සිරිලන්කන් රොකට් සහ බස් කතා

බසයෙන් බහිද්දි ඇදවැටී වෛද්‍යවරියක මිය යන ශෝචනීය පුවත එක්ක මම මේ අකුරු කරන්නේ මෙවන් අකල් මරණ, හදිසි අනතුරු නැති. සෑම පුරවැසි ජිවිතයක්ම එක සේ වටිනා රටක් නිර්මාණය කළ යුතු නිසා. බස් ගමන සම්බන්දයෙන් නම් මා 2010 සිට විටින් විට බ්ලොග් ඔස්සේ ලියා තිබෙනවා. එනමුත් මේ අකාරයෙන් ලියන්නේ මේ ගැන මේ මොහොතේ ඇතිවී තිබෙන සමාජ කතා බහ නිසා.

සියලු මිනිසුන් බහිනකන් , නගිනකම් කොච්චි පෙට්ටියෙන් එළියට ඇවිත් බලා සිටින දුම්රිය රියැදුරන් මම මේ බොහෝ යුරෝපා රටවලදී දැක තිබෙනවා. බස් රථය නවතා පදික වේදිකාවට හෝ පොළොවට සමපාත වන ලෙස ප්‍රධාන දොර සහිත පැත්ත පාත් කරන හැටි. බොහොම සංයමයෙන් නවතා බලා සිටින හැටි මම දකිනවා ( බොහෝ යුරෝපා රටවල තත්ත්වය එසේ ය). 

https://www.transdev.com/en/sustainable-mobility/more-300-new-fossil-free-buses-northern-stockholm-2022/

නමුත් අපේ රටේ එසේ විනයක් සහිතව මගියාගේ ආරක්ෂාව සහිතව පොදු ප්‍රවාහන සේවය ක්‍රියාත්මක වන බවක් පසුගිය අවුරුදු ගණනාවෙහි සිටම දුටුවේ නෑ. මාර්ග නීති හරියට රැකෙන්නේ නෑ. ධාවනය වෙන බස් අතර තරඟ, මිනිසුන් නගිනකම් බහිනකම් නවත්තන්නේ නැතිව අද්දන බස් රථ ! මේවා කවදා අපේ රටට ලැබේවි ද කියා අපි විස්සෝප වෙනවා.  

අප තවම දකින්නේ අපි කුඩා කාලයේ තිබුණු බස් රථ ආකෘතියමයි. ඒවා යකඩ ගොඩවල් මිසක් මගී ආරක්ෂාව සුව පහසුව ගැන සිතා නිම කළ ඒවා නොවේ. මෙච්චර කාලයක් පුරවැසියා වෙනුවෙන් වගකීමකින් කටයුතු කළ පාලන තන්ත්‍රයක් තිබුනා නම් අපේ රටේ පොදු ප්‍රවාහන සේවය ද අප යුරෝපා රටවල දකින ආකාරයේ විය හැකිව තිබුනා. නමුත් දැන් එහෙම ආණ්ඩුවක් පෙනෙනවා. ඉතින් දැන් හොඳම වේලාව ඔබලා සැවොම පුරවැසියා වෙනුවෙන් මේ රටේ ආරක්ෂිත ප්‍රවාහන සේවා ඇති කරන්න.

මීට අවුරුදු 15 කලින් උතුරට ගිය කාලයේ විටින් විට බස් රථ වල යද්දී දැනුනු භීතිය සහ අපහසුව තමයි අදටත් පවතින්නේ. ඒවගේම මේ බස් යනවා නෙමේ විදිනවා.

බස් රථ ප්‍රමාණය වැඩි කිරීම වගේම ඒවායේ අභ්‍යන්තරයේ වෙනස්කම් සිදුවිය යුතුයි. ඉතිරි කරන මහජන මුදල් මේ දේවල් සඳහා යොදවන්න හැකියි. ඒවගේම මේවා දිගු කාලයක් පවත්වාගෙන යන්න නිසි ලෙස නඩත්තු කරන්නත් අවශ්‍යයි. යුරෝපේ රටවල බොහොමයක තරුණ කාලේ ඉඳන් ඇවිද ජීවත්ව තිබෙන මම මේ ගැන ලියන්නේ හිතේ ඇතිවෙන කනස්සල්ල සහ කේන්තිය යන දෙකම එක්ක.

