සමාජයේ අත්‍යාවශ්‍යම වූ කතාබහක නිරත වෙන කාලීන කතන්දරයක් වන අස්බැන්දුම් කෘතිය, බොහෝ කාලයක් තිස්සේ අප සමාජ මාධ්‍යයේ, විතැන් ෆේස්බුක් පිටුව ඔස්සේද වට් පෑඩ් එක ඔස්සේද බොහෝ කෙටි කතා සහ නවකතා ලියූ මධුෂිකා රාමනායක කතුවරියගේ කුළුඳුල් ස්වතන්ත්‍ර නවකතාව ය.
ඇස්බැන්දුම වර්ථමාන සමාජයේ කැළඹීම් ඇති කරන සුළු මාතෘකා රැසක් ඔස්සේ වියුණු පවතින ක්රමයේ අඳුරු අහුමුලු හුවා දක්වමින්, කියවන්නා තුළ අවබෝදයේ පහන් එළි දැල්වීමට සමත්වන සාහිත්‍යමය බස් වහරක් සහිත විශිෂ්ට නවකතාවකි.
මේ කතාව කියවද්දීම මා අසා දන්නා සත්‍ය ජීවිත කතා ද ඒ නිසා අප්‍රමාණ දුක් වේදනා උසුලාගෙන ජීවිත කන්ද තරණය කළ අය ද, දරාගත නොහැකි තැන ජීවිතය අත් හැරි අයද මට මතක් වූයේ නිරායාසයෙනි. අග්‍ර, තමන්ගේ ජීවිතයම තමන්ගේ පවුල වෙනුවෙන් කැප කළ, ඒ නිසාම අනාගතය පවා උගස් කළ තරුණයෙක්, උත්තරා බලාපොරොත්තු දහසක් අත ගුළි කරගෙන නොසිතූ මොහොතක ඒ සියල්ල ගං දියේ දමා ජීවිතේ එකම බලාපොරොත්තුවක් මත්තේ සහනය සෙවූ අපේ කාලයේ පටාචාරාවක් වගේ. මිහේලියා නිධාන් මේ හැමෝම සමාජ ක්රමයේ අවුල නිසා, ඔවුන් ගොඩ නැගුනු පවුල් පරිසර වල අවුල් නිසා ජීවිතය ආගාධවල හෙලා ගත් මානව මානවිකාවන්. පොතේ කතාව කියනවා වෙනුවට වෙනුවට මා මේ කතාවෙන් මතුකරනා සමාජ කාරණා පිළිබඳ ලියන්නට උත්සහ ගන්නේ මේ පොත දෙසට සමාජයේ සියල්ලන්ගේම නෙත සිත අවදිවේවායි පතමිනි.
තමන්ගේ ලිංගික දිශානතිය සමාජයෙන් සඟවාගෙන ජීවිතය ගෙවන්න වීම නිසාම තවත් බොහෝ රැවටීම් මැද ජීවිත බොහෝ ගණනක් වියවුලෙන් අවුලට පත්වන සුළු කතා අප සමාජයේ මෙන්ම අප අවට බොහෝ ජීවිත තුළ දක්නට ලැබේ. ස්වීඩන් ජාතික ගත් කතුවරියක විසින් ඇගේ සැබෑ ජීවන කතාන්දරය “min pappa Anne Christine” නමින් පළ කර තිබී මා කියවූයේ මීට මාස දෙකකට කලිනි. එම පොතේ තමන්ගේ පියාගේ ලිංගික විපර්යාසය ඔස්සේ ඇතිවන සමාජ කතිකාවත එවන් පුද්ගලයින්ගේ එනම් ට්‍රාන්ස්ජෙන්ඩර් නමින් හඳුන්වන බාහිරින් ලද ස්වරූපයට හෝ ලිංගේන්ද්‍රියන්ට හාත්පසින්ම වෙනස් ගැහැණු හෝ පිරිමි ආත්මයන් දරා සමාජ අපවාදයෙන් ගැලවීම පිණිස රහස් ජීවිත ගත කරන අයගේ චිත්ත සන්තානයේ රැඳි විස්සෝපයන් මනාව රචනා කර තිබුනි. මේ පොතෙන්ද, ගැහැණු හෝ පිරිමි ලෙස හැර LGBTQ ලෙස හඳුන්වන විවිධ ලිංගික දිශානතියන් කෙරෙහි පවතින සමාජ විරෝධය සහ තමන්ගේ ළඟම අය පවා, සැබෑ ස්වරූපයෙන් ඔවුන්ව පිළිගැනීමට තිබෙන නොහැකියාව සහ ප්‍රතිරෝධය නිසා සමාජයෙන් සැඟවී මවාපෑම් දහසක් අතර ජීවිත විඳවීමක සිටින යෞවන යෞවනියන් මෙන්ම වැඩිහිටියන්ද අදද මේ සමාජයේ බහුලය. ඇස්බැන්දුම් කෘතියේ තමෝධ නම් තරුණයාගේ චරිතය සහ ඔහුගේ ජීවිතයේ ඛේදවාචකයන් නිසා එවන් කම්පිත සමාජ සිදුවීම් බොහෝමයක් දෙස සංස්කෘතික සහ ආගමික මුහුණුවරින් බැහැරව හුදෙක් සහවේදනය සපිරි මානවවාදී වැටහීමක් තිබිය යුතු බව පහදා දේ.
තාක්ෂණයේ දියුණුවත් සමඟම ඇතිවූ මෙවලම් නිසා ජීවිත පහසු කරවන සුළු මෙන්ම විනාශකරවන සුළු වෙනස්කම් ඇති වී තිබේ. සුහුරු ජංගම දුරකථන. සමාජ මාධ්‍ය ජාල අත්හරින්නට අපහසු තරමටම ජීවිත වෙලාගෙන තිබේ. මේ ඇතිවුණු සමාජ පරිවර්ථනය සමස්ථ මානව සංහතියේම ජීවිතවලට ප්‍රබල ලෙස බලපා ඇති බව අප අවට ජීවිත මෙන්ම පුවත් මවන සංසිද්ධීන් ඔස්සෙ මනාවට පැහැදිලි වේ. සමාජ මාධ්‍ය තුළ ජය කෙහෙළි නංවමින් වෙනස්ම ආකාරයේ ජීවිතයක් මවා පෙන්වන්නන් මෙන්ම සමාජයේ සෙලිබ්‍රිටි පන්නයේ ජීවිත ගත කරන ඒවා නඩත්තු කරන්නට හෘද සාක්ෂියක් නොමැත්තන් සේ ක්‍රියා කරන මිනිසුන්ගේ අඳුරු අපිස් ජීවිත කතාවන් මේ වන විට බොහෝ සමාජ මාධ්‍ය ලියවිලි ඔස්සේද කලාකෘති ඔස්සේද නිතර කියවන්නට ලැබේ. එහෙත් අදටත් එවන් සොෂල් මීඩියා ඉන්ෆ්ලුවන්සර් මතින්, මධු බඳුන් පුරවාගෙන මත්ව තමන්ගේ ජීවිතයේ පත් ඉරු කපා කොටා විනාශ කරගන්නාවූ පිරිස් හිඟ නොවේ. එහෙත් ඒ අතර ම තමන්ගේ දිස්නයෙන් සැපවත්ව ඉන්නට පාර කපාගත් අයද නැණවත්ව ගුණවත්ව ජීවිතය එළිය කරගන්නා ගමන් අන් අයගේද සසර අවබෝධය වෙනුවෙන් බණ දහම් දෙසන භාවනා යෝග අභ්‍යාසයේ යෙදෙන්නට නිසි ලෙස ආහාර ලබාගන්නට අනුන්ව යහ මගෙහි යවන්නට පොළොඹවන සුළු ඉන්ෆ්ලුවන්සර් ක්‍රියාවලියක නිරත වන අයද සමාජ මාධ්‍ය ජාලා තුළ හමුවේ. නමුත් වැඩිපුර ඇත්තේ සෞන්දර්යය කෙරෙහි බැඳුනෝ මිසක සසර කෙළවර නිවීමක් සොයන්නෝ නම් නොවේ.
