බෙහෙත් නැති ලෙඩක් ය කියලා මුළු ගම්මාන පිටින් කලබල වෙන්නත් තිබුනා.

ඔව් වෛරස නිසා අපි බොහෝ අකරතැබ්බ වලට මුහුණ පානවා.

H1N1ඉන්ෆ්ලුවන්සා වෛරස ( කුරුළු උණ , සූකර උණ උණ කියමින් හඳුන්වන වෛරස), ඩෙංගු වෛරසය, වසූරිය, පෝලියෝ, ඊළඟට පැපොල කම්මුල්ගාය…මේ අවුරුදු සමය එළෙඹෙන්නේ වාට්ටු පිරී ඉතිරී යෑමත් සමග ය. අධික තද බදය සහිත සාප්පු සංකීර්ණ සහ නිමි ඇඳුම් වෙළඳ සැල් වල තෙරපෙන මව්වරුන් දරුවන් මා කොතෙකුත් දැක ඇත…. නමුත් රෝහල් ගත වෙන්නට ඔවුන් බය අනික් අයගේ රෝග බෝ වේ යැයි බියෙනි

මේවට දෙයියන්ගෙ ලෙඩ කීවෙත්, ඉබේම වැළඳිලා ඉබේම හොඳ වෙන නිසා.

මේ වෛරස එක්ක ගණු දෙනුව හරි අමාරු වෙලා තියෙන්නේ වෛරස් ශරීරයට ඇතුල් වූ වහාම අපේ සෛලයක් ආක්‍රමණය කරගෙන ඒවා ඇතුලේ ජීවත් වෙන නිසා. ඉතින් ආසාධිත සෛල හඳුනාගෙන ඒකට විරුද්ධව සටන් කිරීම අපේ ඇඟෙන්ම සිදුවිය යුතු වෙනවා. සාමාන්‍යයෙන් බැක්ටීරියා වලට නම් රුධිරය ඔස්සේ දෙන ප්‍රතිජිවක වලින් ලෙහෙසියෙන් ආසාධනය මැඩ පැවැත්විය හැකිය.

ඉතින් දැන් මේ නිතර තමන්ව වෙනස් කරගන්නා වෛරස නිසා අපිටත් ඒවට අපේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය හෙවත් ඔය රෝග එක්ක සටන් කරන සොල්දාදුවො සෙට් එක ( Immune system) ලෑස්ති කරන්න බෑ. දැන් ඔය පොඩි කාලේ ඉඳන් දෙන එන්නත් වලින් කරන්නේ අපේ ඉමියුන් සිස්ටම් එක හෙවත් ප්‍රතිශක්තිකරණ පද්ධතියට , මෙන්න මේ ආකාරයේ වෛරස් එන්න පුළුවන් ඒවට මෙහෙමයි සටන් කරන්න ඕනෙ කියලා පොඩි පෙරහුරුවක් දෙන එක. පොඩි ප්‍රමාණයකින් එම වෛරස හෝ කොටස් එන්නත් කරන නිසා රෝගය හැදෙන අවධානම බොහොම අඩු ප්‍රතිශතයක තියෙන්නේ. එතකොට ඒ උගත් පාඩම් වල උපකාරයෙන්, බොහෝ ළදරු කාලයේ වැළඳිය හැකි ලෙඩ රෝග වලින් දරුවා ආරක්ෂා වෙනවා.

ඉතින් වෛරස වලට බෙහෙත් නෑ… ඒක හරි ! අපිට කරන්න පුළුවන් සැර බාල කරන එක, දැනීම් විඳීම් අඩු කරන එක. උණ, වේදනාව, දද කුෂ්ඨ එහෙම ඒවට අවශ්‍ය ප්‍රතිකාර කරන එක. ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කරන එක. විජලනය නොවී තියාගන්න එක.

ඉතින් ඩෙංගු උණත් එහෙමයි. වෛරස් ගණයට වැටෙන්නේ. ෆ්ලාවි විරිඩෙ කියලයි ඔන්න අපි ඉගෙන ගත්තෙ.

මේ මාස කිහිපයක් ම… ඩෙංගු අධික පළාත් ආශ්‍රිතව වසන නිසා ඩෙංගු උණ ලක්ෂන සහිත ළමුන් දෙතුන් දෙනෙක්වත් දිනකට ඇඩ්මිට් වෙනවා ඒ අයගෙන් එක්කනෙක් හෝ සමහර විට සියලු දෙනාම අඩු ප්ලේට්ලට් සහිතව සහ අසාධ්‍ය තත්වයට පත් වෙනවා. ඒ අතරිනුත් ශරීර අභ්‍යන්තරයේ තරල එක් රැස් වීම් සහිතව “leaking” ඒ කියන්නේ රුධිර වහන තත්වයන් සහිතව අසාධ්‍ය වෙන්නේ අඩු ප්‍රතිශතයක්.

