හිර කූඩු

නැවතුමක් හෝ ඇරඹුමක් කවදා කොහේදී සිදුවීද නොදන්නා ගමනක යෙදෙන මානවයින්ගේ ජීවිත දෙස විචක්ෂණශීලී ලෙස හැරී බලන කතන්දර හමුවෙන්නේ කලාතුරකිනි. එදිනෙදා හමුවන කරුණු කාරණා ඔස්සේ ලියැවුණු පෙම් පළහිලව් හෝ ගැහැණු පිරිමි සම්බන්දතා ඔස්සේ කියවෙන කතාන්දර අද සුලභව හමුවේ. එහෙත් මානව සබඳතා ඔස්සේ ජීවිතයේ යථා ස්වරූපය පිළිබඳ විමසන, මිනිස් සිතෙහි නොයෙක් ස්වරූප කෙරෙහි අප සමීප කරන, බෞද්ධ දර්ශනය ගුරු කොට ලියැවුණු නවකතා පොතක් කියවන්නට ලැබුනේ කලකිනි. අප යොවුන් වියේදී කියැවූ ජයසේන ජයකොඩි සූරීන් ලියූ පිච්ච මල කතා මාලාව කියවද්දී දැනුනු විමසූ දහම් කාරණා සම්මිශ්‍ර වූ පෘතග්ජන ලෝක ස්වභාවයන් මේ පොත කියවද්දී ද දැනෙන්නට වුනත් මේ පොතෙහි ඇත්තේ ඊට වෙනස් වර්තමාන සමාජයේ කතාන්දරය කි.

Author – Dr. Sujeewa Hemamali

“උන් වහන්සේ මඳ වේලාවක් සිය ස්වභාවික සුසුම් රැල්ලට හිත යොමු කරමින් නිසල වෙමින් සිටිය හ. ආශ්වාස ප්‍රශ්වාසයෝ උන්වහන්සේගේ සිරුර නිවා දමමින් පැවතිණි.” (හිර කූඩු)

පොත ආරම්භයේ සිටම සීලරතන ස්ථවීරයන් තම හිතේ ස්වභාවයන් තේරුම් ගන්නා ආකාරය ද, එය තුළින් කියවන අපටද දහම් කරුණු කාරණා ඉගෙන ගත හැකි වීමද අගනේය. සුජීවා හේමමාලී සිය දෙවෙන නවකතාව තුළින් ඇයගේ පෙර පොතට වඩා ඉදිරියට ගිය රචනයක් ගෙන හැර පානා බව කිව යුතුය.

නදීර සහ සහේලි පාසැල් මිතුරන් ලෙසින් ද පෙම්වතුන් ලෙසින්ද, විශ්ව විද්‍යාල ශිෂ්‍යයින් ලෙසින් ද විවිද කාලයන් හි ගත කරන ජීවිතය මේ පොතේ දිග හැරෙන්නේ වෙනස් ආකාරයකිනි. නදීරගේ වර්ථමානය සීලරතන හිමියන් ලෙස ද සහේලි ගේ වර්ථමානය දොස්තර සහේලි ලෙස ද දිග හැරෙද්දී අතරින් පතර අතීත කතාවස්තුව ගෙන එන්නේ නදීර සහ සහේලි යන පෙම් යුවලගේ ජීවිතය තුළ ඇතිවූ හැල හැප්පීම් සමග ය. එහිදී වර්ථමානයේ ඔවුන්ගේ ජීවිත තුළ ඉන්නා පිරිස සහ සිදුවීම් ගැන කුතුහලයක් නිරන්තරයෙන් ඇතිවේ. එක දිගට කියවාගෙන යා හැකි තරම් කුතුහලය රඳවාගෙන කතන්දරය කීමේ ස්වභාවය ඇය ප්‍රගුණ කර ඇත. වර්ථමානයේ කතා පුවත අතරේ අතීතය සහ වත්මන අතර කතාව දෝලනය කරමින් අවසානය තෙක්ම මෙහි පැටලුම් හරින්නට මග බලාගෙන කියැවීමට මට සිදුවිය. ඇය ඉතා සංයමයකින් භික්ෂුභාවයේ වපසරිය පැහැදිලි කරමින් ලියා තිබෙන අතර උදාහරණයක් ලෙස භාවනා ක්‍රමයන් පිළිබඳ හරවත් සංවාදයක් ගොඩනඟන්නීය. නවීන ජීවන ක්‍රමයන්ට අනුගතව කැබිතිගොල්ලෑව, පේරාදෙණිය වැනි නගර පරිසර වර්ණනා විස්තර කිරීමේදී ඒ පිළිබඳ හොඳ හැදෑරීමක් කර ඇති බව පෙනේ.

“කිසිවකු පෙනෙන තෙක් මානයේ නොමැති ව පුරුදු පන්ති කාමරය තුළ තනි වුව ද ඒ ප්‍රේමවන්තයන් සිටියේ සිරුරින් ස්පර්ශ නොවී ය. හදවතින් ගිලී වෙළාගෙන ය. එකිනෙකාට දක්වන ගෞරවය හා ආදරය මෙසේ වූ අතර පීදෙන තුරුණු හැඟුමකට මේ සෙනෙහස හෑල්ලු නොවී තිබිණි “ (හිර කූඩු)

ගිහි කල තමන්ට සොයා ගත නොහැකිව අතුරුදහන් වූ පෙම්වතිය තම ඇස් ඉදිරිපිට සිටිද්දී සීලරතන තෙරුන් කුමක් කරාවි ද? ඒ තරම් පෙමින් බැඳුණු අය ඇසිල්ලකින් වෙනස් විය හැකි ද ? ඇයගේ වර්ථමාන සැමියා කවුරුන්ද ? ඒ නොබැඳි බැඳුමේ අර්ථය කුමක් ද? මේ ආකාර ජීවිත මේ මිහිපිට පවතිනවා ද? මේ පොත කියවාගෙන යන අතර මසිතෙහි පැන නැඟුනු ප්‍රශ්න ය. ඒ ප්‍රශ්න සියල්ල බොහෝ සීරි මාරුවෙන් විසඳමින් හිර කූඩු පොත තණ්හාව ආශාව පසුපස හැල්මේ දිවයන සමාජයේ එක්තරා කුලකයක අපිස් ජීවිතස්වභාවයන් නිරාවරණය කරයි. මෙහෙම දෙමාපියන් සිටිය හැකි ද කියා ඇතැමෙක්ට සිතෙන්නට පුළුවන. එහෙත් එවන් දේ පුවත් මඟින් ඇසූ දුටු කාලයක් නිසා මට මේ තරම් පිරිහීමක් සහිත ජීවිත මේ පොතෙන් කියවන්නට ලැබීම අරුමයක් නොවේ. ඇය මහපොළොවේ යතාර්ථය පොතේ අමුවෙන්ම ලියූ අවස්ථාද අඩු නොවේ.

හැඟීම් වලට වහල් නොවී අරමුණක්, අභිලාෂයක් ඇතිව තම තරුණ වියේදී ජීවිතය හැඩගස්වා ගන්නා අයුරු නදීරගේ ජීවිත දර්ශනය තුළින් පෙනේ. එනමුත් සියල්ල කණපිට හැරෙන්නේ නොසිතූ අයුරිනි. තරුණ තරුණියන් වෙත ජීවිතයේ වෙනස් මානයන් ගෙන හැර පෙන්වන මේ පොතේ බොහෝ බැරෑරුම් ජීවන දර්ශනයක්, ආගමික උරුවක් සහිත පරිච්ච්ජේද මෙන්ම ලෞකික ජීවිත ආශාවන් කෙරෙහි බැඳුනු ස්ත්‍රීපුරුෂ සබඳතා ද ලියා තිබෙන ස්වරූපය ඇයගේ රචනාවේ ඇයටම අනන්‍යවූ ලක්ෂණ පෙන්නුම් කෙරේ.

තම දෙවන නවකතාව තුළින් වෙනස්ම පැහැයක කතාවක් ගෙන ආ සුජීවා හේමමාලී වෛද්‍ය වෘත්තීය තුළින් ලද දැනුම ද මේ පොතේ ඇතැම් සංසිද්ධීන් විස්තර කිරීමට භාවිතා කර තිබෙන අයුරු ප්‍රශංසනීය ය. ඇයගේ පළමු නවකතාව විද්‍යා ප්‍රබන්ධයකි. මේවා එකිනෙකට වෙනස් ෂානරයේ පොත් ය. හිර කූඩු පොතේ කතාව නොලියා පොත ගැන ලියා තබන්නේ කියවන ඔබගේ රසවින්දනයට බාදා නොවන අයුරිනි.

කර්තෘ – සුජීවා හේමමාලී
පොත – හිර කූඩු
ප්‍රකාශනය- සූරිය ප්‍රකාශන

සටහන – වෛද්‍ය බෝධිනි සමරතුංග

Leave a Reply

Your email address will not be published. Required fields are marked *