පුස්තකාලයක් කියන්නේ මට විශ්වයක් !
මම දන්නා කාලෙක ඉඳන් මට පාසැල් පුස්තකාලයත් ඉන්පසු මහජන පුස්තකාලයත් කියන්නේ හිත පුරා මහා ආශ්වාදජනක හුස්ම පුරවන තැන්. පොත් මල්ලක අරන් එන්නේ කියවමින් අපූර්ව ලෝකයක අතරමං වෙන්න තියෙන ආශාවට.
අපි මේ තරම් දිගු දුරක් එන්න අපිට පාර කීවේ පොත්. මම, ගෙදරට කඩෙන් බඩු ඔතන් එන පත්තර කොළය පවා කියවන්නේ යැයි වැඩිහිටියන් කියන ජාතියේ ළමයෙක් විමි.
මගේ උතුරු සේවය කාලේ කිලිනොච්චි වැඩ භාරගත් දවසේ අපි ඔක්කොමල යාපනය සෞඛ්‍ය කාර්යාලයට රිපෝට් කරන්න ගිහින් එද්දී අහම්බෙන් මහජන පුස්තකාලය පසු කරගෙන යද්දි ඒ දැනුණු සතුට වචන වලට හරවන්න අපහසුයි.
මෙතන ට ගොඩ වැදී යමු කියා බැස්සාට එතන ඒ වෙද්දී යම් ගොඩනැගීම් නිසා වහලා ඇතුලට යන්න බැරි බව කීවම ඒ පාර මම එතන හිටගෙන පින්තූරයක් අරගත්තා මගේ මතකය වෙනුවෙන්. එහි ගිය අනිත් කිසි දිනක ජායාරුපයක් නොමැත. මන්ද එකල කැමරා සහිත ජංගම දුරකථන අප වෙත නොතිබුණු නිසා ය.
පුස්තකාලයක් ගිනි වැදී දැවෙද්දි දැවෙන්නේ මහා විශ්වයක් ! ඒ විශ්වයක වගතුක සාරවත් ලෙස ලියා සකසා ඇති Sandaresee Sudusinghe රචිත “ගිනි වැදුණු පියාපත්” පොත එළදැක්වීම මට මඟ හැරුණේ අතිශය කලබල කාලයක් වූ නිසා ය.
මේ පොත කියවන ඒ අතරතුර තවත් පොත් ගින්නක් ගැන කතා ඇති වුණා. අවුරුදු ගණනාවකට කලින් මේ වැඩිහිටි පරම්පරාව වගකිවයුතු ආරවුල් ගණනාවක් නිසා ඇවිළුණු උල්පතේ කතාව කවි ම, ඔව් කවි 110කින් අපූරුවට ගෙත්තම් කරලා. ඒ කවි අතරේ ලියන්නියගේ නෙතින් වට කඳුළු බිඳු හීනියට දිලිසෙමින් තිබුණා.
දැනුම සොයා නොගිය මිනිසුන්ගේ හැසිරීම්, අපහාස, අවමාන නිසා සහවේදනයක් නැති මිනිසුන් බිහිවීම නිසා කරදරයට කම්පාවට පත් සමාජයක් දකිමින්, වඩා සුවිශාල හිත් ඇති වගකීමක් සහිත මිනිසුන් ලෙස හැසිරෙන්නට නොදත් සංයමයක් නොවූ සමාජයක් දකිමින් ඒ වේදනා එක්ක මේ පොත කියනවා.
මුළු රටක් ඇවිළුණු ගිනි දශක ගණනාවක් අපි දැක්කා අත් වින්දා. එහෙත් ඒ හිත් ගිනි අපි නොදැක්කා. ජූලි කලබල අපි නොදැක්කා ඒත් ඒ ගිනි රස්නය මුළු රටම කාබාසිනියා කළා. ජාතිය සොයා සොයා කාබාසිනියා කළා. සුළු ජාතිකයෙක් නොවුණු අප එය වෙනස් ව අත් වින්දා. මම ඒ ගැන කොතෙකුත් අකුරු කළා.
පුස්තකාලයක් කියන්නේ විශ්වයක් ! ඒ මහා විශ්වයේ ඇවිද ගිය මිනිසුන් මේ පොතේ මතුවෙලා මහත් වූ අපූර්ව කතාවක් කියනවා.