මේ කතාව තුළින් ද කියෙවන එක් අඳුරු පැතිකඩක් වන්නේ, වර්ථමාන සමාජ මාධ්‍ය ගොහොරුවේ දුර්ගන්දය නොදැන කරවටක් එරී තමන්ගේ ජීවිතය මිහිපිට අපායක් කරගත් නමුත් ප්‍රසිද්ධිය මුදල් සහ සැප සම්පත් නිසා තවදුරටත් එම නරා වලෙහිම වැටී ගිලෙමින් දිය කෙළිමින් සිටින වර්ථමාන සමාජයේ මානව මානවිකාවන්ගේ ඉන්ෆ්ලුවන්සර් ඝෝෂාවයි. සමාජ මාධ්‍යතුල ඉන්ෆ්ලුවන්සර් නමින් හඳුන්වන, “බලපෑම් කරන්නන්” බොහෝ විට නිර්මාණශීලිත්වය ප්‍රවර්ධනය කරන නමුදු ඒ ආශ්රයෙන් අවධානම් කලාපද බිහිවෙනු දකින්නට ලැබේ. මේ කතාවේ සඳහන් මීෂා-නිධාන් යුවළ තුළින් පෙන්වා දෙන්නේ ද ඒ යථාර්ථවාදී නොවන ජීවන රටාවන් ප්‍රවර්ධනය කරමින් නඩත්තු කරන්නට පොරබඳින නූතන ඉන්ෆ්ලුවන්සර් නාටකයක් ය. තමන්ට ගෙවන හෝ ලැබෙන ගතමනාව මත, තත්ත්වය හෙවත් කොලිටිය හෝ ප්‍රමිතිය ගැන හෝ වැටහීමක් නැතිව ප්‍රවර්ධනය කරනා භාණ්ඩ සහ සේවාවන් ය. මෙවන් පුද්ගලයින්ගෙන් සිදුවන සමාජීය බලපෑම කොපමණ ප්‍රබල ද යත් දේශපාලනික අතකොලු වශයෙන් පාවිච්චිවන බවද ඉන් එහා ගොස් විවිධ වංචනික දූෂිත ක්‍රියාවන්හි පවා කොටස්කරුවන් වන අයුරුද මේ පොතෙන් මෙන්ම අප රටේ මෙන්ම ජාත්‍යන්තර පුවත් මගින් ද විටින් විට හෙළිවේ. විශේෂයෙන් යෞවනයන් අතර ශරීර ප්රතිරූප ගැටළු සහ අඩු ආත්ම අභිමානයට මග පාදන බව ද ඔවුන්ගේ අනුගාමිකයින් හෙවත් followers ලා නොමඟ යැවීම පිළිබඳව කිසිඳු හෘද සාක්ෂිමය වැලපීමක් හෝ අවුලක් මේ චරිත තුළ නොමැති බවද තත්ත්ය සමාජයේ මෙන්ම මේ නවකතාවේ චරිත තුලින්ද පෙනේ . ඉන්ෆ්ලුවන්සර් සංස්කෘතිය තුළින් පාරිභෝගිකවාදයට කෙරෙන බලපෑම මෙන්ම ඒ ඔස්සේ ගොඩ නැගෙන වෙනත් අනීතික ක්රමවේදයන්ගේ විකාශනය මධුෂිකා ඇයගේ කුළුඳුල් කෘතිය ඔස්සේ ගොඩ නඟන්නේ ඒ ගැන අවබෝදයක් කියවන්නා තුළ ද ඇති කරමිනි.