1. දිගු දුර ගමන් බස් රථ ලෙස සීට් බෙල්ට් සහ ඉඳ ගැනීමට පහසු කොන්ද ට පහසු ආරක්ෂිත බස් රථ යොදා ගන්න. 

2. දිගු කාලයක් එකම මනුස්සයා එළවනවා වෙනුවට කාල සටහන් යොදවන්න. 

3. මේ රටේ නම් නගර තුල හෙමින් යන බස් පවා සීට් බෙල්ට් සහිතව පවතින්නේ.

4. බස් රථ අතර තරඟ නවතන්න.

බස් රථ කාල සටහන් සෑම බස් නැවතුමකම තිබිය යුතුයි. ඊළඟට බස් රථය එන වේලාව පෙන්වා දෙන real-time digital පුවරු ඇති කිරීම. 

5. මගීන්ට හිතකර බස් රථ. විශේෂයෙන්ම ආබාධිත අයට පවා යා හැකි බස් රථ ස්ථාපිත කිරීම. දැන් තියෙන මග මරුවන් වැනි යකඩ ගොඩවල් ඉවත් කිරීම. පුරවැසියා වෙනුවෙන් මුදල් වෙන් කරන ආණ්ඩුවකට මේවා බැරි නෑ. 

6.මෙහෙ බස් රථ, දුම්‍ රිය , ට්‍රෑම් යන හැම එකක්ම තියෙන්නේ ප්ලාස්ටික් පිට වැසුම් සහිත සීට්. අපේ රටේ තියෙන්න යකඩ රාමු යකඩ පටි. අනතුරක් සිදුවුනොත් එහි ගමන් ගන්නා මිනිස්සුන්ට සිදුවිය හැකි හානිය අපි දැන් කිහිප වතාවක් දැක්කා. 

https://studyinsweden.se/blogs/2016/01/15/public-transport-sweden-bus-seating/

අනික සීට් දෙකක් අතර පරතරය ලංකාවේ බොහෝ බස් රථවල අවමයි. දණිස් දෙක වදිනවා ඉඳ ගත්තම. හිතන්නකෝ මේ ආකාරයේ සැකැස්ම නිසා අනතුරක් සිදුවුණත් හදිසියේ බ්‍රේක් වැදුණත් මගියාට සිදුවන හානිය ?

6. ලංකාවේ බස් වල ආසන ගැනත් කතා කළ යුතුයි මිනිසුන් හිඳ ගත් විට ශරීර හැඩයට, උදාහරනයක් ලෙස කොන්දේ හැඩයට ගැලපෙන ආසන ලෙස සකස්වූ ආසන පෙනෙන්න නම් නැහැ. පහසුවෙන් හිඳ ගන්න රඳවා ගන්න නොව අනික් පැත්තට ඉස්සි ඉදිමී තිබෙන බව පෙනෙනවා. අනික ඒවා ලිස්සනවා ඒකට හේතුව ඒවා ආවරණය කර තිබෙන ද්‍රව්‍ය නිසා.   බොහොමයක සීට් වලට පොලිතින් දාලා. එතකොට එවන් මගී ආසනවල ඉඳගෙන අධික වේගෙන් යන බස්වල යනකොට ආසන මතින් ලිස්සලා විසි වෙනවා. මේ මගේ සත්‍ය ඇත්දැකීම්. 

මට තේරෙන්නේ නම් මිනිස්සු මේ ගැන හඬක් නගන්නේ නැත්තේ ඇයි කියලා පුරවැසියා ගැන හිතන්නේ නැති කාලයක් තිබුණු බව පුරවැසියාව ගැන හිතලා මේ රටවලට ආවට පස්සේ පෙනෙන්න ගන්නවා. 