ඇයගේ මේ වියමන් බොහෝ සාරවත් වි ඇත්තේ ඇය හුදෙක් තමාගේ හැඟීම් වචනයට පෙරළන්න නැතුව මේ ඉතිහාසය දැනුම හොයාගෙන ගිහින් ඒ කරුණු කාරණා සියල්ල බොහොම සංයමයෙන් ලියා දක්වන නිසා.
ඇය සොයා ගිය ඒ මාවත දිගේ හෙමි හෙමින් පියමනිමි. නැවත නැවතත් ඒවා කියවමි.
පුස්තකාලාධිපතිනිය රූපවතී නඩරාජා සොයා ගිය ඇයගේ කතාව මා මුහුණුපොතේ කියෙව්වේ විස්මයෙනි. දැන් මා හමුවේ, 1981 දී ඇවිලෙන විශ්වය අභියස කම්පිතව බලා ඉන්නා ඇගේ සේයාරුව පිටු අතරින් මතුවේ.
දැනුමෙන් මොටවු ජාතියකට නැණ පහන් දල්වන්න හදනවාට සඳරැසී නංගි ඔබට බොහෝ ස්තූතියි.
ඔබේ කවි මෙහි සටහන් නොකරන නමුදු මතු පොත ගෙන කියවන්නට ඉන්නා හිත් අවුස්සන රිසියෙන් ඇතැම් කවි ගැන මෙසේ යම් සටහනක් තබමි.
3 කවියේ චෙල්ලප්පා මහතා වෙත මගේ ගෞරවය ලියා තබමි. පුස්තකාලය ගොඩ නැගූ මිනිසුන්, එහි අභාෂය ලැබූ මිනිසුන් ඒ ගිනි ගන්නා විට ගිනිගත් සිත් ඇතිව කම්පාවුණු රටක මිනිසුන් මේ පොතෙන් විටින් විට එළියට ඇවිත් මහාර්ඝ කතන්දරයක් කීයා දෙයි. මහජන මුදල් කෝටි ගණන් තමන්ගේ සුඛ විහරණය වෙනුවෙන් යොදා ගන්නා පාලකයින් ඉන්නා රටක සෑම් ඒ. සභාපති හෙවත් නගරාධිපතිගේ විකුම් කෙතරම් අගනේ දැයි සිතමින් එහෙව් විරුවන් සිතින් වන්දනා කරමි.
කොට්ට කිලන්ඟු තල් හකුරු රස , මතකයෙන් විඳිමින් 43 කවිය කියවීම්. අඳුරු වන්නි අහස පුරා ලියැවුණු එවන් වේදනා බොහෝ දෑසින් දුටු බව ලියා තබමි
98 කවියෙන් මා ද නොදැන සිටි ඒ මන්තරය ලියුවාට ස්තුති බව කියමි. මේ පොත ගැන කියවන ලියන මිනිසුන් අඩු වෙන්ට කාරණා විමසමි. යළිඳු පොතේ අකුරු අතර කිමිදෙමි. මහා දැනුම ගබඩාවක් මවෙත ළඟා වූ හැගීමක් දැනේ.
කවි පොතකින් කළ හැකි දේට එහා ගොස් ඔබ අපට ඉතිහාසය උගන්වා ඇත. ඒ ඉතිහාසය පිරමින් මම පොත කියවන්නෙමි.
109 කවිය හිත මත දෝංකාර දෙද්දී.. සත්සමුදුරෙන් එපිට හිඳගෙන මගේ මව් බිම දෙස බලා ඉමි. විදා පිල් නටනු නොහැකිව උපන් බිමින් පිටමන්ව නොරට විත් මහත් විස්කම් පෙන්වන උතුරු සහෝදරයින් සහෝදරියන් අදත් මූණ ගැසේ.
එහෙත් අද රටේ හැම දෙසකම දරුවන් අඳුරේ ය. එන්න අපි එළි දල්වමු.
ස්තූතියි සඳරැසී නංගි, කවියක දවටා මේ තරම් දැනුමක් බෙදනවා ට, මහා පොළොවේ මේ ඉතිහාස හුස්ම දරණවාට, අවුරුදු හතළිහකට පසු මේ සියල්ල ස්මරණය කරන්නට ඉඩ සකස්කර දුන්නාට.
ස්තූතියි පොත් ප්‍රකාශක ජනක ඉනිමංකඩ සහෝදරයා මේ තරම් අගනා ලෙස පල කරාට.
ගිනි වැදුණු පියාපත්
සඳරැසී සුදුසිංහ
ප්‍රකාශනය – විදර්ශන ප්‍රකාශන
By Dr. Bodhini Samaratunga