සාහිත්‍ය උළෙලට අමතරව, බ්‍රසල්ස් හි මා ගත කළ කාලය වඩාත් ආකර්ෂණීය වූයේ නගරය පුරා සිදුවන විචිත්‍රවත් සිදුවීම් නිසා. දේශගුණික විපර්යාස අවම කිරීම පිණිස ප්‍රජාව, වගකිවයුතු පිරිස් සහ රාජ්‍යයන් දැනුවත් කිරීම සිහි කැඳවීම පිණිස පැවති පා ගමනට මම ද සහභාගී වීමි. එහිදී දේශගුනික විපර්යාස පිළිබඳ දැනුවත් කණ්ඩායම් නගරය හරහා බැනර් පෝස්ටර් නැටුම් සහ සංගීතය වැනි විවිධ අංග සමග එක් වූ අතර අවසානයේ EU ආයතන අසල උද්‍යානයට රැස් වූවා. එම පා ගමන ඉතා සන්සුන් සහ සාමකාමි වූවා. මගේ මිතුරිය Sanjee Goonetilake අක්කා නිසා, ලෝකයට බලපාන අරමුණක් සඳහා එක්සත් වූ දයානුකම්පිත සහ සැලකිලිමත් පුරවැසියන්ගේ මෙම උදාර අරමුණක් සහිත පා ගමනට සහභාගි වීමට මට අවස්ථාව ලැබුනා.
ඔක්තෝම්බර් 5 උදෑසන පැවති ආසියානු සාහිත්‍ය උළෙල හි කතිකා වලට සහභාගී වී මම ඉන්පසු සංජි අක්කා මූණ ගැසීම පිණිස House of Compassion නමින් එනම් “දයානුකම්පාවේ නිවස” නමින් හඳුන්වන සුවිශේෂී ස්ථානයක් වෙත ගියා.

එය සාම්ප්‍රදායික පල්ලියක් නොව වඩා පුළුල් සමාජ මෙහෙවරක් වෙනුවෙන් දීර්ඝ කාලයක් තිස්සේ විවෘතව පවතින පෙර කළ පල්ලියක් ලෙස පැවති පැරණි දේවස්ථානයකි. ( අතීතයේ මෙවන් ස්ථාන තනිව වෙසෙන ස්ත්‍රීන් එකතුවී පවත්වාගෙන ගිය නිවෙස් බවට ඉතිහාස කතාව ද මෙහිදී මට දකින්නට ලැබුණා) අනුකම්පාව සහ යුක්තිය කේන්ද්‍රගත කිරීම, අසාධාරණයට සහ පීඩනයට ලක් වූවන්ට සහනයක්, සෙවණක් සහ හඬක් දීම වෙනුවෙන් මේ ස්ථානය මේ ආකාරයෙන් පරිවර්තනය කළේ අසාහය මානුෂීය දේවගැතිවරයෙක් වන පූජක ඩැනියෙල් ඇලියට්.

අධ්‍යාත්මික දර්ශනය, කලාව, සමාජ ක්‍රියාකාරිත්වය සහ ප්‍රජාව අතර සහසම්බන්ද, සියල්ලන් වෙත කාරුණික ක්ෂේම භූමියක් බඳු ස්ථානයක් ලෙස එය ගොඩ නංවා ඇති බව මා එහි ගත කළ කාලයේ දී හැඟුණා.
අවදානමට ලක්විය හැකි සහ වෙනස් කොට සැලකූ ප්‍රජාවන්ට මෙන්ම සංක්‍රමණිකයින්ට උපකාර කිරීම සඳහා තම ජීවිතය කැප කළ පූජක ඩැනියෙල් ඇලියට් හමුවීමට ලැබීම මට ඉමහත් ගෞරවයක්. අසූ තුන් වියැති ඔහු හා කතා කළ මොහොතේදී ජීවමාන ශාන්තුවරයෙක් මූණ ගැසුණ බව මට වැටහුණා.
එහිදී නිකාය කිහිපයක පූජකයන් විසින් යාඥා පවත්වා නගරයේ ඇදෙන පා ගමන වෙත house of compassion හි තිබෙන සුවිශේෂී යෝධ බෝනික්කා ද රැගෙන සියල්ලෝ පිටත් වුණු අතර climate justice වෙනුවෙන් විවිධ තේමා පාඨය න් යටතේ පෝස්ටර් බැනර් ලියා ගෙන සියල්ලෝ එහි ගමන් ගත්තා.