මම මේ ඉන්න යුරෝපීය රටත්  සමාජවාදී ප්‍රජාතාන්ත්‍රික රටක්. පුරවැසියාට ලැබෙන සහන ඉමහත්. අවුරුදු එකොළහට අඩු ළමයි බස් රථ දුම්රියවල යන්නේ නොමිලේ. අවුරුදු එකොළහේ සිට ඕනම වයසක ශිෂ්‍යයින්ට තාම අඩු මුදලකට මාසික ප්‍රවාහන කාඩ් පතක් ලබාගන්න පුළුවන්. උසස් අධ්‍යාපනයේ යෙදෙන මමත් ශිෂ්‍යයෙක් ඉතින් මටත් ඒ පහසුකම් ලබා දෙනවා. 1950දීත් මන්ද පෝෂණය තිබුණු රටක්. අද වෙද්දී පුරවැසියා වෙනුවෙන් සියලු සහන සලසන්න මේ ආකාරයෙන් දියුණු කරන්නේ පුරවැසි බලය විසින්. මේ රටේ රජෙක් හිටියට බලය තියෙන්නේ පාර්ලිමේන්තුවේ. 

 අපේ රටට අවශ්‍යයි පොදු ප්‍රවාහන සේවයක් මොකද හැමෝම කාර් ගන්න සිහිනෙන් රටට වැඩක් වෙන්නෙත් නෑ, සමාජයට වැඩක් වෙන්නෙත් නෑ, පරිසරයට වැඩක් වෙන්නෙත් නැහැ. අපේ පරිසරය සුරැකීම වෙන්න වාහන තදබද යවම කිරීමටත් ජීවන තත්ත්වය පහසු කරන්නටත් පොදු ප්‍රවාහන සේවය දියුණු කිරීමෙන් හැකිවෙනවා. ඒකට පර්යේෂණ නිරීක්ෂණ ඔස්සේ සැකසුම් සැලසුම් ඇති කරගත යුතුයි. පොදු ප්‍රවාහන සේවා දියුණු රටවල් උදාහරණයට අරගෙන උදව් අරගෙන ප්‍රවාහන සේවය දියුණු කළ හැකියි. 

මිනිස්සු දුක් වින්දා ඇති. මේවා ගැන කඩිනමින් ක්‍රියාත්මක වෙන්න.

Sri Lankan rocket කියලා බස් ඒකක මං මේ පහත කියනවා වගේ අමාරුවෙන් එල්ලිලා යන විදේශිකයන් ගේ වීඩියෝ තියෙනවා අන්තර්ජාලයේ. ඇත්තටම ගාලු පාරේ ඒ බස් රථ යන වේගය බැලුවම හදිසි අනතුරක් වලකාගන්න ඇති අවකාශය ඉතාම අවමයි කියල පෙනෙනවා. 

 පසුගිය අවුරුදු 15 ම මම මේ ආකාරයේ සටහන් ලියා තියෙනවා. පහත දැක්වෙන්නේ ගිය වසරේ මා බස් රථවල ගමන් කළ පසු ලියූ සටහනක්. 

 “මම නැග්ගේ මාතර බස් එකක.  වෙලාවට   අඳුරන කෙනෙකුත් කෝච්චියට යන්නට ඉඳලා අප දැකලා වැඩි හොඳට කියලා මාත් එක්කම බස් එකේ නැග්ගා. ඒ කෙනාට තිබුණු බය කොයි වෙලේ මං කොහෙට හරි විසික් වෙයිද කියලා… අපි සීට් එකේ ඉදිරියේ තිබුණු කොක්කේ එල්ලිලා හිටියා. නැත්නම් විසිවෙනවා. මොකද මේ සීට් ලිස්සනවා සීට් උඩට ගණකම් පොලිතින් දාලා. ඉතින් ඉඳන් ඉන්න මිනිස්සු ලිස්සනවා. මොන මිනිස්සුද මේ බස් එළවන්නේ ??? දෙවියනේ මේ බස් යනව නෙවෙයි ඉගිලෙනවා. ඉස්සරහට අනතුරක් නොවේවා කියලා මාත් හිතමින් ගියා. මිනිස්සු එහෙට මෙහෙට විසික්කා වේවි අර ඉතා කුඩා සීට් වල හිර වෙලා යනවා. උස මහත මිනිස්සු දෙන්නෙක්ට ඒ සීට් දෙකක යන්න බෑ. අපි කුඩා කාලෙත් මෙහෙමයි දැනුත් එහෙමයි. අඟලක් හෝ මිනිසුන්ට සුව පහසුව සඳහා වෙනස් වෙන්නේ නෑ. ඒ එක්ක මිනිසුන්ට පහසු කරපු රටවල් වල බස් රථ මතක් වෙනවා. රෝද පුටු වගේම ළදරු කරත්ත පවා පටවන් යන්න හැකි සුවපහසු බස් රථ. මෙච්චර වේගයෙන් යන්නේ නැති එක. මේවා මතක් වෙනවා.