“ඒත් උස් බිම් හොයාගෙන සතුටින් ජීවත් වෙන්න පුළුවන් තැන් හොයාගෙන යන්න පුළුවන් මිනිස්සු යනවා අග්‍ර. ඒක තමයි ඔයා පිළිගන්නේ නැති ඇත්ත. ගෙවල් යටවෙද්දීත් රත්නපුර දාලා නොයන්නේ යන්න වෙන තැනක් නැති මිනිස්සු. පිස්සුවෙන් කඩා හැලෙන වැස්සට ආදරේ නිසා නොවෙයි ඒ මිනිස්සු ඉන්නේ. එයාලා ඉන්නේ එයාලගෙ අසරණකම නිසා” (ඇස්බැන්දුම නවකතාව)
පොතක් ලියන්නට කලින් මොන තරම් ඒ පොත්වල කරුණු හරියාකාරයෙන් ලියන්නට ගොඩ නගන්නට ගත් කතුවරු විසින් විස්තර සොයා යනවාද කියා මා වටහා ගත්තේ සම්මානිත ලෝක පූජිත කෘති මෙන්ම ලංකාවේ ප්‍රබල සමාජ කියවීමක් සහිත කතුවරුන්ගේ කෘති කියවීමෙනි. මෙහි ප්‍රධාන චරිතය වන අග්‍ර විසින් ගොඩ නගන මැණික් ව්‍යාපාරය ඔස්සේ ව්‍යාපාරික ලෝකයේ අහුමුළු හොඳින් ගවේශනය කරමින් තමන් හැදී වැඩුණු ගම් පියසේ වතගොත සමග පුරුද්දා ඇය මේ කතාව ගොඩ නඟා ඇති අයුරින් එය කියවන අපට ද නොයෙක් කාරණා ගැන අප දැනුම සහ අවබෝධය ඇති කරන බව මා මේ කෘතියේ දුටු විශිෂ්ඨ ලක්ෂණයකි.
මේ පොතේ ඊළඟට මම දුටු වැදගත්ම සමාජ කාර් යය භාරය වන්නේ සමාජයේ කොයි තරම් දැනුවත් කිරීම් කරමින් අවබෝදය ඇති කරන්නට උත්සහ කළ ද දිනෙන් දින ඉහළ නඟින “සමාජ රෝග” නමින් හඳුන්වන ලිංගික ක්‍රියාකාරකම් නිසා ප්‍රධාන වශයෙන් පැතිරෙන රෝග හෙවත් sexually transmitted diseases ගැන පාඨකයා වෙත ලබා දෙන විසල් අවබෝධයයි. එහිදී සමාජයේ භීතිකාවක් මවන ඇතැම් රෝගාබාද වැළඳීම ජීවිතයේ අවසානය යැයි විස්සෝප වන සමාජ කැළබීම් ඇති කරන පුවත් මවන රටක, එවන් රෝගයක් වුවද ජීවිතයට හෝ තමන්ගේ අවට මිනිසුන්ට හානිකර නොවන ලෙස සම්පූර්ණයෙන්ම පාලනය කරගත හැකි බව ද පරිපූර්ණ යුග දිවියක් ගත කළ හැකි බවද නැවත නැවතත් සපත කරන, තමන්ගේ ජීවන ක්රමයේ වෙනස්කම් මෙන්ම නිසි ලෙස ප්‍රතිකාර ගැනීමෙන් රෝග සම්ප්‍රේශනය නොවන මට්ටමට තමන්ගේ සෞඛ්‍ය තත්ත්වය වඩවා ගත හැකි බවටද මේ පොත තුළ සීරුවෙන් ලියා දක්වා නීරස නොවන ලෙස සංයමයෙන් වටහා දේ. මෙහිදී සෞඛ්‍ය තොරතුරු ගෙඩි පිටින් විස්තර කරනවා වෙනුවට නොයෙක් සංසිද්ධීන් ජීවිතවල හැලහැප්පීම් ඔස්සේ එම රෝගාබාද පිළිබඳවද සරලව සාමාන්‍ය කතාබහක් තුළින් ඉදිරිපත් කිරීම වෛද්‍යවරියක ද වන මධුෂිකාගේකතුවර භූමිකාවේ දක්ෂබව කියා මට සිතේ.