දැන් ප්‍රතිශතයක් ලෙස ගත්තොත් අපි 90% දෙනාට ඩෙංගු උණ වැළඳී රෝගාතුර වෙන්නෙ නෑ. 10% විතර දෙනෙක්ට හැදෙනවා, රෝහල් ගත වෙනවා, නමුත් ඒකෙනුත් අසාධ්‍යම වෙන්නේ 1%.කට.

“ඩෙංගු කියන්නෙ මැරෙන්න ඕනෙ ලෙඩක් නෙමේ… ඔන්න තමන් යටතේ ඉන්න ලෙඩෙක් මැරුනොත්, හවුස් ඔෆිසර්ව තමයි මම යවන්නේ මිනිස්ට්‍රියේ තියෙන නඩු විභාග වල වග උත්තර බඳින්න” වැහි කාලේ පටන් ගන්නකොටම කායික වෛද්‍ය වාට්ටු වල සීමාවාසික පත්වීම භාර ගත්ත මටත් අනිත් සීමාවාසික වෛද්‍යවරියටත් අපේ, විශේෂඥ වෛද්‍ය තුමිය දුන්න විධානයෙන් අපි භය බිරාන්ත වෙලා ගියා.

ඒකාලේ එක දිගට ඇඳන් පහ හය දෙපැත්තෙම ක්‍රිටිකල් ලෙඩ්ඩු මූත්‍රාත් ලේ පැහැයෙන් යන අය, කොහොම හරි කරදරයක් නොවී එක මනුස්සයෙක් වත් නොමැරී අනේ අපේ දුෂ්කර සේවා කාලය නිමා වුනා.මතකනේ අර මම කලින් ලීවේ, එක පැත්තක හිටපු Ltte අයෙක් සහ අනික් පැත්තේ ලංකා හමුදාවේ සොල්දාදුවෙක් දෙන්නම, ඩෙංගු උණ් හැදිලා ඉන්නකොට කළ කී දෑ එහෙම. හැබැයි වාට්ටුවේ කොච්චර ලෙඩ්ඩු හිටියත් ඒ අයට විදින මදුරුවෝ අපිට විද්දත් ඩෙංගු නම් හැදුනේ නෑ.

ඩෙංගු උණ ලක්ෂන ගැන අපට වඩා සමාජය දැනුවත් බව ඇත්ත නමුත් එහෙනම් ඇයි අපිට මේ මරණ වලක්වා ගන්න බැරි.

ගොඩක්ම ඒකට හේතුව, අපේම නොසැලකිල්ල. රෝග වාහක මදුරුවන් බෝවන තැන් ගැන සැලකිල්ලක් නැතිවා වගේම, උණ හැදුනම තමන් ගැන බලා ගන්න උවමනාවකුත් නෑ.

එක තාත්තෙක් තමන්ගේ දරුවෝ තුන්දෙනාගෙන් දෙන්නෙක්ම ඩෙංගු උණ හැදිලා නවත්තගෙන හිටියා. අම්මා නැතිවෙලා තිබුනේ ඩෙංගු උණෙන්. දරුවන්ටත් උණ කියමින් ගෙදර වැඩපළ කරමින්, තාත්තාට උණ ට ගෙනාපු බෙහෙත් බොමින් ඉඳලා ඒ අම්මා නහයෙන් ලේ ගලලා ගෙදර කලන්තෙ දාලා මැරිලා වැටෙනකන්.

මෙහෙම කතා ඕනෙ තරම්… ගොඩක් දරුවො එක්ක එන අම්මලාව අපි යවනවා වැඩිහිටි වාට්ටු වල ඇඩ්මිට් වෙන්න. බලද්දි අම්මලටත් උණ.

ඉතින් දවස් තුනකට වඩා උණ තියෙනවනම් අනිවාර් යයෙන් වෛද්‍යවරයෙක් හමුවෙලා රුධිර පරීක්ෂනයක් කරගන්න. ඩෙංගු ඇන්ටි ජන් හෝ ඇන්ටි බොඩී කිරීම අනිවාර්යය නෑ. සාමාන්‍ය රුධිර පරීක්ෂනයක් ඇති. ඒකේ සෛල ගණන් මගින් සහ පැක්ඩ් සෙල් වොලියුම් කියන රුධිරයේ සංඝටක වල ප්‍රමාණය යන මේ දත්ත වලින් වෛද්‍යවරයෙක්ට ඩෙංගු උණ හෝ නොවන බව අනුමාන කළ හැක.

අවශ්‍යම දේ හරියට මැනලා ශරීරගත කරන්න ඕනෙ ද්‍රාවන ප්‍රමාණයන් ඒ ආකාරයෙන්ම දෙන එක. ඒකට ශරීර ස්කන්ධය අනුව සහ රුධිර පරීක්ෂාවේ අගයන් සහ පිටවන මූත්‍රා ප්‍රමාණය මැන බලා ඒ අගයන් එක්ක සංසන්ධනය කරමින් තමයි බර අනුව අවම ප්‍රමාණ මෙන්ම උපරීම ප්‍රමාණ තීරණය කළ යුත්තේ. ඒකට රෝහල් ගත වීම අවශ්‍යමයි.

හරියට මේ දේවල් කළොත් ඩෙංගු රක්තපාත උණ තත්වය උනත් හොඳින් පාලනය කර ගත හැකියි. ඒත් ගෙවල් වල ඉඳගෙන ගොඩ වෙදකම් කරමින් අන්තිම මොහොතේ අමාරුම වෙලා ,රෝහල් ගත වුනාම නම්, මේ තත්වයෙන් ගොඩ ගන්න අමාරුයි. අවයව ඉන්ද්‍රිය පද්ධති වලට එතකොටත් වෙන්න පුළුවන් හානිය සිදුවෙලා නිසා.

අනික තමයි දරුවන් වුනත් බොන්න බෑ කියද්දී අම්මලා ආ එහෙනම් කමක් නෑ කියලා නිකම් ඉන්න එක.. එහෙමත් නැත්නම් “කන්නෙ නෑ බොන්නේ නෑ අනේ කවන්න ” වගේ දෙයක් ලෙඩුන් උතුරා ගලන වාට්ටු වල එහෙමෙහෙ දුවමින් හෙදකම් කරන මිස්ලාට කියන එක. සේලයින් එකක් එල්ලනකම් ඔය දේ මතුරන එක.

ඊළඟට ආහාර, කඩේන් ගේන ඒවා නොදෙන තරමට හොඳයි. ඔය පිටට පාචනය , බඩ එළියේ යෑම වගේ දෙයක් ඇති වුනොත්. අපේ වාට්ටුවෙත් බබාලගෙ ලොකර් උඩ තියෙන්නෙම , ගෑස් පැණි බීම, කලරින් පුරවපු බෝතල්.

මම අම්මගෙන් අහන්නේ ” ඔය බීම එකේ තියෙන ඒවා දනන්ව ද? ලේබල් එක කියවන්න, නොදන්න ජාති තියේ නම් දෙන්න එපා. ” කියලයි

කොහොමත් ලෙඩින් ඉන්නකොට කඩ කෑම, ගෑස් සහිත වර්ණක අඩංගු බීම නම් දෙන්නම එපා. ඊට අමතරව රතු පැහැය ඇති කිසිම දෙයක් දෙන්න එපා. මොකද හදිසියේ වමනේ ගියොත්, මලපහ ගියොත් එහි රතු පැහැය තිබුනොත් අපට බේරුමක් කරගන්න අමාරුයි ඒ ලේ වමනේ යෑමක්ද නැත්නම් ආහාර වල ඩයි නිසා හෝ බීට්‍ රූට් නිසා වෙච්ච රතු පැහැ වීමක්ද කියලා.

ප්‍රතිශක්තිකරණය වර්ධනය කරන, ඇඟට ගුණදායක කෑම, දිරවන්න පහසු කෑම, ස්වභාවික ආහාර වැදගත්, ස්වභාවික පළතුරු බීම, විටමින් c බහුල පැඟිරි ගණයේ පළතුරු, කොළ දොඩම්, දෙහි නාරං යුෂ වගේ දේවල්. හැබැයි ඕනම දියරයක් වෛද්‍යවරුන් නිර්දේෂ කරන ප්‍රමාණවලට දෙන්න වග බලාගන්න.

ලෙඩ හොඳවෙන්න සියයට හැත්තෑ පහක් පමණ නිසි ආහාර ජලය සහ සනීපාරක්ෂාවයි වැදගත්. එනිසා කුඩා දරුවන් සහ ඇඳන් වලට සීමාවූ වයසක රෝගීන් වෙනුවෙන් උපස්ථාන කරන්න ඒ අය බලාගන්නා අයට ලොකු වගකීමක් තියෙනවා !

– වෛද්‍ය බෝධිනී සමරතුංග

Leave a Reply

Your email address will not be published. Required fields are marked *