ඇයි අපිට එහෙම බැරි වුණේ ?”

තරු රසී අක්කත් එක්ක සමාජයේ ප්‍රශ්න ගැන කතාවක යෙදෙනකොට එයා තමයි මට මතක් කරේ ඔයා වෙනම තීරු ලිපියක් ලියන්න ඔය රටවල විත්ති ගැන මේ රටේ මිනිස්සුන්ට දැනගන්න කියන එක. මටත් හිතුනා මේ දේවල් ලියන්න ඕනේ කියලා. පුද්ගලික ජීවිතයේ ආටෝප සාටෝප නොව පොදුවේ අපේ රට සමාජය හැමෝටම පහසුවෙන් ජීවත් වෙන්න හැකි එකක් ලෙස සකස් කරගැනීම උදෙසා ලියවෙන ලියවිල්ලක් නිසා මේවා ලිවෙනවා. මොකද අපි කාලයක් තිස්සේම “හුරු වෙන්න පුරුදු වෙන්න පටි තද කරගන්න” කියන මේ දේවල් එක්ක ඉවසන්න පුරුදු වෙච්චි, අනන්ත දුක් විඳින්න පුරුදු පුහුණු වෙච්ච ජාතියක්. රටේ මහජන මුදල් අව භාවිතාව ගැන නෙමෙයි අපි බොහෝ අය හිතුවේ අපි හම්බ කරොත් අපි කෑවා කියලයි. අපිට පුරුදු කරේ මේ අපේ කර්මය කියලා. අපටවත් ඔරොත්තු නොදෙන සංවර්ධන ව්‍යාපෘති ගෙනල්ලා රටේ ණය මුදල් ණය බර වැඩි කරපු එක නිසා රට ට වුණු දේ සහ පසුගිය කාලේ තිබුණු ආණ්ඩු ඇත්තටම පුරවැසියා ගැන හිතුවාද කියන එක තේරෙන්නේ මේ රටවල් වලට ආවහම.

මේ රටවල් වලට සල්ලි තියෙනවා මේවා ධනවාදී ආර්ථිකයක් සහිත රටවල් වගේ ප්‍රශ්න නැගෙන්න පුළුවන් හැබැයි මේ රටවල් පුරවැසියන්ට පහසුකම් සකසන්න තරම් දියුණු වෙන්න හේතුව මුදල් ගලා ඒම නොවේ. මහජන මුදල් නිසි ලෙස කළමණාකරනය කිරීම. රජයෙන් අදටත් පුරවැසියා වෙනුවෙන් මහජන මුදල් උත්පාදනය කරන , මේ රටට මුදල් උත්පාදනය කරන ව්‍යාපාර සහ කර්මාන්ත පවත්වාගෙන යමින් වැඩිදියුණු කරනවා. හැම නාගරසභාවක්ම මේ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා (මෙහෙ ස්වදේශික අයගෙන් ඇහුවොත් නම් ඒත් අඩු පාඩු දහසක් කියනවා. එනමුත් ලංකාවේ ඉඳන් ආපු මට නම් හිතෙන්නේ පෙනෙන්නේ මෙහි ධනාත්මක පැත්ත.

වෛද්‍ය බෝධිනි සමරතුංග 

මේවා කොපි කර නැවත පළ කිරීමෙන් වලකින්න. ඒ වෙනුවට මේ පිටුව බෙදා ගන්නට ඔබට හැකියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *