අදිසි සංග්‍රාමය

මීට සති කිහිපයකට කලින් මම දකිනවා රහස් පරීක්ෂක ශානරයේ ස්පර්ක් පොත් මාලාව ලියූ ආචාර්ය බුවනෙක සේනානායක මහතාගේ සටහනකින් ඒ පොත් සඳහා පෙරවදනක් ලෙස ලියූ පොත e book එකක් ලෙස කියවන්න තිබෙන බව.

ලංකාව පාදක කරගෙන ලියූ මේ කතා මාලාව තුළ ප්‍රධාන චරිත ලංකාවේ මහජන ආරක්ෂාව වෙනුවෙන් ක්‍රියාත්මක වෙන රහස් ආරක්ෂක හමුදාවක සේවය කරයි. නවීන තාක්ෂණ හා මුසුව ක්‍රියාත්මක වෙන මේ සේවාවේ කතාව දිග හැරෙද්දී එය විද්‍යා ප්‍රබන්ධය ක හැඩය ගන්න බව ද පෙනේ.

අප දන්නේ “බෙහෙත් දෙන්න බැරි දොස්තර” ලෙස ඔහුම හඳුන්වන බුවනෙක මහතා සමාජ විද්‍යාඥ යෙක් බවයි. ඔහුගේ ෆේස්බුක් පිටුවෙන් ඔහු නිතර සමාජ විශ්ලේෂණ මෙන්ම එතුමාගේ ජීවිතයේ විශේෂ සිදුවීම් බොහොම රසවත් ලෙස ඉදිරිපත් කරන කෙනෙක්. එහෙත් මේ කතාව කියවද්දී ඒ ආශ්‍රිත දැනුම සහ ලියූ කරුණු කාරණාවල ප්‍රබන්ධයකට එහා ඇති තථ්‍ය බව ද පෙනෙන්නට තිබේ. සමහර සිදුවීම් ඔහු ලියූ අතීත කතා සමග සමපාත වෙන බව පෙනෙනවා.

රටක ආරක්ෂාව වෙනුවෙන් ඒ රට තුල නොයෙක් ආකාරයේ ආරක්ෂක සේවා ක්‍රියාත්මක වේ ඒවා ඇතැම් විට ජාත්‍යන්තරව විහිදුණු ජාල සමඟ ආරක්ෂක ජාල සමග සම්බන්ධව පවතී. අපේ අල්ලපු රටේ උනත් දැන් දැන් බොහෝ විට සිනමා නිර්මාණ සඳහා පාදක වෙන්නේ රටේ පවතින ආරක්ෂක දෙපාර්තමේන්තු හෝ සංවිධානවල සේවය කරන අතර තම දිවි පරදුවට තබා දේශය වෙනුවෙන් ක්‍රියාත්මක වෙන නොදුටු හෝ නිහඬ විරුවන් කරළියට ගෙනෙන්නටයි.

පහුගිය අවුරුද්දේ මම නැරඹූ family man නම් ඉන්දීය වෘතාන්තයක් මට මතක් වෙයි. එහි ද ඒ රහස් සංග්‍රාම ඉන්දීය දේශපාලනයේ තීරණාත්මක සාධකයක් ව තිබෙන බව පෙන්වා දෙයි. මේ SPARC කතා මාලාවේ කතා නායකයාද සේවය කරන්නේ හිතාගන්නට බැරි ක්‍රියාන්විතයක යෙදෙන අප රටේ සැඟවුණු ආරක්ෂක ඒකකයක පුද්ගලයකු ලෙසය. ආලියා බාත් රංගනයෙන් දායක වන Raazi ඉන්දීය චිත්‍රපටය තුළ අප දකින්නේද වෙස් වලාගෙන අනෙක් රටවලට ගිහින් ඔත්තු සපයා තමා ජීවිතය ද මරු කටේ දමා එන දේශප්‍රේමීන් ගේ වික්‍රමයන්.

ආචාර්ය බුවනෙක ලියූ අදිසි සංග්‍රාමය නවකතාව කියවද්දි එහිදී ඉස්මතු වෙන කාරණා කිහිපයක් තිබේ. එනම් මුළු රටම බොහොම සාමකාමීව නිදිසුව ලබද්දී පවා ආරක්ෂක නිලධාරීන් සමාජයෙන් සැඟවී සමාජයේ ආරක්ෂාව වෙනුවෙන් ක්‍රියාත්මක වෙන බවයි. ඔවුන්ට ඇතැම් විට අතුරුදහන් වෙන්නට සිදුවේ. පුද්ගලික ජීවිතයක් නොමැති අතර ඔවුන්ගේ ඉදිරිය පවා අවිනිශ්චිතයි.

ඔත්තු සේවාවල යෙදෙන එවන් මිනිසුන් ගැහැනුන් ගැන අනන්තවත් චිත්‍රපටි මැවෙනවා. ඉන්දියාවේ ද ඒවා සුලභයි. නමුත් අපේ රටේ සිනමාව තුළ එවන් කතා හමු වෙන්නේ කලාතුරකින්. ස්පාක් නමින් හඳුන්වන පොත් පෙළ කියවන්නෙකුට කලින් සඳහන් කළ රට රැකීම තම මුල්ම කාර්යය කර ගත් නිහඬ විරුවන්ගේ වික්‍රම දකින්නට ලැබෙනවා. එයට ශ්‍රී ලාංකික පැහැයක් ලැබී තිබෙනවා.

නමුත් එය ශ්‍රී ලාංකික හැඩයක් ගෙන තිබේ. පාතාලයද ඒ ආශ්‍රිත ව්‍යාපාරද ඉතා තදින් පවතින කොළඹ ගෙන්දගම් පොළොවෙ ජීවත් වූ අපට බොහෝ අනීතික ක්‍රියාවන්වල ප්‍රතිඵල දකින්න ලැබෙන්නේ අවට සමාජයේ ඒවාට ගොදුරු වූ දරුවන් තරුණයන් තරුණියන්ගේ ජීවිතවල ඛේදවාචකයන්ගෙනි. ලෝකය පුරා පැතිර ඉන්න මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවන පිරිස් සැරින් සැරේ ලංකාවට ගෙනෙද්දී අපි දකින්නේ අප රටේ ආරක්ෂක අංශ කොයිතරම් සූක්ෂමව ක්‍රියාත්මක වෙනවාද කියාය. ඉතින් SPARC නවකතා පෙළ එහෙව් නිහඬ විරුවන්ගේ වික්‍රමාන්විතයන් ප්‍රබන්ධමය ස්වරූපයකින් පාඨකයා වෙත ළඟා කර තිබෙනවා.

මම දින දෙකක් ඇතුලත ඒ පොත කියවා නිම කළේ දුම්රිය යන එන ගමන්. ඒ තරම් සරලව සුමට ලෙස එක දිගට කියවගෙන යා හැකි ලෙස ඔහු ලියලා තියෙනවා.

විශේෂයෙන් රැගෙන යන්න ඕනේ පොතක් නොවුණු එකත් අතේ තිබෙන තාක්ෂණික මෙවලමෙන් කියවන්න හැකි වුණු නිසාත් මේ තරම් ඉක්මනින් කියවගෙන යන්න පුළුවන් කම ලැබෙනවා.

SPARC කතා මාලාවට පෙර වදනක් ලෙස ලියූ අදිසි සංග්‍රාමය පොත කියවා හමාර වුණත් එම කතා මාලාව දිගටම කියවන්නට උවමනා වුවත් ඒ සඳහා කාලය හරස් වෙනවා. ඒවාත් කියවා සටහනක් යොදන තෙක් මේ සටහන ලියා තබනවා.

මේ අදිසි සංග්‍රාමය E book එක Dr. Buwaneka Senanayake Facebook පිටුවෙන් බාගත කළ හැකි අතර ඔහුගේ අනෙක් පොත් සුරිය, ග්‍රන්ථ ඇතුළු පොත් සැල්වල ද ගූගල් පොත් වලින් ඩිජිටල් කෘතියක් ලෙස ද කියවන්නට හැකියි.

වෛද්‍ය බෝධිනී සමරතුංග

Leave a Reply

Your email address will not be published. Required fields are marked *