බෙල්ජියම් හරිත සංවිධාන, හරිත පක්ෂය සහ ක්‍රිස්තියානි පල්ලි විසින් ලෝක සාමය අවශ්‍ය සියලුම සංවිධාන දේශගුණ විපර්යාස මැඩ පැවැත්වීම වෙනුවෙන් පෙළ ගැසුණු grandparents, ආච්චිලා සීයලා ගේ සංවිධානය, බාලදක්ෂයන් මේ ආදී නොයෙක් පිරිස් එකතුව 30 000 පමණ වූ බව පුවත් වල දුටුවා. පාසැල් දරුවන් කුඩා දරුවන්…ළදරු කරත්ත වල පවා තියාගෙන තමන් විසින් ලියා සකසා ගත් බැනර් පුවරු සමග මේ පාගමනට සහභාගී වීම දැකීම මොන තරම් අගනේ ද කියා සිතුණා. ගහකොළ පරිසරය ආරක්ෂා කිරීමට දරුවන් වෙත කියා දිය යුතු කුඩා කාලයේ සිට බව මා මීට පෙර සටහන් වලින් ලියා තිබෙනවා.
අපට ජීවත් වෙන්න තියෙන්නේ එක ම එක ග්‍රහ ලෝකයයි ! ඉතින් මේ දැවැන්ත පාගමන ඔවුන්ගේ හඬ දේශගුණය වනසන ප්‍රබලයන් වෙත එල්ල කළ අනතුරු ඇඟවීමකි. යුරෝපා කලාපයේ යුරෝපා සංවිධානයේ මූලස්ථානය තියෙන්නේ බ්‍රසල්ස් වල. මේ පා ගමන ආරම්භ වන බ්‍රසල්ස් හි උතුරු දුම්රිය ස්ථානයේ සිට EU සංවිධානයේ ප්‍රධාන ගොඩනැගිලි අසල ඇති සින්ක්වන්ටිනෙයාර් උද්‍යානය දක්වා කිලෝමීටර 6 පමණ දුරක්.
සාමාන්‍යයෙන් සෑම මසකම පලස්තීනයේ සිදුවන ජන සංහාරය ට විරෝධය පා මෙවැනි විරෝධතාවක් පැවැත්වෙන අතර, එය සාමාන්‍යයෙන් ඉරිදා දිනයක පැවැත්වේ.
ශ්‍රී ලංකාව බිම් මට්ටමේ දී පුරවැසියන් අතර දේශගුණික සවිඥානක භාවය සහ දැනුම් තේරුම් කම නොදකින බව ද මේ තරම උනන්දු නොවන්නේ මන්ද යන්න පිළිබඳව ද මා එහි ගමන් කරන අතර මතු කළ කාරණාවක්.
සමාජයේ මුදල් හම්බ කරන්න, ජීවත් වෙන්න අරගල කරන්න කියන මේ දේවල් නැති වුණාම මිනිස්සු සහ රාජ්‍යයන් පවා පරිසරය ගැන හිතන්න පටන් ගන්නවා. ධනවාදී යුරෝපා රටවල මිනිසුන් ගේ මේ සම්බන්ද ව ඇති උනන්දුව අවධානය සහ ඒ ගැන ක්‍රියාත්මක වෙන්න ඇති කාලය අවකාශය, නිදහස් බව ඒ නිසා විය හැකියි.

පුරවැසියා ගේ අවබෝධය පුළුල් කළ හැක්කේ කෙසේ ද ? මෛත්‍රිය කරුණාව මුදිතා ව සහ උපේක්ෂාව වර්ධනය කළ යුතු බිළිඳු කළ නිවෙස්වල සිට පෙර පාසල් වියේ සිට ය. ඉතා කුඩා දරුවන් , යොවුන් වියේ දරුවන් පවා බැනර් බෝඩ් ලියාගෙන පාරිසරික දේශගුණික විපර්යාස පිළිබඳව සංවේදී ව මෙලෙස ඉරිදා දිනයේ පා ගමනට එක්වීම් මා දකින්නේ සබුද්දීමත් සමාජයක ලක්ෂණ ලෙස යි.
ලංකාවේ සමහර උගත් මිනිසුන් ගේ කතා මට මතක් වෙනවා. “අනේ මං මගේ පාඩු වේ ඉන්නවා. අපෝ මං නං ඡන්දෙ දාන්න වත් නෑ. මගේ පවුල හොඳින් හිටියාම ඇති” කියලා හිතන ආත්මාර්ථකාමී කතා ඇසෙද්දී එ අය එවන් ආත්මාර්ථකාමී හිතුවිලි පෝෂණය කරමින් මේ සමාජ වලට සිදු කරන්නේ අයහපතක්මයි. දේශගුණික විපර්යාස වලට එරෙහිව හඬ නගන්නට සුදු කබා සහ වෙද නලා පැළඳ වෛද්‍යවරුන් ද එකතු වී සිටීම දැකීම වෛද්‍යවරයෙක් වෙන මට ද ඉතාම සතුටු දායක කරුණක් වුණා.
අප නැවත නිවසට පැමිණි විට ඇයගේ දියණිය ඇය විසින් පෙර පැවති මෙවැනි පා ගමන් හඬ නැගීම සඳහා භාවිතා කල කුඩා ඇය විසින් අඳින ලද පෝස්ටර් මට පෙන්වා එහි ලියූ පාඨයන් තේරුම් කරා.
මේ ලෝකය මේ තරම් හෝ පවතින්නේ මා ඉහත සඳහන් කළ ජීවමාන ශාන්තුවරයෙක් බඳු පූජක ඩැනියෙල් වගේම, සංජී අක්කා ඇයගේ පවුලේ අය, ස්වෙච්ඡාවෙන් මිනිසුන් වෙත සේවය කිරීමට house of compassion හි එකතු වූ පිරිස මෙන්ම එදා බ්‍රසල්ස් වෙත පැමිණ එකතු වූ 30 000 පරිසර හිතකාමී මානවවාදී පිරිස් මේ ලෝකය බිඳෙන්නට, කැඩෙන්න ට වැටෙන්න ට නොදී අරගල කරන නිසා.
වෛද්‍ය බෝධිනී සමරතුංග
