ඒ ළමයි බලන්න එපා නෝනා….

ඒ කාලේ අපේ ළමා රෝග ක්ලිනික් එකට ආපු විශේෂ ආබාධ සහිත දරුවෝ කීපදෙනෙක්ම හිටියා. ආලවට්ටම් කථාවට ඉතින් සෙරමල්ලා හරිම යාලුයි මා එක්ක. කාරුණික වෙන එක ඇත්තටම ක්‍රියාත්මක වෙනවා කියලා හිතෙන්නේ රෝහල් වලදී… හැමෝම දැඩි ආතතියකින් ඉන්නේ. ඒ වෙලාවට පුදුමාකාර ඉවසීමක් තියෙන්න ඕනේ. එහෙම නැති වුණු වේලාව ල මටත් තියෙනවා. මමත් ඒවා ආවර්ජනය කරලා නැවත සිදු නොවෙන්න වගබලාගෙනත් තියෙනවා.

ඉතින් මම කලින් ලීව කතාවල හිටිය දරුවෝ වගේම , අර “මගේ නම ලාවන්යා” “ඔහුට පාසැලක්” ඒ කතාවල වගේම තමා අනිත් ළමයිනුත් හරි යාලුයි.

එහෙම ක්ලිනික් එන ඩවුන්ස් සින්ඩ්‍රෝමය තිබ්බ එක පුතෙක් මම එයාගේ හර්දය පෙනහළු සේරටම නලාව තිබ්බ ට පස්සේ එයා ම නලාවේ බෙල් කොටස අරන් ඔළුවට තියලා කියනවා එයාගේ ඔලුව බලන්න එතනයි ප්‍රශ්නෙ කියලා. බොහෝවිට මෙයාලා අභිනයෙන් පෙන්වන්නේ දේවල්.

ඒ තමා ඒ දරුවාට එයා ගැන තියෙන වැටහීම. සමහරු අපිව බදාගෙන හාදු දීලා යන්නේ.

මේවා එක්ක බොහෝවිට හිත ඇතුලෙන් අඬමින් කඳුළු උනන ඇස් දෙක හංගාගෙන වැඩ කරන්නේ.

දවසක් මම බලද්දී ක්ලිනික් එකේ කාලගොට්ටියක්… ඒ දරුවෙක්ට මා ළඟට යන්න එපා අනික් වෛද්‍ය වරිය ළඟට යන්න කියලා. මාවම හොයාගෙන ඇවිත් මම නැත්නම් බෑ කියලා ළමයා අම්මගේ අතින් ඇදගෙන යන්න හදනවා.

“ඩොක්ටර් ඉන්න තත්ත්වේ අනුව ඔහොම ළමයි බලන්න හොඳ නෑ” වැඩිහිටි සේවිකාව එහෙම කරුණු දක්වනවා. මම ගර්භණි තත්ත්වයේ එතකොට.

“අනේ මොනවටද එහෙම කරන්නේ. ඔය වගේ ළමයි බල බල තමා කාලේ ගෙව්වේ සහ ගෙවෙන්නේ. කිසි ප්‍රශ්ණයක් නෑ. බඩේ ඉන්න කෙනා හැදෙන විදිහකට හැදෙයි. ඇරත් ජාන සහ කර්ම සැකැස්ම අපට වෙනස් කරන්න බෑනේ ” වගේ අදහස් ගොඩක් කීවා මම.

මගේ යෙහෙළිය රන්දිකාගේ පුතා අසනීප වුණාම එයා එක්කම ඇඩ්මි වුණේ අපේ වාට්ටුවෙ.

රන්දිගේ දරුවා හිටපු ඇඳට එහා ඇඳේ හිටියේ cerebral palsy නිසා ආබාධිත තත්තවය ට පත්වූන බබෙක්. ඒ අම්මත් රන්දිකාට කියලා තිබ්බා “මේ දරුවා දිහා බලන්න එපා ඔයාට හොඳ නෑ කියලා …” මොකද රන්දිකාත් ගර්බණි තත්ත්ව යෙන් හිටියේ එවෙද්දි.

අන්න එහෙමයි හැටි මේ සමාජයේ… ඇයි අපි ඒ දරුවොන්ට වෙනම සලකන්නේ ? ඇයි අපි සුබ දේ අසුබ දේ කියා ඒ දරුවන් බලන්නවත් හොඳ නැති අය ලෙස වර්ගීකරණය කරන්නේ. එහෙම දරුවෝ බැලුවා කියා කුසේ ඉන්න දරුවා එහෙම වෙනවා කියා බොරු ආකල්ප වැරදි අදහස් සමාජය තුළ ස්ථාපිත වුණේ කොහොමද ?

මනෝ පබ්බංගමා ධම්මා … කියලා ඉස්කෝලෙ බුද්ධාගම පාඩමේ හිත තමා සියල්ලට මුල් වෙන්නේ කියලා ඉගෙන ගෙන ඒ හිත හදාගන්න අපිට දැනුම් තේරුම් තියේ න ඕනෑ නේද ? ඇරත් මවගේ පියාගේ ජාන සැකසුමෙන් බෙදී ඇවිදින් තිබෙන ජාන එක් වෙන එකත් අහඹු ලෙස සිදුවන දෙයක්… ඒ වගේ ජාන සැකසුම් නිසා මේ තත්ත්වයන් හට මුහුණ දෙන දරුවන් වෙත එසේ වැරදි අදහස් සහ ලේබල් ගසන්නේ කෙසේද ?

මට මතකයි තව අපේ වෛද්‍යවරයෙක් වුණ උදිත අයියා කියන කථාවක්. “එහෙම බබලා හරිම වාසනාවන්තයෝ. පවුලටම වාසනාව ගෙනාවා. මෙයාලව හොදින් බලාගන්න . ඔයාලා බලන්න ඔයාලගේ පවුලම දියුණු වෙනවා” කියලා එයා ඒ අලුත් අම්මලාට තාත්තලාට කියනවා.

පින්තූරේ ඉන්නේ මම , මාස අටක විතර ගර්භනී කාලය වෙද්දී පෙනහළු ආසාදන පවා හැදිලා ප්‍රතිජීවක එන්නත් ගන්න වුණා. ඊට කලින් ඉඳලම පැවති හුස්ම ගැනීමේ අපහසුව සහ ළමා වාට්ටු වේ ආසාදන වැළඳෙන එකත් අඩු නෑ. එහෙම දවසක ඔහොම රෑ වැඩ වෙලාවක වෝඩ් රවුන්ඩ් එකෙන් පස්සේ ඇදුම අඩු වෙන්න ඉඳගෙන නේබියුලයිස් කරගන්නවා ෆොටෝ අරන් තිබුනා. හෙදියන් මගේ සහෝදර වෛද්‍යවරියන් සහ වෛද්‍යවරු එහෙම හැබැයි හොඳටම උදව් කළා. එහෙම කියලා රාජකාරිය පැහැර හරින්න බෑ නේ.

වෛද්‍ය බෝධිනි සමරතුංග

Leave a Reply

Your email address will not be published. Required fields are marked *