“මගේ ජීවිතේ ලස්සනම කවිය එයා, ඒත් ඒ කවිය අවසාන වෙද්දී එළිසමය රැකුණෙ නෑ. නිකම්ම නිකං වචන ටිකක් එක්ක එයා නැවතීමේ තිත තිබ්බා. ලියලා ඉවර කරන්න බැරි කවි, ගැඹුරු ලස්සන වචන එක්ක එළිසමය රැකගෙන පටන් ගන්න හොඳ නෑ අග්‍ර. අවසානෙදි ඕනෙවට එපාවට ලියන වචන කවියේ මුලින් තිබුණ රසත් විනාශ කරනවා. අන්තිමට ඒක කවියකට වඩා විලාපයක් වෙනවා” (ඇස්බැන්දුම නවකතාව)
පිටු පන්සීයක දවටා අප වෙත එවූ මායාමය අකුරු පෙළහරක සුවඳ විඳ අහවරව මේ අකුරු සටහන් කරන්නේ සන්තුෂ්ටියෙනි. මේ ඇගේ නොමේරූ ළදරුවා යැයි ඈ පෙරවදනෙහි සඳහන් කරන්නීය. එහෙත් මෙය නිසි ලෙස පෝෂණය කරමින්, තමන්ටම අනන්‍ය වූ රචනා ශෛලියකින් ද පුළුල්ව කරනා ලද ගවේෂණයන්ගෙන් පසු උකහා ගත් දැනුම සහ සමාජ සිදුවීම් කෙරෙහි අවබෝදයකින්ද සුමට උසස් සාහිත්‍යමය උපමා රූපක සපිරි සරු භාශා ශෛලියකින්ද යුත් නිසි කලට වේලාවට හරියටම එළි දැක්වූ නිසි බර වයස් ඇතිව ඉපදුණු පොත් දරුවෙක් ලෙස මට ඉන්තේරුවෙන්ම කිව හැකිය. ඒ දින හතරක් පහක් මුළුල්ලේ මගේ අවදානය නොබිඳී කියවීමෙහි යෙදවීමට තරම්, හැකි විගස පොත රැගෙන කියවන්න උත්සුක වන තරම් මේ පොත බසින් පොහොසත්, පිටුවෙන් පිටුව කුතුහලය උපරිමයෙන් රැඳි රසවත් කතාන්දරයකින් යුක්ත නිසා ය. ඇයගේ සරු බස සහ උපමා රූපක නිසා, අමුවෙන් විස්තර කරන්නට හැකි ආදරබර අනුරාගය මුසුවූ සිදුවීම් වලදී පවා සාහිත්‍යමය බසකින් මැවෙන ඉන්ද්‍රජාලික වචන පෙළහර විශ්මිත ය. එමෙන්ම අඳුරු අවකාශයන් ගැන මේ එඩිතරව සීරුවෙන් වියනා ලද ලියවිල්ල සමාජයේ ඇස් අරවන සුළු ය.
මට මේ පොත, අගනා සාහිත්‍යමය වටිනාකම් ඇති නවකතාවකි, සමාජ සද්කාර්යයකි, අත්‍යාවශ්‍යම කාරණා ගැන අගනා සෞඛ්‍ය සන්නිවේදනයකි, බොහොම උද්වේගකර රසවත් අනුරාගී කතා පුවතක් සමඟ තරුණ තරුණියන් වෙත හරි මග කියන ප්රදීපාගාරයකි. මේ සමාජය විසින් මග නොහැර කියවා ගත යුතුම රසවත් කතාන්දරයකි ! කතෘ ප්රකාශනයක් වන මේ නවකතාව සමාජය තුළ කතාබහක් ඇති කරන සුළු කතාන්දරයකි.
ඇස්බැන්දුම්
කතෘ – මධුෂිකා රාමනායක
කතෘ ප්රකාශනයකි
වෛද්‍ය බෝධිනී සමරතුංග
